යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් සටන අද සිට

298

ලොව පුරා සිටින යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ දස්කම් උරගා බැලෙන 2024 වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දකුණු අප්‍රිකාවේදී අද (19 වැනිදා) ආරම්භ වෙයි.

15 වැනි යොවුන් ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලෙස අද ඇරඹෙන එම තරගාවලියේ සමාරම්භක තරගය ඇමෙරිකානු කණ්ඩායම සහ අයර්ලන්ත කණ්ඩායම සමග පැවැත්වේ.

සත්කාරක දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගයද ඊට සමගාමීව ආරම්භ වේ.

එම තරග දෙකම ශ්‍රී ලංකා වේලාවෙන් අද ප. ව. 1.30 ට ආරම්භ වීමට නියමිත අතර ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය ලබන ඉරිදා සිම්බාබ්බේ කණ්ඩායමට එරෙහිව පැවැත්වේ.

කණ්ඩායම් 16ක් සහභාගි වන මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව “සී” කාණ්ඩයෙන් තරග වදියි.

මෙවර තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි පුහුණු තරගයේදී ඉන්දියාව හමුවේ කඩුලු 7 ක පරාජයක් පෙරේදා ලැබීය.

ශ්‍රී ලංකාවේ පළමු පුහුණු තරගය බංගලාදේශයට එරෙහිව පැවති අතර ඉන් ලකුණු 112 ක ජයග්‍රහණයක් ශ්‍රී ලංකාවට හිමි විය.

යොවුන් ලෝක කුසලාන තරගාවලිය 1988 වසරේදී ආරම්භ වූ අතර, මෙතෙක් පැවති අදියර 14 කදී ඉන්දියාව ඔවුන්ගේ නමට ශූරතා පහක් දිනා එහි පෙරමුණ ගෙන සිටී.

ඔස්ට්‍රේලියාව (3), පාකිස්තානය (2), බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් සහ එංගලන්තය ශූරතා එක බැගින් ජයග්‍රහණය කර ඇත. ශ්‍රී ලංකාව, නවසීලන්තය, ඇෆ්ගනිස්තානය, අයර්ලන්තය ආදී රටවල්වලට මෙතෙක් එහිදී ශූරතාවයක් හිමිකර ගැනීමට හැකිවී නොමැත.

advertistmentadvertistment
advertistmentadvertistment