විශේෂඥ වෛද්‍යවරුන් 60න් යවන තීන්දුව නොවැම්බර් 17දා

156

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීමට රජය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම්වල තීන්දුව නොවැම්බර් මස 17 වැනිදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය නිවේදනය කරයි.

රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් 176 දෙනකු ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් ගොනුකළ පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ චමත් මොරායස් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල මෙම නියෝගය නිකුත් කළේය.

මෙම පෙත්සම් ඉකුත් 20 වැනිදා කැඳවූ අවස්ථාවේදී ඊට අදාළ ලිඛිත දේශන ඇත්නම් ඒවා ගොනුකිරීමේ පියවර ගන්නා ලෙස විනිසුරු මඬුල්ල පාර්ශ්වකරුවන්ට නියෝග කළේය.

ඉන් අනතුරුව අදාළ පෙත්සම්වල තීන්දුව නොවැම්බර් 17 වැනිදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළ විනිසුරු මඬුල්ල රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් වයස අවුරුදු 60 දී අනිවාර්ය විශ්‍රාම ගැන්වීම වළක්වාලමින් පනවා තිබෙන තහනම් නියෝගය එදින තෙක් දීර්ඝ කරන බවත් නියෝග කළේය.

පෙත්සම්කාර විශේෂඥ වෛද්‍යවරුන් කියා සිටින්නේ තමන්ට වයස අවුරුදු 63 දක්වා සේවය කිරීමට අවකාශ පවතින බවයි.

ඒ. ජේ. ඒ අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment