දබරෙට අරඇඳි වරදට කුමාරට සහ ලිටන්ට දඩ

1457

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පෙරේදා 24 වෙනිදා පැවැති තරගයේදී විනය විරෝධී ලෙස හැසිරුණු බවට චෝදනා එල්ල වූ ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක‍්‍රීඩක ලහිරු කුමාර සහ බංග්ලාදේශ කණ්ඩායමේ ආරම්භක පිතිකරු ලිටන් දාස් කුමාර් හට තරග ගාස්තුවෙන් පිළිවෙලින් සියයට 25ක සහ සියයට 15ක දඩ නියම කිරීමට තරග තීරක ජවගාල් ශ‍්‍රීනාත් මහතා ක‍්‍රියා කර ඇත.

අන්තර්ජාතික ක‍්‍රිකට් කවුන්සිලයේ ආචාර ධර්ම පද්ධතිය උල්ලංඝනය කිරීමේ වරද මත ඔවුන් දෙදෙනාට මෙම දඩ නියම වී ඇත.

ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් 12 වටය යටතේ පැවැති එම තරගයේ බංග්ලාදේශ ආරම්භක පිතිකරු ලිටන් දාස් ලහිරු කුමාරගේ පන්දුවක් හමුවේ දැවී ගිය අවස්ථාවේදී ඔහු අසළට ගිය ලහිරු කුමාර ලිටන් දාස්ට යමක් පැවසීමට උත්සාහ කිරීමත් සමග පිටිය මැද උණුසුම්කාරී තත්ත්වයක් හට ගැණුනි.

එම අවස්ථාවේ අනෙක් අන්තයේ පිතිකරු ලෙස සිටි මොහොමඞ් නයිම්ද ලහිරු සහ ලිටන් අතරට මැදි වූ අතර මොහොමඞ් නයිම් ලහිරු කුමාරගේ උරහිසට අත තබා ඔහු ඉවත් කිරීමට කටයුතු කරන අයුරු ද රූපවාහිනි දර්ශනවල දක්නට ලැබුණි.

මෙහිදී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක සහ සෙසු ක‍්‍රීඩකයන් කිහිප දෙනකුද විනිසුරුවරුන් දෙදෙනාද ඒ අතරට ගොස් ලහිරු කුමාර සහ ලිටන් දාස් දෙදෙනාව සමතයකට පත් කිරීමට කටයුතු කළහ.

කෙසේ වෙතත් එම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් සිදු කරන ලෙස තරගයේ ප‍්‍රධාන විනිසුරුවරුන් දෙදෙනා ලෙස කටයුතු කළ ජොඑල් විල්සන් සහ එඩි‍්‍රයන් හොල්ට්ස්ටොග්ඞ්ද, තෙවැනි විනිසුරු මයිකල් ගෆ් සහ සිව්වෙනි විනිසුරු රෝඞ් ටකර් යන අයද තරග තීරක ජවගාල් ශ‍්‍රීනාත් මහතාට දැනුම් දී ඇත.

ඒ අනුව ලහිරු කුමාර සහ ලිටන් දාස් දෙදෙනා තමා අතින් වූ වරද පිළිගෙන ඇත.

ජාත්‍යන්තර ක‍්‍රිකට් තරගයකදී ක‍්‍රීඩකයකු දවා ගැනීමෙන් අනතුරුව ඔහුට එරෙහිව අසභ්‍ය වචන භාවිතා කරමින් හෝ ආක‍්‍රමණශීලී ප‍්‍රතික‍්‍රියාවන් ඇති කළ හැකි අභිනයන් භාවිතා කරමින් හැසිරීමේ වරද යටතේ ලහිරු කුමාරට මෙම දඩ නියම වී ඇත.

මෙහිදී ලහිරු කුමාර හට අසාදු ලකුණක්ද එකතු වී ඇති අතර එවැනි අසාදු ලකුණු 4ක් වසර දෙකක් ඇතුළත හිමි වුවහොත් එම ක‍්‍රීඩකයාට ටෙස්ට් තරග එකක් හෝ එක් දින තරග දෙකක් හෝ පන්දු වාර 20 – 20 තරග දෙකක් තහනමට ලක් කිරීම ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ නීතිය වේ.

කුෂාන් සුබසිංහ සාජා සිට

advertistmentadvertistment
advertistmentadvertistment