දේශීය පොල්තෙල් කර්මාන්තය අවදානමේ – පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය

145

දේශීය පරිභෝජනය සඳහා අවශ්‍ය පොල් තෙල් ප්‍රමාණය මෙරටදී නිෂ්පාදනය කරද්දී අනවශ්‍ය ලෙස පොල් තෙල් ආනයනය කිරීම නිසා දේශීය පොල්තෙල් කර්මාන්තය කඩා වැටීමේ අවදානමකට ලක්ව ඇතැයි සමස්ත ලංකා පාරම්පරික පොල් තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

එසේම ආනයනය කරන පොල්තෙල්වල ප්‍රමිතිය පිළිබඳවද පවතින ගැටලු නිසා එම තෙල් භාවිතයෙන් ජනතාවගේ සෞඛ්‍යටද බලපෑම් ඇතිවන බව එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මේ සම්බන්ධව අදහස් දක්වමින් පැවසුවේ ලංකාවේ දැනට මාසයකට පරිභෝජනය කරන පොල්තෙල් ප්‍රමාණය මෙටි්‍රක් ටොන් 11,000 ත් 12,000 ත් අතර ප්‍රමාණයක් බවයි.

පොල්තෙල් නිපදවන කර්මාන්තශාලා මෙරට 1800 ක් පමණ ඇති බවත් ඉන් කර්මාන්ත ශාලා 234 ක් තම සංගමයේ සාමාජිකත්වය ලබා ඇති බවත් සඳහන් කළ ඒ මහතා එම කර්මාන්තශාලාවලට පමණක් මාසිකව පොල්තෙල් මෙටි්‍රක් ටොන් 23,000 ක් පමණ නිපදවීමේ හැකියාව ඇතැයි ද සඳහන් කළේය. එසේ තිබියදී බදු සහන ලබාදෙමින් අනවශ්‍ය ලෙස මෙරටට පොල්තෙල් ආනයනය කිරීම දේශීය පොල් තෙල් කර්මාන්තයට බලපෑමක් බවද ඒ මහතා කීවේය.

මෙලෙස ආනයනය කරන පොල්තෙල් ආනයනය කරන රට සහ ආනයනකරු පිළිබඳව සඳහන් නොකර දේශීය සන්නාම යටතේ වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් පාරිභෝගික ජනතාවගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කරන බවත් බුද්ධික ද සිල්වා මහතා පැවැසීය.

පාවිච්චි කරන ලද පොල් තෙල්ද මෙරටට ගෙන්වා පිරිපහදු කර අලෙවි කරන බවත් මේ සම්බන්ධව පාරිභෝගික අධිකාරිය, වෙළෙඳ ඇමැතිවරයා ඇතුළු සියලු බලධාරීන් දැනුවත් කර ඇතත් ඒ සම්බන්ධව නිසි අවධානයක් නොකිරීම කනගාටුවට කරුණක් බවත් ඒ මහතා සඳහන් කළේය.

පසුගිය මාසයේදී පමණක් මෙරටට පිරිසිදුකරන ලද සහ පිරිසිදු නොකළ පොල්තෙල් මෙටි්‍රක් ටොන් 7000 ක් පමණ ආනයනය කර ඇතැයි ද බුද්ධික ද සිල්වා මහතා වැඩිදුරටත් පැවැසීය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment