ණය ආපසු ලබාගැනීමට නීතිය ක්‍රියාත්මක කරන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්‍ෂාවටයි

151

ශ්‍රී ලංකා බැංකු සංගමය

බැංකු විසින් ණය ගැනුම්කරුවන්ගෙන් ණය ආපසු ලබාගැනීමට නීතිමය ක්‍රියාමාර්ග (පරාටේ නීතිය) ක්‍රියාත්මක කරන්නේ තම තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීම සඳහා බව ශ්‍රී ලංකා බැංකු සංගමය පවසයි. එසේ නීතිමය පියවර ගන්නේ තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීමේ අවසාන විකල්පය ලෙස බවත් එම සංගමය ප්‍රකාශ කරයි.

බැංකු විසින් මෙසේ තැන්පත්කරුවන්ගේ මුදල් ආරක්ෂා කිරීමට ගන්නා පියවරයන්වලට එරෙහිව ණය ගැනුම්කරුවන් පිරිසක් විසින් සිදු කරන බලපෑම්වලට ප්‍රතිචාරයක් ලෙස එම සංගමය මේ බව ප්‍රකාශ කර සිටී.

පරාටේ’ නීතිය ක්‍රියාත්මක කරන්නේ හිතාමතා ණය ආපසු ගෙවීම පැහැර හරින අයගෙන් ණය ආපසු ලබාගැනීම සඳහා බවද එම සංගමය කියයි.

ශ්‍රී ලංකාවේ සියලුම බලපත්‍රලාභී බැංකු නියෝජනය කරන ශ්‍රී ලංකා බැංකු සංගමය අවධාරණය කළේ බැංකු විසින් ඇතැම් අවස්ථාවලදී මාස 48 ද ඉක්මවූ දිගු කාලයකට ණය ආපසු ගෙවීමේ සහන කාලය දීර්ඝ කර ඇති බවත්, ණයගැතියන් හිතාමතාම තම ණය පැහැර හරින අවස්ථාවලදී, කල් ඉක්මවූ ණය ආපසු අය කරගැනීමට හා ලබා දුන් ණයවලින් ඇති වන පාඩු අවම කරගැනීමට බැංකුවලට තම තැන්පත්කරුවන් වෙනුවෙන් යුතුකමක් පවතින බවයි. එම සංගමය පෙන්වා දෙන්නේ ණය ලබා දීම සඳහා භාවිතා කරන මුදල් තැන්පත්කරුවන් විසින් බැංකුවේ තබන ලද ඒවා බවත්, බැංකු විසින් ලබාදෙන ණය සඳහා අය කරන පොලියෙන් තැන්පත්කරුවන්ට පොලී ගෙවන බවත්ය. තැන්පත්කරුවන්ගේ විශ්වාසය පිරිහීම වළක්වාගැනීම සඳහා මෙම භූමිකාව ඉතා ප්‍රවේශමෙන් කළමනාකරණය කිරීමේ වගකීම දරන්නේ බැංකු බවත්, එම විශ්වාසය බිඳ වැටුණහොත් බොහෝ අයහපත් ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවත් ශ්‍රී ලංකා බැංකු සංගමය තවදුරටත් ප්‍රකාශ කරයි.
ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment