ශ්‍රී ලංකාවට ගුවන් අහසත් අහිමි වෙයි!

4660

මෙරට ගුවන් ගමන් පාලකවරුන්ගේ පවතින හිඟය නිසා ශ්‍රී ලංකාව හරහා ගමන් කරන ජාත්‍යන්තර ගුවන්යානා සඳහා ලබාදෙන ගුවන් අවකාශ සේවාව සැපයීම විදේශයන් කිහිපයකට හිමිවීමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ. ගුවන් ගමන් පාලකවරුන් 150 දෙනකු පමණ සිටිය යුතුව ඇතත් දැනට සිටින්නේ 80 දෙනකු පමණක් බව සිවිල් ගුවන් සේවා ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම තත්තවය මත ඔවුනට මෙරටට ගොඩබාන සහ පිටව යන ගුවන් යානා පාලනය පමණක් සිදුකර ශ්‍රී ලංකාව හරහා ගමන් කරන ජාත්‍යන්තර ගුවන් යානාවලට අදාළ පාලන කටයුතුවලින් ඉවත්වීමට සිදුවන බවද සඳහන් වෙයි.

දැනට දිනකට ශ්‍රී ලංකාව හරහා ජාත්‍යන්තර ගුවන් සේවාවන්ට අයත් ගුවන් යානා 100කට ආසන්න ප්‍රමාණයක් පියාසර කරන බව වාර්තා වේ. එම ගුවන් යානා සඳහා ශ්‍රී ලංකාවේ ගුවන් අවකාශය භාවිතය වෙනුවෙන් සපයන ගුවන් පාලන සේවාව එක් ගුවන්යානයක් ඇමෙරිකානු ඩොලර් 250 ක් බැගින් අයකරන බවත් වාර්තා වෙයි.

මෙලෙස එම ගුවන් යානා පාලනය ගිලිහී ගියහොත් දිනකට අප රටට ඇමෙරිකානු ඩොලර් 25,000 ක පමණ මුදලක් අහිමිවී යනු ඇත.

ජාත්‍යන්තර ගුවන් යානා පාලන නව නීති අනුව ගුවන් යානා පාලකවරයකුට රාත්‍රි කාලයේ සේවය කළ හැක්කේ පැය 10 කි. දිවා කාලයේ සේවය කළ හැක්කේ පැය 12 ක් පමණි.

ඊට වඩා පැය ගණනක් සේවය කිරීම එම නීති රීති උල්ලංඝනය කිරීමකි.

පවතින ගුවන් යානා පාලකවරුන්ගේ හිඟය නිසා දැනට එක් ගුවන් පාලකවරයකු පැය 10කට වඩා රාත්‍රියේ සේවය කරන බවත් දිවා කාලයේ පැය 14ත් 18ත් වැනි කාලයක් සේවය කරන බවත් වාර්තා වෙයි.

මෙම තත්ත්වය මත ජාත්‍යන්තර ගුවන් ගමන් පාලන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධව ශ්‍රී ලංකාව සීමාවන් පැනවුවහොත් ඉදිරියේදී ඉන්දියාව සහ ඔස්‌ට්‍රේලියාව වැනි රටවලට ශ්‍රී ලංකාව හරහා ගමන් කරන ගුවන් යානා පාලන කටයුතු හිමිවිය හැකි යැයි ද සඳහන් වෙයි.

මේ සම්බන්ධව සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසන්නේ මේ වනවිට ගුවන් යානා පාලකවරුන් ලෙස අලුතින් 24දෙනකු බඳවා ගැනීම සඳහා තෝරාගෙන ඇති බවය. ඒ සඳහා අයැදුම්පත් 740ක් පමණ ලැබී ඇත.

මෙම ගුවන් යානා පාලකවරුන් ලෙස බඳවා ගැනීමට තොරතුරු තාක්‍ෂණය භෞතික විද්‍යාව හෝ ගණිතය අංශයෙන් උපාධියක් තිබීම සහ ඉංග්‍රිසි දැනුම අත්‍යවශය ය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment