උසාවියට අපහාස කළැයි හිරේ ඉන්න අජිත් ප්‍රසන්නට තවත් මාස 6ක සිර දඬුවමක්

308

අධිකරණ නිලධාරීන් (විනිශ්චයකරුවන්) වැරදි සහගත තීන්දු ලබාදෙන බවට මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයක් මගින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරනු ලැබූ විශ්‍රාමික මේජර් නීතිඥ අජිත් ප්‍රසන්න මහතාට මාස හය බැගින් වූ සිරදඬුවම් දෙකක් ලබාදීමට අභියාචනාධිකරණය ඊයේ (08දා) නියෝග කළේය.

වගඋත්තරකාර නීතිඥවරයා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කර වෙනත් අධිකරණයක් විසින් මින් පෙර නියම කර තිබූ වසර හතරක සිරදඬුවම විඳිමින් සිටින අයකු බව පෙන්වාදෙමින් වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කළ කරුණු දැක්වීම සලකා බැලූ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න හා එම්. ඒ. ආර්. මරික්කාර් යන මහත්වරුන් එම සිරදඬුවම් කාලය එකවර එනම් මාස හයකින් ගෙවී යන ලෙස ලබාදීමටත් එය පෙර කී වසර හතරක සිරදඬුවම් අවසන්වීමෙන් පසුව ක්‍රියාත්මක කිරීමටත් නියෝග කළේය. 2019 වසරේදී මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මහෙස්ත්‍රාත්වරුන් කිහිපදෙනකුගේ නම් සඳහන් කර ඔවුන්ගේ නියෝග හා තීන්දු වැරදි සහගත බවට ඔහු චෝදනා නගා තිබිණී.

ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් කරන ලද පැමිණිල්ලක් අනුව අධිකරණයේ නියමයෙන් වගඋත්තරකාර නීතිඥවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතිපතිවරයා එම නඩුව පවරා තිබූ අතර නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment