හාල්මැස්සන්ටත් බද්දක්

972

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් ජනතාව ඉතාමත් ආර්ථික අපහසුතාවයට ලක්ව ඇති අවස්ථාවක ආනයනික අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයකට රජය පනවා තිබූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද තවත් දීර්ඝ කිරීමට කටයුතු කර ඇත.

මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා විසින් ගැසට් පත‍්‍රයක් මගින් 2021 අගෝස්තු 12 වැනිදා සිට වසරක කාලයක් ඉදිරියට බලපාන ලෙස මෙම වැඩිකිරීම සිදුකර තිබේ.

හාල්මැස්සන් කරවල කිලෝවක් සඳහා රුපියල් 100 ක්ද, වෙඩරු කිලෝවක් සඳහා රුපියල් 880 ක්ද, කිරිවලින් නිපදවූ තැවරුම් කිලෝවක් සඳහා රුපියල් 880 ක්ද, උළුහාල් ඇට කිලෝවකට රුපියල් 50 ක්ද, කුරක්කන් පිටි කිලෝවක් සඳහා රුපියල් 150 ක්ද, අබ ඇට කිලෝවක් සඳහා රුපියල් 62 ක්ද මේස ලූණු සහ ස්වභාවික තත්ත්වය වෙනස් කළ ලූණු සඳහා රුපියල් 40 ක්ද ලෙස බදු වැඩි කර තිබේ.

චමින්ද සිල්වා


එහෙම බද්දක් නෑ – රාජ්‍ය ඇමැති කාංචන විජේසේකර

ආනයනික හාල්මැස්සන් සහ කරවල මත නව බදු වැඩි කිරීමක් සිදු කර නොමැති බව ධීවර රාජ්‍ය ඇමැති කංචන විජේසේකර මහතා සඳහන් කළේය.

ඊයේ (15දා) සිට හාල්මැස්සන් හෝ කරවල මත නව බදු ගැසට් පත‍්‍රයකින් වැඩි කර නොමැති බවත්, එහෙත් මීට මාස 6කට පෙර වැඩි කරන ලද බදු ප‍්‍රමාණයම තවදුරටත් අඛණ්ඩව ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යෑමට රටේ නීතිය අනුව ගැසට් පත‍්‍රයකින් දීර්ඝ කිරීමක් පමණක් සිදු කළ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මාස 6කට පෙර ආනයනික මත්ස්‍ය තොග මත බද්ද රුපියල් 25 සිට 200කටත්, ආනයනික කරවල සහ හාල්මැස්සන් රුපියල් 100කටත්, ආනයනික ටින් මාළු කිලෝවක මිල රුපියල් 100ක් (450ට ටින් එකක් 42.50ක්) ලෙසත් සහ ආනයනික උම්බලකඩ රුපියල් 300ක් ලෙසත් බදු වැඩි කිරීමටත්, එම වැඩි කළ බදු ප‍්‍රමාණයන් අඛණ්ඩව ඒ ආකාරයෙන් පවත්වාගෙන යෑමටත් තීරණය කරන ලද්දේ දේශීය ධීවර කර්මාන්තකරුවන් සහ දේශීය නිෂ්පාදන ආරක්ෂා කරගනිමින් කටයුතු කිරීමට ධීවර අමාත්‍යාංශය විසින් මුදල් අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමක් අනුව බවද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment