ශ්‍රී ලංකාව ඇමෙරිකාවට එරෙහිව දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනී

502

සිම්බාබ්වේ හිදී පැවැත්වෙන 2023 එක්දින ලෝක කුසලාන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ පෙරේදා (15 දා) පැවති දෙවැනි පුහුණු තරගයෙන් ඇමරිකාව පරදවා ලකුණු 198ක ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූයේය.

බුලවායෝ හි පැවති එම තරගයේ පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිතිකරුවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 392ක් රැස් කළ අතර ලකුණු 393ක දැවැන්ත ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ඇමරිකා කණ්ඩායම පන්දුවාර 33.2ක් තුළදී ලකුණු 194කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 25කට දැවී යෑමෙන් පසුව පිටියේ එක් වූ දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ප්‍රතිවාදි පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් දෙවැනි කඩුල්ලට ලකුණු 221ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ.

පන්දු 91කට මුහුණ දෙමින් හයේ පහර 6ක් සහ හතරේ පහර 7ක් සමඟ ලකුණු 105ක් ලබා ගැනීමට කුසල් මෙන්ඩිස් සමත් වූයේය. දිමුත් කරුණාරත්න පන්දු 100ක් තුළ හතරේ පහර 15ක් සමඟ ලකුණු 111 ක් රැස් කළේය.

චරිත් අසලංක වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කරමින් පන්දු 37ක් තුළ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 62ක් රැස් කළ අතර නායක දසුන් ශානක පන්දු 30 කදී නොදැවී ලකුණු 61ක් ලබා ගැනීමට සමත් වූයේය.

පන්දු යැවීමේ දී විශිෂ්ට දස්කම් ප්‍රදර්ශනය කළ මතීෂ පතිරණ ලකුණු 34ක් තුළ කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූ අතර කසුන් රාජිත ලකුණු 28කට කඩුලු දෙකක් දවා ගත්තේය. වනිඳු හසරංග ද ලකුණු 32කට කඩුලු දෙකක් දවා ගත්තේය.

ශ්‍රී ලංකාව ඇමෙරිකාවට එරෙහිව දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගනී

ඇමරිකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලාභීන් වූ මොනාර්ක් පටෙල් සහ ශන්ජන් ජහන්ජාර් පිළිවෙළින් ලකුණු 68 ක් සහ ලකුණු 63 ක් වාර්තා කළහ.

ශ්‍රී ලංකාව – 392/5 (50): දිමුත් කරුණාරත්න 111, කුසල් මෙන්ඩිස් 105, චරිත් අසලංක 62, දසුන් ශානක 61.

ඇමරිකාව – 194 (33.2): මොනාර්ක් පටෙල් 68, ශන්ජන් ජහන්ජාර් 63, මතීෂ පතිරණ 4/34, කසුන් රාජිත 2/28, වනිඳු හසරංග 2/32.

advertistmentadvertistment
advertistmentadvertistment