අනියම් සැමියා සීදූව දෙදරු මවගේ ගෙල කපා මරලා

411

ඝාතනය සිදුකර පලායද්දී දුරකථනයෙන් විස්තරය යාළුවාට කියලා

සීදූව, මුතුවාඩිය, නෙළුම් මාවත ප්‍රදේශයේ කුලී කාමරයකදී පෙරේදා (14 වැනිදා) 22 හැවිරිදි අනියම් සැමියා විසින් 26 හැවිරිදි කාන්තාවකගේ ගෙල බෝතල් කටුවකින් කපා ඝාතනය කර ප්‍රදේශය අත්හැර පලාගොස් ඇතැයි සීදුව පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ දිල්කි ශෂිකලා කුලතිලක නමැති දෙදරු මවක් බවද පොලිසිය පවසයි.

මෙම කාන්තාව සිය පළමු විවාහයෙන් වෙන්වී කුලී කාමරයක දිවි ගෙවමින් සිට ඇත. පසුව ඇය අනියම් සැමියා (ඝාතකයා) සමග අදාළ කුලී කාමරයේ දිවි ගෙවා තිබේ.

පෙරේදා රාත්‍රී රැකියාවට ගොස් පැමිණි සැමියා හා අදාළ කාන්තාව අතර බහින්බස්වීමක් සිදුවී තිබේ. එහිදී කෝපයට පත් අනියම් සැමියා බෝතල් කටුවක් ගෙන කාන්තාවගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.

ඝාතනය සිදු කිරීමෙන් පසු සැකකරු ඒ ඝාතනය සම්බන්ධයෙන් තම මිතුරකු සමග පවසා තිබේ.

තමන් කාමරයට පැමිණෙන විට එහි මුදල් පසුම්බියක් වැටී තිබීම ගැන තමා ඇගෙන් විමසා සිටි බවත්, එහිදී දෙදෙනා අතර කතාබහක් දුරදිග ගිය බවත් අනියම් සැමියා බව කියන පුද්ගලයා මිතුරාට දුරකථන මාර්ග ඔස්සේ පවසා තිබේ.

අදාළ මිතුරා එම දුරකථන සංවාදය පටිගත කරගෙන පොලිසියට භාරදී තිබේ. දුරකථනයේ පටිගතව තිබූ එම සංවාදය මෙසේය.

“මම එනකොට උගේ පර්ස් එක අමතකවෙලා ගිහිල්ලා. මම එයාගෙන් ඇහුවා මේක කාගෙද කියලා. පස්සෙ දන්නෙ නැහැ, අරකයි මේකයි කිව්වා. ඊට පස්සෙ කෑගැහුවා මට යන්න ඕනෙ කියලා. මං ඇහුවා මෙච්චර කල් හොඳට ඉඳලා දැන් ආයෙ යන්නද ඕනෙ කියලා. ඊට පස්සෙ මං එයාව මැරුවා.

යාළුවා – කවුද දිලිනිවද?

අනියම් සැමියා – ඔව්.

යාළුවා – දැන් කොහෙද එයා ඉන්නෙ.

අනියම් සැමියා – මම ඉන්නෙ ඇවරියවත්තෙ.

යාළුවා – මම අහන්නෙ දිල්කි කොහෙද ඉන්නෙ කියලා.

අනියම් සැමියා – එයා බෝඩිමේ ඉන්නේ.

යාළුවා – ඕක කවුරුවත් දැක්කෙ නැද්ද?

අනියම් සැමියා – ඒගොල්ලන්ගෙ ගෙදරට වෙච්ච සිද්ධිය කෝල් කරලා කිව්වා. එයාගේ අම්මටයි ඔක්කොමටයි කිව්වා.

පසුව සැකකාර අනියම් සැමියා ප්‍රදේශය අත්හැර පලාගොස් ඇති අතර ඊයේ (15 වැනිදා) සවස් වන තුරුත් සැමියා ගැන කිසිදු තොරතුරක් දැන ගන්නට නොතිබූ බව පොලිසිය කියයි.

මේ පිළිබඳව මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ අධීක්‍ෂණය යටතේ සීදූව පොලිස් ස්ථානාධිපති ප්‍ර.පො.ප. ධනුෂ්ක මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරයි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment