අයිපීඑල් වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයන් 8ක් – මැතිව්ස්ගේ නම හැලේ

337

2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 8 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය ඊයේ (12 වැනිදා) වාර්තා කළේය.

ඉන්දීය රුපියල් කෝටි දෙකේ කාණ්ඩයෙන් වෙන්දේසිය සඳහා තෝරා ගෙන සිටි ඇන්ජලෝ මැතිව්ස්ගේ නම වෙන්දේසියට ඉදිරිපත් කෙරෙන අවසන් ලැයිස්තුවට ඇතුළත් වී නැත.

මෙවර ක්‍රීඩක වෙන්දේසිය ලබන 19 වැනිදා පස්වරු 2.30 ට ආරම්භ වීමට නියමිත අතර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මීට පෙර නියෝජනය කළ වනිදු හසරංග වැඩිම මිලකට වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකා ක්‍රීඩකයා වේ.

ඉන්දීය රුපියල් කෝටි 1.5 කාණ්ඩයෙන් ඔහු වෙන්දේසියට ලියාපදිංචි වී තිබෙන අතර අනෙක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 7 දෙනා වන කුසල් මෙන්ඩිස්, ඩිල්ෂාන් මදුෂංක, චරිත් අසලංක, දසුන් ශානක, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර සහ ලහිරු කුමාර රුපියල් ලක්ෂ 50 කාණ්ඩයෙන් වෙන්දේසියට ඉදිරිපත් කර ඇත.

ක්‍රීඩකයන් 333 දෙනෙකු වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරෙන අතර, ඉන් ක්‍රීඩකයන් 119 ක් විදෙස් ක්‍රීඩකයෝ වෙති.

වෙන්දේසියේදී ක්‍රීඩකයින් 77 දෙනෙකු මිලදී ගැනීමට කණ්ඩායම් දහයේ හිමිකරුවන්ට අවස්ථාව පවතින අතර පුරප්පාඩු වී පවතින විදෙස් ක්‍රීඩකයන් සංඛ්‍යාව 30 කි.

advertistmentadvertistment
advertistmentadvertistment