රටට අහිතකර ගිවිසුම් ආර්ථික මර්මස්ථාන විකිණීමට එරෙහිව ත්‍රෛනිකායික සංඝ සම්මුති ප්‍රකාශයක්

56

ආර්ථික හා දේශපාලන අර්බුදය තුළ නැවත නිවැරදි කරගත නොහැකි ලෙස ‘එට්කා’ වැනි ගිවිසුම් ගතවීම් තුළ රට විදේශ ආධිපත්‍යයට යටත් කරලීම හා ආර්ථික මර්මස්ථාන විකුණා දැමීම වහාම නැවැත්විය යුතු බවට වූ ත්‍රෛනිකායික සංඝ සම්මුති ප්‍රකාශයක් ප්‍රකාශයට පත් කරන ලදැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් නිවේදනය කර සිටිති.

එම සම්මුති ප්‍රකාශය කැලණිය මානෙල්වත්ත විහාර සම්මන්ත්‍රණ ශාලාවට වැඩම කළ සියම් මහා නිකායේ මල්වතු, අස්ගිරිකෝට්ටේ රෝහණ ඇතුළු පාර්ශව හා අමරපුර මහා නිකායේ මෙන්ම රාමඤ්ඤ මහා නිකායේ අනුනායක මාහිමිපාණන් වහන්සේලා ද විද්‍යෝදය විද්‍යාලංකාර පරිවේණාධිපති වහන්සේලා ප්‍රමුඛ මහා සංඝරත්නය විසින් රජයට හා මහජන නියෝජිතයන් වෙත ඉදිරිපත් කර තිබේ.

එය ප්‍රකාශයට පත් කෙරුණු අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම්, හිටපු ඇමැති පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා (සජබ), අනුරාධා යහම්පත් පා. මන්ත්‍රී සංජීව එදිරිමාන්න, රාජ්‍ය ඇමැති ඉන්දික අනුරුද්ධ, ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක්ද එක්ව සිටියහ. එහිදී පහත කරුණු ද අවධාරණය කෙරිණි.

රටට අහිතකර ගිවිසුම් ආර්ථික මර්මස්ථාන විකිණීමට එරෙහිව ත්‍රෛනිකායික සංඝ සම්මුති ප්‍රකාශයක්

උදාහරණ ලෙස ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම මගින් සේවා අංශ විවෘත කර ඉන්දියානුවන්ට ව්‍යාපාර සහ රැකියා කිරීම සඳහා රට තුළට පැමිණීමට ඉඩ සැලසීම සහ සත්‍ය සෙවීමේ කොමිසම පිහිටුවීමේ නීතිය සම්මත කිරීම මගින් ආරක්ෂක හමුදා පාවාදීම සහ නැවත බෙදුම්වාදී බලවේගවලට කේවල් කිරීමේ අවස්ථාව ලබාදීම ආදිය කිසිදෙනක ආපසු හැරවිය නොහැකි වැරදි බවට පත්වන බවට කිසිදු සැකයක් නැත. ඊට අමතරව විදුලිබල පද්ධතිය විශේෂයෙන්ම මහා ජලාශ පද්ධතිය පවා පෞද්ගලීකරණය කිරීම සඳහා නීති සම්පාදනය කිරීම සහ ටෙලිකොම් ආයතනය වැනි ජාතික ආරක්ෂාවට ප්‍රබල බලපෑමක් ඇති ආයතන පුද්ගලික අංශයට විකුණා දැමීම ආදී ක්‍රියාමාර්ග මගින් රට තුළ බරපතල අනාරක්ෂිත තත්ත්වයක් ඇතිවන බව ඉතා පැහැදිලිය.

එක් පැත්තකින් ඉන්දියාව විසින් ශ්‍රී ලංකාව අර්ධ යටත් විජිතයක් බවට පත් කර ගැනීම සඳහා යම් උපාය මාර්ගික ප්‍රවේශයකට අනුව කටයුතු කරන බව සහ ඇමරිකාව ද ගිවිසුම් මගින් අපගේ භූමිය ඔවුන්ගේ යුදමය ක්‍රියාන්විතයට අවශ්‍ය සේවා සපයන මධ්‍යස්ථානයක් හෙවත් දාස රාජ්‍යයක් බවට පත් කර ගැනීමට උත්සාහ කරන බවට ප්‍රබල සාක්ෂි ඉදිරිපත් වී ඇත. 2023 ජුලි මාසයේදී ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ ඉන්දියානු අගමැතිවරයා විසින් නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය මගින් ආර්ථික ඒකාබද්ධකරණ උපාංග 6 ක් ක්‍රියාත්මක කිරීමට එකඟ වී ඇත. ඒවා මුදල් ඒකාබද්ධකරණය, රේගු එකාබද්ධකරණය, මූල්‍ය සහ බදුප්‍රතිපත්ති ඒකාබද්ධකරණය, බලශක්ති පද්ධතිය ඒකාබද්ධකරණය, වරාය සහ ගුවන් තොටුපළ පද්ධතිය ඒකාබද්ධකරණය සහ භූගෝලීය ඒකාබද්ධකරණ ආදී වශයෙන් වේ. ‘එට්කා’ ගිවිසුම අත්සන් කිරීම එම ක්‍රියාවලියේ කූඨප්‍රාප්තිය බව ද කියැවේ. ඒ අනුව, ඒ සියල්ල සිදුවීමට ඉඩ හැරියහොත් ශ්‍රී ලංකාව ඉන්දියාවේ 29 ප්‍රාන්තය බවට පත්වන බවට සැකයක් නැත. ඒ අතර බෙදුම්වාදී න්‍යාය පත්‍රය ඉදිරියට ගමන් කිරීම සඳහා ඉන්දියාව හා ශ්‍රී ලංකාව යන රාජ්‍යයන් දෙක විසින්ම පහසුකම් සැළසීම තුළ 30 වැනි ප්‍රාන්තයද බිහිවීමේ අනතුර බැහැර කළ නොහැක. එම ක්‍රියාවලිය අවසන් විය හැක්කේ ශ්‍රී ලංකාවේ ඉතිහාසය පමණක් නොව ථෙරවාදී සම්බුද්ධ ශාසනය ද අවසාන වීමෙන් බව ඉතා කණගාටුවෙන් සඳහන් කළ යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment