එන්නත අසාත්මික වී කෑගල්ලේත් මරණයක්

215

රෝහල්වලින් ඉවත් කළ බව කී Cefriaxone නමැති ප්‍රතිජීවක ඖෂධය ලබාදුන් තවත් රෝගියෙකු කෑගල්ල රෝහලේදී පෙරේදා (18වැනිදා) මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ පනස් හත් හැවිරිදි පිරිමි අයෙක් යැයි රෝහල් උසස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසුවේය.

මෙම රෝගියා කෑගල්ල රෝහලට ඇතුළත් කර අදාළ තහනම් කළ ප්‍රතිජීවක ඖෂධ මාත්‍රා දහතුනක් ලබාගෙන සිටියදී දහහතර වැනි මාත්‍රාව ලබාදුන් පසු ආසාත්මිකතාවක් මත අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇත. ඒ අනුව වහාම ක්‍රියාත්මක වී ඇති වෛද්‍ය කාර්ය මණ්ඩලය රෝගියා දැඩි සත්කාර ඒකකයට දමා ඇත. එහිදී රෝගියා මියගොස් ඇත.

මෙම මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (19 වැනිදා) සිදුකර තිබෙන අතර අදාළ ඖෂධය ගත් පසු ඇතිවූ ආසාත්මිකතාවක් මත මියගොස් ඇතැයි එහිදී තහවුරු වී තිබේ.

මෙම රෝගියාට නිධන්ගත රෝග කිහිපයක් තිබූ බවත් අදාළ ඖෂධ මාත්‍රා දහතුනක්ම ලබාදී තිබුණත් ඔහු සාමාන්‍ය තත්ත්වයේ සිටි බවත් රෝහල් වෛද්‍යවරු පැවසූහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල රෝහල් අධ්‍යක්‍ෂිකා වෛද්‍ය මිහිරි ප්‍රියංගනී මහත්මියගෙන් විමසූ විට ඇයද කියා සිටියේ අදාළ ඖෂධ මාත්‍රා දහතුනක් ලබාගෙන දහහතර වැනි මාත්‍රාවෙන් පසු ඇතිවූ ආසාත්මිකතාවක් මත මෙම රෝගියා මියගිය බවය. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කෙරෙන අතර Cefriaxone නමැති මෙම ප්‍රතිජීවක ඖෂධය නිසා ඉකුත් සතියේ පේරාදෙණිය රෝහලේදී චමෝදී සංදීපනී නමැති විසි එක් හැවිරිදි තරුණියකද මිය ගියාය. එම මරණයෙන් පසු ආන්දෝලානයට තුඩුදුන් Cefriaxone ප්‍රතිජීවක ඖෂධය රෝගීන්ට ලබාදීම නතර කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබිණි.
ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment