නාමල්ට එරෙහි විමර්ශනය උසාවියෙන් ඉල්ලයි

772

කොටුව ට්‍රාන්ස් වර්ක්ස් චතුරශ්‍රයේ පිහිටි අක්කර හතරකට අධික ඉඩම් කොටසක් අවුරුදු 99 බදු ක්‍රමය යටතේ ඉන්දියාවේ ක්‍රිස් සමාගමට බදු දීමේදී් සිදුවී ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු සැකකරුවන් පිරිසකට එරෙහිව සිදුකළ විමර්ශනයේ ප්‍රගතිය වහාම තම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (10 දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළේය.

එකී මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවට 2016 වසරේදී තම අධිකරණයට බී වාර්තාවක් මගින් වාර්තා කළ එවකට මුල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි වෛද්‍යාලංකාර මහතා මේ වනවිට ක්‍රිස් ලංකා සමාගමේ අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කිරීම අභියෝගයට ලක් කරමින් දුෂණ විරෝධී හඬ ව්‍යාපාරයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් සිදු කරනා විමර්ශනයේ ප්‍රගතිය තම අධිකරණයට වාර්තා කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන අධ්‍යක්ෂ ජනරාල්වරයාට ද නියෝග කළේය.

දූෂණ විරෝධී හඬ ව්‍යාපාරයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් නීතිඥවරුන් මාර්ගයෙන් මෝසමක් ගොනුකර එම නඩුව කැඳවූ අවස්ථාවේ නීතිඥ සුනිල් වටගල මහතා ඇතුළු නීතිඥවරුන් කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා, එම නඩුව ලබන මස 28 වැනිදා යළි කැඳවීමට දින නියම කරමින් එම නියෝගය කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment