ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර බැඳුණු මිතුදම – ජාතික දිනය අදයි

106

මැලේසියාවේ ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් පිටතට පැමිණ නගරය වෙත ගමන් කරන විට අහස සිඹින ගොඩනැඟිලි කන්දරාව අතරින් මතුවන එක් සුවිශේෂී ගොඩනැඟිල්ලක් වෙයි. ඒ නවීන මැලේසියාවේ සංකේතය වන පෙට්‍රොනාස් කුට්ටම් කුළුණයි.

මීට වසර එකසිය විසිපහකට පමණ පෙරදී, බ්‍රිතාන්‍ය පාලන සමයේදී, බෙලෙක් පතල්වලින් පිරුණු, කැලෑ නීතිය රජ කළ, ගංවතුරෙන් හා

ගින්නෙන් නිතර පීඩා විඳි ක්වාලාම්පූර් ප්‍රදේශය ලෝකයේ දියුණු නගර අතරට පිවිසෙන දැවැන්තයෙක් බවට පත්ව තිබෙන්නේය. මේ දැවැන්තයා ලෝකයේ නැගී සිටින ආකාරය පෙට්‍රොනාස් කුළුණෙන් සංකේතවත් කරන්නේ යැයි ඕනෑම අයෙක්ට සිතෙන්නේය.

1957 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදෙන මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ද්වි පාර්ශවික සම්බන්ධතාවල සංකේතයක් ලෙසද පෙට්‍රොනාස් කුළුණ හැඳින්වීමේ කිසිදු වරදක් නොමැත්තේය. ඒ මෙම කුළුණ නිර්මාණය කිරීමේ අදහස ශ්‍රී ලාංකිකයෙකුගේ වීමය. මැලේසියාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයකු වන ආනන්ද ක්‍රිෂ්ණන්ගේ අදහසක් අද මැලේසියාවේ ප්‍රමුඛතම සංකේතය බවට පත්ව තිබෙන්නේය.

ආනන්ද ක්‍රිෂ්ණන්ගේ සීයා යාපනයේ සිට මැලේසියානු රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ සේවයට පැමිණ තිබුණේ බ්‍රිතාන්‍ය පාලන කාලයේදීය. අසූ පස් වියේ පසුවන ආනන්ද ක්‍රිෂ්ණන්ගේ සිතැඟි අනුව ආර්ජන්ටිනාවේ වාස්තු විද්‍යාඥ සීසර් පෙලී විසින් සැලසුම් සකස් කළ මෙම ගොඩනැඟිල්ල 1993 වසරේදී ඉදිකිරීම් ආරම්භ කර 1996 දී ඉදිකිරීම් අවසන් කළේය. 1999 දී මැලේසියානු අගමැති මහතීර් මොහොමඩ් විසින් ගොඩනැඟිල්ල විවෘත කරනු ලැබුවේ ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර පවතින ද්වි පාර්ශවික සම්බන්ධතාවලට ශක්තිමත් අඩිතාලමක් තබමිනි.

ගාලු වරායෙන් නැව් නැගි ශ්‍රී ලාංකිකයෝ මැලේසියාව තුළ ව්‍යාපාරික කටයුතුවල යෙදී සිටින්නේ වසර සිය ගණනාවක සිටය. වෙළෙදාම් සහ ව්‍යාපාරික කටයුතුවලට පමණක් නොව, රැකියා සඳහාද ශ්‍රී ලාංකිකයින් ගෙන්වා ගැනීම දැනට වසර සිය ගණනාවකට පෙර සිට ආරම්භ වූවකි. ඉංග්‍රිසි හා වෘත්තීය දැනුමෙන් සන්නද්ධ ලාංකිකයින්ට මැලේසියාවේ දොර විවෘත වී තිබුණි. බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් විවිධ සංවර්ධන කටයුතු සිදුකරන විටදී මැනුම් කටයුතු සඳහා ගෙන්වා ගත්තේ ලංකාවේ මිනින්දෝරුවන්ය. ලංකාවේ කඳුකරයේ දුම්රිය මාර්ග තැනීමේ අත්දැකීම් ඇති සේකවයෝ බොහොමයක් ඒ වන විට ලංකාවේ වූ අතර ඔවුන්දට මැලේසියාවේ රැකියා සඳහා දොරටු විවෘත විය.

ශ්‍රී ලංකාව හා මැලේසියාව අතර බැඳුණු මිතුදම - ජාතික දිනය අදයි

මැලේසියාවේ ක්ලං ප්‍රදේශයට නුදුරින් තිබූ අක්කර අසූදහසක් වූ ශ්‍රී අලං දූපත සම්පූර්ණ වතුයායක් බවට පත් කරනු ලැබුවේ ලංකාවේ සිට එහි ගිය ප්‍රකට වැවිලිකරුවෙක් වූ එඩව්ර්ඩ් වැලන්ටයින් කේරීය. ඔහු ලංකාවේ සිට ශ්‍රමිකයන් සීයයකට වඩා වැඩි පිරිසක් බව කියන්නේ සරවක් දේශයේ ඉතිහාසය සොයා සැරිසරක යෙදුන සමන් අතාවුදහෙට්ටිය.

මැලේසියාවේ ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් පර්යේෂණාත්මක ග්‍රන්ථ රැසක් සම්පාදනය කළ එච්.එම්.ඒ. ද සිල්වා සිය ග්‍රන්ථයක මෙසේ සඳහන් කරන්නේය.

‘ශ්‍රී ලංකාවේ වඩුවෝ, මේසන් බාස්ලා සහ පින්තාරුකරුවෝ විශාල වශයෙන් දුම්රිය පෙට්ටි, මැදිරි, දුම්රිය ස්ථාන අනුබද්ධිත ගොඩනැඟිලි නිර්මාණය සඳහා යොදවා තිබුණි. එංගලන්තයේ සිට ගෙන්වූ යකඩ රාමු මත ලීවලින් සම්පූර්ණ දුම්රිය මැදිරියම තැනිය යුතු විය. ශ්‍රී ලංකාවේ වඩුවෝ දුම්රිය මැදිරි තැනීමේ විශේෂඥයෝ වූහ. බෝක්කු සහ බිංගෙවල් තැනීමේ කාර්යයේ ප්‍රමුඛත්වය හිමිවූයේ ශ්‍රී ලංකාවේ මේසන් බාස්ලාටය’ ඒ එදා ලංකාව් ශ්‍රමිකයින්ට හිමිවූ තැනය.

එදා මෙන් අදත් ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට මැලේසියාවේ හිමිව තිබෙන්නේ සුවිශේෂී ස්ථානයකි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන්ට හා වෘත්තිකයන්ට මැලේසියාවේ රැකියා වෙළෙඳ පොළේ ඇත්තේ හොඳ ඉල්ලුමකි.

කම්කරු හා විදේශ රැකියා ඇමැති මනුෂ නානායක්කාර මහතා මැලේසියාව සමග සමීපව කටයුතු කරන්නේ කම්කරු හා විදේශ රැකියා ක්ෂේත්‍රයේදී මැලේසියාවෙන් ලබාගත හැකි උපරිමය ලංකාවේ ශ්‍රමිකයන්ට ලබාදීමටය. අමාත්‍යාංශයේ වැඩ කටයුතු භාරගත් වහාම ශ්‍රී ලංකාවේ මැලේසියානු මහ කොමසාරිස් ටං යං තායි මහතා සමග සාකච්ඡා කළේ මැලේසියානු රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථානයක් මෙරට ආරම්භ කිරීමටය. ඒ අතරම මැලේසියාවේ ආරක්ෂක අංශයේ රැකියා දස දහසක් ලංකාවේ ශ්‍රමිකයන්ට ලබාදීමට සඳහා අවශ්‍ය මූලික කටයුතු මේ වන විට සකස් කරමින් පවතින්නේ දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් කටයුතු කරමින්ය. ඩොලර් අර්බුදයත් සමගින් මතුවුන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සදහා විදේශ රැකියා ක්ෂේත්‍රයේ මෙන්ම ආර්ථික ක්ෂේත්‍රයේද දායකත්වය මැලේසියාව ලංකාවට ලබාදෙන්නේ දෙරට අතර පවතින සමීප සුහද සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරගනිමිනි. විශේෂයෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයෙන් මැලේසියාව ලබා සිටින ඉහළ දියුණුව ලංකාවේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට බද්ධ කිරීමට මැලේසියාව සැම විටම දායකත්වය ලබාදෙන්නේනේ ඩිජිටල් ශ්‍රී ලංකාවක් බිහි කිරීම සඳහා ජනාධිපතිවරයා දරන වෑයමට ශක්තියක් වෙමිනි.

නිදහස් මැලේසියාවක් තුළ තමන් ලබාගත් සමාජ, ආර්ථික, තාක්ෂණික දියුණුවේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාව සමග හුමවමාරු කරගැනීමට කවදත් කටයුතු කරන්නේ දෙරට අතර සහෝදරත්වයේ බැදීම් තවදුරටත් වර්ධනය කරමිනි.

  • සංජය නල්ලපෙරුම
    මාධ්‍ය ලේකම් කම්කරු අමාත්‍යංශය
advertistmentadvertistment
advertistmentadvertistment