ශ්‍රී ලංකාව අවසන් මහා තරඟයෙන් ඉවතට – පකිස්තානය හෙට අවසන් සටනේ

666

අවිශ්ක සහ සහන් 97ට දැවී යති

පකිස්ථාන “ඒ” කණ්ඩායම තුන් ඉරියව්වෙන්ම ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් 2023 ආසියානු නැගී එන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ඊයේ (21 වැනිදා) සමත් විය.

තරගාවලියේ ප්‍රථම අවසන් පූර්ව තරගය යටතේ ශ්‍රී ලංකා “ඒ” සහ පකිස්ථාන “ඒ” කණ්ඩායම අතර කොළඹ පී සරවනමුත්තු ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ලකුණු 60 ක ජයග්‍රහණයක් ලබමින් පකිස්තානය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේය.

නැඟී එන ආසියානු ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිත අතර පාකිස්තානයේ ප්‍රතිවාදියා කවුරුන්ද යන්න ඊයේ රාත්‍රියේ පැවැති ඉන්දියාව සහ බංග්ලාදේශය අතර තරගයේ දී තීරණය වීමට නියමිතව තිබිණි.

එම තරගයේ ජයග්‍රාහකයා හෙට අවසන් මහා තරගයේ දී පකිස්ථානය මුණගැසීමට නියමිත අතර ඊයේ පැවති එම තරගයේදී පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු 211 කට දවාගැනීමට බංගලදේශය සමත්වී තිබුණි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක සහන් ආරච්චිගේ ලකුණු 97 බැගින් රැස්කර සිටියදී අවාසනාවන්ත ලෙස දැවී යෑම තරගයේ පරාජයට බෙහෙවින් බලපෑවේය.

ඔවුන් දෙදෙනා හැරුණ විට කිසිදු ශ්‍රී ලංකා පිතිකරුවකු ලකුණු 20 සීමාව ඉක්මවා නොයෑම කැපී පෙනුණු දුර්වලතාවයක් විය.

පකිස්තානයේ මද වේග පන්දු යවන ක්‍රීඩක අර්ශාඩ් ඉක්බාල් ලකුණු 37 කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.

කාසියේ වාසියත් සමග පළමුව පන්දුවට පහර දුන් පාකිස්තානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී ලකුණු 322 ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාවේ සියලු ක්‍රීඩකයෝ ලකුණු 262 කට දැවී ගියහ.

පකිස්තාන කණ්ඩායමේ 6 වැනි කඩුල්ල බිඳ වැටෙන තෙක්ම ලකුණු අතර සාර්ථක සම්බන්ධතා පැවැත්වීමට පාකිස්තානු පිතිකරුවෝ සමත්වූහ. මෙහිදී පළමු කඩුල්ල සඳහා ලකුණු 24 ක්ද සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 23 ක්ද හැරුණු කොට සෙසු සම්බන්ධතා 4 ම ලකුණු 37 ඉක්මවූ සම්බන්ධතා විය. 24, 37, 61, 23, 48 සහ 73 වශයෙන් පාකිස්තානු පළමු ඉනිමේ සම්බන්ධතා සටහන් විය.

ඒ අතරින් තෙවැනි කඩුල්ලට එක් වුණු ඕමාර් යුසුෆ් සහ ටයාර් ටයීර් පන්දු 63 කදී ලකුණු 61 ක සම්බන්ධතාවක් එක් කරද්දී 6 වැනි කඩුල්ලට එක් වුණු නායක මොහොමඩ් හැරිස් සහ මුබාසීර් ඛාන් ලකුණු 73 කින් ලකුණු පුවරුව ශක්තිමත් කළහ.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ඕමාර් යුසුෆ් වන අතර ඔහු පන්දු 79 කට මුහුණ දෙමින් ලකුණු 88 ක් රැස් කළේය. හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් යුසුෆ්ගේ ඉනිම වර්ණවත් වද්දී නායක මොහොමඩ් හැරිස් පන්දු 43 කදී ලකුණු 52 ක් රැස් කළේය. හතරේ පහර 5 ක් පමණක් එම ඉනිමට ඇතුළත් වද්දී කඩුලු අතර දිව යෑමට ඔහු ප්‍රමුඛතාව ලබා දෙමින් පන්දු සහ ලකුණු අතර පරතරය 9 ක් තබා ගැනීමට සමත් වූවේය.

පාකිස්තානු ඉනිමේ පස්වැනි කඩුල්ල බිඳ වැටෙන විටත් ඔවුන් ක්‍රීඩා කරමින් සිටියේ 33 වැනි පන්දු වාරයයි. ඒ වන විටත් ඔවුහු ලකුණු 193 ක් ලබාගෙන ලකුණු ලබා ගැනීමේ වේගය ලකුණු 06 කට වැඩි වේගයක් පවත්වාගෙන යෑමට සමත්වූහ. කෙසේ වෙතත් යුසුෆ් දැවී යෑමෙන් පසු තරගයේ පාලනය තරමක් ශ්‍රී ලංකා කණ්ඩායම වෙත නැඹුරු වුවත් පන්දු 70 කදී ලකුණු 73 ක සම්බන්ධතාවක් පැවැත්වූ නායක හැරිස් සහ මුබාසීර් ඛාන් ලකුණු 300 කට එහා ලකුණු සංඛ්‍යාවකට පාකිස්තානු පිල ඔසවා තැබූහ.

පන්දු යැවීමේදී චාමික කරුණාරත්න, ළහිරු සමරකෝන් සහ ප්‍රමෝද් මදුශාන් කඩුලු 2 බැගින් බිඳ හෙලූහ. චාමික කරුණාරත්න ලබාගත් මෙම කඩුලු 2 ත් සමග මෙම තරගාවලියේ වැඩිම කඩුලු ලාභීන් අතර පෙරමුණ ගැනීමට සමත්වූවේය. ඔහු මේ වන විට තරග 4 කදී බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව කඩුලු 9 ක් වේ.

පාකිස්තානු “ඒ” කණ්ඩායම පන්දු වාර 50 කදී සියලු දෙනා දැවී ලකුණු 322 යි – (ඕමාර් යුසුෆ් 88, ටයාබ් තහීර් 26, මොහොමඩ් හාරිස් 52, සියාම් අයුබ් 22, සහිබ්සදා ෆර්හාන් 12, මුබාසිර් ඛාන් 42, මොහොමඩ් වසීම් 24, චාමික කරුණාරත්න 55/2, ළහිරු සමරකෝන් 42/2, ප්‍රමෝද් මදුශාන් 56/2, දුනිත් වෙල්ලාලගේ 41/1, සහන් ආරච්චිගේ 43/1)

ශ්‍රී ලංකා “ඒ”
සියලු දෙනා දැවී 262 (45.4)

අවිශ්ක ප්‍රනාන්දු 97, සහන් ආරච්චිගේ 97,
අර්ශාඩ් ඉක්බාල් 37/5

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment