අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල සීනු හා විදුලි පද්ධති 200ක් ස්ථාපනය කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ දී අත යට ගනුදෙනුවක් සිදුව ඇති බවට සැක

දුම්රිය හරස් මාර්ගවල ස්ථාපිත කරනු ලැබූ සීනු හා විදුලි පද්ධති 50ක් වගකීම් කාලය නිමවීමටත් පෙර ක්‍රියාවිරහිත වෙලා

ශ්‍රී ලාංකිකයින් වන අපට අඩුපාඩුවක් සිහිවන්නේ … ඊට අදාළව දරුණුතම අත්දැකීම ලැබුවායින් පසුවය. හලාවත ආරච්චිකට්ටුව මයියාව දුම්රිය හරස් මාර්ගයේදී මව දියණිය හා පුතු පැමිණි යතුරුපැදිය දුම්රියේ ගැටී මිය යෑමේ සිද්ධියද එවැන්නකි.

සිහියට නැගෙන හැමවිටම කම්පාව දනවන මේ ශෝකාන්තයට මුහුණ දුන් පින්නවල අප්පුහාමිලාගේ ශාලිකා දිල්රුක්ෂි වන මවත් නව හැවිරිදි සසන් මන්තුල ජයලත් පුතු සහ හත් හැවිරිදි බාල දියණිය වන සිතුම්සා සාවෙන්දි ජයලත් යන තිදෙනා දැන් ජීවතුන් අතර නැත. මේ ලියන කියන අපට මෙය තවත් සිද්ධියක් පමණක් වුවත් ජයලත් පවුලේ නියමුවාව හුන් නිශාන්ත ජයලත් වන දරුවන්ගේ පියාට ජීවිත කාලය පුරාවටම විඳවන්නට ඉතිරිකළ මේ වේදනාබර සිද්ධිය ඉවත් කරන්නට නොහැකි ලෙස පයේ පැටලුණු තියුණු කටු වැලක් වැන්න.

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වූ සීඝ්‍රගාමී දුම්රිය ඉකුත් දහ නව වැනි දින පස්වරු තුන පසු වී ආරච්කට්ටුවට ළඟා වී තිබිණි. මේ තිදෙනා ඒ සෝචනීය ඉරණමට ලක්ව තිබුණේ ආරච්චිකට්ටුව මයියාව දුම්රිය හරස් මාර්ගයේදීය. සිහිවන මොහොතක් පාසා විලාප තැබිය හැකි මේ සිද්ධිය සිදුවූයේ දුම්රිය හරස් මාර්ගයේ සවිකර තිබූ ගේට්ටුව වසා නොතිබීම නිසා බවට මුරකරුට චෝදනා එල්ල විය. දුම්රිය හරස් මාර්ගය අසල සවිකර තිබූ ආලෝක සංඥා පුවරුව සවිකළ මොහොතේ සිට මේ දක්වාම ඒකාකාරී ලෙස දැල්වෙන බවට ගම්වාසීහු චෝදනා කර සිටියහ. දැන් කොතෙක් චෝදනා කළත් නිශාන්තට අහිමි වූ ගේ ලෝකයේ බිරිඳත් දරු දෙදෙනාත් යළි පණ ලබා දුන් මෙලොවට එන්නේ නැත.

දැන් කළ යුත්තේ වෙනකකි. රට පුරා දුම්රිය හරස් මාර්ගයන්හිත් ප්‍රධාන මාර්ගයන්හිත් රේල් ගේට්ටු ක්‍රියාත්මක වන්නේද නැද්ද යන්න විමසා බලමින් සාමාන්‍ය ජනතාව අනතුරකින් මුදා ගැනීමය. අද වන විට රටේ පවතින දරුණු උද්ධමනකාරී ආර්ථික තත්ත්වයන් මත ඇතිව තිබෙන සංකීර්ණ සමාජ රටාව සාමාන්‍ය ජනතාවගේ මානසිකත්වය දරුණු ලෙස ව්‍යාකූල කර තිබේ. බහුතරයක් සාමාන්‍ය ජනතාව පාරට බසින්නේ යන එන මං නොදන්නා ගාණටය. හැල්මේ එකා පසු පස එකා හඹා යමින් යන අධ්‍යාපන රටාවත්, මුදල් ඉපයීමේ කාර්යබහුලත්වයත් මත ගමන් කරන්නේ මහ පාරේද රේල් පාරේ ද යන්න පවා ඔවුහුම නොදනිති. එවන් තත්ත්වයක් මත ජනතාවගේ ජීවිත රැක ගැනීම උදෙසා අවධානය යොමු කරමින් අප කළ යුත්තේ ඔවුන්ගේ ආරක්ෂාවට අවැසි පරිසරය නිර්මාණ වී ඇත්ද යන්න සොයා බැලීමය.

අපේ රටේ දුම්රිය සේවයට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි. 1864 දී බි්‍රතාන්‍ය ජාතිකයන් විසින් මෙරටට දුම්රිය ප්‍රවාහනය හඳුන්වා දී වසර 160කට ආසන්න කාලයක් ගතවී ඇත්තේය. එහෙත් මේ දක්වාම මෙරට දුම්රිය හරස් මාර්ගයන් සඳහා නිශ්චිත ආරක්ෂිත ක්‍රමවේදයක් නොමැතිවීම බරපතල තත්ත්වයකි. මේ නිසා විවිධ පාර්ශ්වයන් විවිධ ගැටලුවලට ලක්ව සිටිති. මීට දින කිහිපයකට පමණ ඉහතදී ආරච්චිකට්ටුව හා ආනවිලුන්දාව උප දුම්රිය ස්ථානය අතර මහයියාව දුම්රිය හරස් මාර්ගයේදී සිදුවූ අනතුරකින් එකම පවුලේ මව හා දරු දෙදෙනා එම ස්ථානයේදීම මියගියහ. මියගිය දැරියගේ වයස අවුරුදු නමයකි. පුතුගේ වයස අවුරුදු හතකි. මව හතළිස් එක් හැවිරිදි වියේ පසුවූවාය. දුම්රිය ධාවනය වන අවස්ථාවේ මෙකී දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුව වසා නොතිබුණු අතර දුම්රිය ගේට්ටු ක්‍රියාකරු එහි නොසිටියේය. සැබවින්ම මෙය හදකම්පා කරවන සිද්ධියකි.

මේ එක් අනතුරක් පමණි. මෙරට දුම්රිය දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව දුම්රිය හරස් මාර්ග සඳහා වූ ආරක්ෂණ පද්ධති නිසි පරිදි ස්ථාපනය නොකිරීම හා නඩත්තු නොකිරීම හේතුවෙන් ඉකුත් වසර 23ක කාලය තුළදී දුම්රිය අනතුරු 1501ක් සිදුවී තිබුණි.එම කාලසීමාව තුළදී පුද්ගලයන් 298 දෙනකු මියගොස් තිබූ අතර තුවාල ලැබූ සංඛ්‍යාව 1054 දෙනෙකි. දුම්රිය හරස් මාර්ගවල සිදුවූ අනතුරු හේතුවෙන් පසුගිය වසර 12 තුළදී (2010 2021) දුම්රිය එන්ජින් හා දුම්රිය මැදිරිවලට වී ඇති හානිය හා ඒවා නැවත අලුත්වැඩියා කිරීම සඳහා සේවක පඩිනඩි ඇතුළුව රුපියල් තුන්කෝටි හැටලක්ෂ අනූතුන්දහස්, තිස්නමයක (36,093,093) වියදමක් දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවී තිබුණි. දුම්රිය අනතුරුවලදී මියයන පුද්ගලයන් සඳහා වන්දි ප්‍රදානය කිරීමේ වැඩපිළිවෙළක් දුම්රිය දෙපාර්තමේන්තුව හා රජය සතුව නොමැතිවීමද බරපතල ගැටලුවකි. ඒ විතරක් නොව මෙරට දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ පද්ධති ස්ථාපනය කොට ඇත්තේ ද විද්‍යාත්මක ක්‍රමවේදයකට අනු නොවේ.

1902 අංක 09 දරන ලංකා දුම්රිය ආඥාපනතේ 32 වැනි වගන්තිය අනුව මගී ජනතාවගේ සහ රථවාහන හිමියන්ගේ ආරක්ෂාව සඳහා දුම්රිය හරස් මාර්ග සඳහා ගෙට්ටු යොදා ආරක්ෂා කිරීම දුම්රිය සාමාන්‍යධිකාරිවරයගේ වගකීමකි. දුම්රිය සාමාන්‍යධිකාරිවරයා විසින් චේතනාත්මකව මෙකී පනතේ සඳහන් කොන්දෙසිවලට අනුකූලව කටයුතු නොකරන්නේනම් හෝ පැහැරහරින්නේ නම් පනතේ 33 වැනි වගන්තිය ප්‍රකාරව ඔහු සාපරාධී වරදකට වරදකරු වන්නේය. එක් එක් වරද සඳහා රුපියල් 200 නොඉක්මවන දඩයකට යටත්විය යුතුය. ඒ විතරක් නොව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් බලය ලබාදෙනු ලබන පුද්ගලයා ඉබි යතුරුදමා ගෙට්ටුව ආරක්ෂා කිරීමට අසමත් වුවහොත් එය සාපරාධී වරදක් බැවින් එවැනි එක් එක් අවස්ථාව සඳහා රුපියල් 50 නොඉක්මන දඩයකට ඔහු යටත්විය යුතුය.

දුම්රිය හරස් මාර්ගයක් හරහා ගමන් කිරීමේ දී දුම්රිය පනතේ සඳහන් කොන්දෙසි යම් පුද්ගලයකු විසින් කඩකරන්නේ නම් හෝ ගවයින් දක්කාගෙන යන්නේ නම් එවැනි ක්‍රියාවන් සාපරාධී අපරාධයක් වන බැවින් ඔහු රුපියල් 50ක දඩයකට හෝ මාස තුනක් නොඉක්මන සිරදඬුවමකට යටත් වනු ලැබේ. කෙසේ වුවද දැනට ක්‍රියාත්මක වන දුම්රිය ආඥාපනත වසර 120කට වඩා පැරණි පනතකි. එකී පනත ප්‍රකාරව පනවා ඇති දඩ මුදල වාර්තමානයේ රුපියලේ අගය හා සැසඳීමේ දී කිසිසේතම ප්‍රමාණවත් නොවේ. මේ නිසා අදාළ පුද්ගලයන් වරදකට යොමු නොවීම සඳහා පෙළඹවීමක් ද ඇති නොවේ.

මේක නෙවෙයි පළවෙනි අනතුර…ඊළඟ එක වෙන්න කලින් ගේට්ටු ටික හදමු

දුම්රිය හරස් මාර්ග සඳහා ආරක්ෂණ පද්ධති ස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විශේෂ විගණන වාර්තාවට අනුව ගෙට්ටු යොදා ආරක්ෂාකර නොමැති දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව 750කට වඩා වැඩිය. දුම්රිය ආඥාපනතේ විධිවිධාන පරදි එවකට වගකීමට බැඳී සිටි දුම්රිය සාමාන්‍යාධිකාරිවරුන්ගෙන් 1987 වර්ෂයේ සිට දඩ හා වන්දි මුදල් අයකරගෙන නොතිබුණි. එමෙන්ම අදාළ කලාසීමාවන් තුළ සේවයේ නියුතු දුම්රිය සාමාන්‍යධිකාරිවරුන් දුම්රිය හරස් මාර්ගවල යෙදිය යුතු ආරක්ෂාව සම්බන්ධයෙන් තම වගකීම් පැහැරහැර තිබුණි.

කෙසේ වුවද මේ වනවිට මෙරට දුම්රිය මාර්ග පද්ධතිය ප්‍රධාන දුම්රිය මාර්ග 09කින් සහ මෙහෙයුම් මධ්‍යස්ථාන තුනකින් ක්‍රියාත්මක වේ. දුම්රිය දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2022 වර්ෂයේ මාර්තු මස 31 වැනිදින වන විට මෙරට ඇති දුම්රිය හරස් මාර්ග සංඛ්‍යාව 1362කි. මෙවන් පසුබිමක් තුළ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 533කින් 200ක් සඳහා සීනු හා විදුලි පද්ධති 200ක් ස්ථාපනය කිරීමට සැලසුම් කරන්නේය. අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 200ක් සඳහා සීනු හා විදුලි පද්ධති සවිකිරීම සඳහා 2013 වර්ෂයේ ජුලි මස ප්‍රසම්පාදන කටයුතු ආරම්භකොට තිබුණි. ඒ අනුව ද්විත්ව දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ග 25ක් සහ තනි දුම්රිය මාර්ගයේ පිහිටි හරස් මාර්ග 175ක් සඳහා සීනු හා විදුලි පද්ධති ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදන කටයුතු සිදුකරනු ලැබීය. සීනු හා ආලෝක පද්ධති 200 සඳහා කොන්ත්‍රාත් වටිනාකම ඇමෙරිකානු ඩොලර් 5,550,375ක් හෙවත් රුපියල් අනූහයකෝටි, අසූපන්ලක්ෂ, හතළිස්හතර දහස් තිස්නමය (968,544.039) කි. එක් විදුලි සීනු පද්ධතියක් සඳහා වැයකොට ඇති මුදල රුපියල් හතළිස් අටලක්ෂ, හතළිස් දෙදහස්, හත්සිය විස්සකි. (4,842,720) මෙකී සීනු හා ආලෝක පද්ධතිය ඉදිකිරීම සඳහා ප්‍රසම්පාදනය මගින් තෝරාගෙන තිබූ ලංසුකරුගේ හැකියාව තහවුරුකිරීම සඳහා සපුරාලිය යුතුව තිබූ මූලික සුදුසුකම් 06 සපුරා නොතිබුණි. එහෙත් අදාළ සමාගම වෙත ප්‍රසම්පාදනය පිරිනැමීමට තාක්ෂණික ඇගයීම් කමිටුව නිර්දේශකොට තිබුණි. කෙසේ වුවද ප්‍රසම්පාදනය මගින් තෝරාගනු ලැබූ සැපයුම්කාර සමාගම සම්බන්ධයෙන් ප්‍රධාන සංඥා තාක්ෂණ ඉංජිනේරුවරයා විසින් සිය අකමැත්ත ප්‍රකාශකොට තිබුණි. මෙකී හරස් මාර්ග පද්ධති ජාත්‍යන්තර සංවිධාන විසින් සහතික කරන ලද ආරක්ෂිත ප්‍රමිති හා නිෂ්පාදන ප්‍රමිති සමග අනුකූලවිය යුතු බවද ප්‍රධාන සංඥා තාක්ෂණ ඉංජිනේරුවරයා විසින් දන්වා තිබුණි.

ඒ විතරක් නොව මෙකී සමාගමට ප්‍රසම්පාදනය පිරිනැමීමේ දී තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් ප්‍රසම්පාදන ලියැවිලිවල ඇති තාක්ෂණික අවශ්‍යතාවයන්ට පරස්පර විරෝධී ලෙස කටයුතුකර ඇති බව ප්‍රධාන සංඥා තාක්ෂණ ඉංජිනේරුවරයා විසින් දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යධිකාරිවරයා වෙත දන්වා තිබුණි. කෙසේ වුවද මෙකී කොන්ත්‍රාත්තුව අදාළ සමාගම වෙත ලබාදීමට තාක්ෂණික ඇගයීම් කමිටුව වෙත තිබී ඇත්තේ දැඩි ඕනෑකමකි. අනික් කාරණය වන්නේ සැපයුම්කාර සමාගම විසින් සීනු හා විදුලි පද්ධතිය සවිකිරීම සඳහා තෝරගෙන තිබූ නිෂ්පාදනයන් ලෝකයේ කිසිම ස්ථානයක සවිකර නොතිබූ බවට අනාවරණය වී තිබුණි. කෙසේ වුවද මෙකී ප්‍රසම්පාදනය පිරිනැමීම පිළිබඳ ප්‍රධාන සංඥා තාක්ෂණ ඉංජිනේරුවරයාගේ දැඩි විරෝධය හේතුවෙන් මේ පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා දුම්රිය සමාන්‍යධිකාරිවරයා විසින් කමිටුවක් පත්කරනු ලැබීය.

අදාළ කමිටුව මගින් ලබාදුන් වාර්තාව මගින් පෙන්වා දී ඇත්තේ මෙකී කොන්ත්‍රාත්කාර සමාගම විසින් සවිකරන ලද සීනු හා විදුලි පද්ධති අසාර්ථකවී තිබීම හේතුවෙන් ලංසුකරු විසින් තාක්ෂණික ඇගයීම් කමිටුව හා ප්‍රසම්පාදන කමිටුව නොමඟ යවා ඇති බවය. විදුලි පද්ධතියේ මෙහෙයුම් සම්බන්ධයෙන් ආරක්ෂණයක් නොමැතිවීම, කාර්යසාධන ඇපකරයක් ලබා දුන්නද ණයවර ලිපියක් විවෘතකර නොතිබීම හා ගිවිසුම් අත්සන් කර නොතිබීම පිළිබඳ මෙකී වාර්තාව මගින් දක්වා තිබුණි. එම නිසා මෙකී ලංසුව අවලංගුකොට, කාර්යසාධන සුරක්ෂණය අදාළ ලංසුකරුට නිදහස් කරන ලෙස බැංකුවෙන් ඉල්ලීම් කිරීමටත් අදාළ කමිටුව මගින් නිර්දේශ කරනු ලැබීය.

කෙසේ වුවද මෙකී ප්‍රසම්පාදනය අවලංගුකර වසර දෙකහමාරකට පමණ පසු එවකට සිටි දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යධිකාරිවරයාගේ උපදෙස් මත 2016 ඔක්තෝබර් මස 07 වැනි දිනට පෙර තෝරාගෙන තිබූ මෙකී සමාගම වෙත ප්‍රසම්පාදනය පිරිනමා තිබුණි.

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් පත්කරනු ලැබූ කමිටුව විසින් නිර්දේශකොට තිබුණේ අදාළ සමාගමේ කොන්ත්‍රාත්තුව අවලංගුකර නැවත ප්‍රසම්පාදනයක් සිදුකොට මාර්ග ආරක්ෂණ පද්ධතිය ස්ථාපනය කරන ලෙස නිර්දේශකොට තිබුණි. එහෙත් එකී නිර්දේශයන් සම්බන්ධයෙන් ඇගයීමක් සිදුනොකොට පෙර සඳහන් කොන්ත්‍රාත් සමාගම වෙත වසර දෙකහමාරකට පමණ පසු කොන්ත්‍රාත්තුව ලබාදීමට කටයුතු කිරීම සැක උපදවන කරුණකි.

අනික් කාරණය වන්නේ අදාළ කොන්ත්‍රාත්කාර සමාගම විසින් ප්‍රසම්පාදනය සඳහා ඉදිරිපත් කරනු ලැබූ ලියාපදිංචි සහතිකයේ ආයතනයේ ලිපිනය ලෙස සඳහන් කොට තිබුණේ නො. 272, බණ්ඩාරනායක මාවත, කටුබැද්ද, මොරටුව වශයෙනි. එහෙත් මෙකී ආයතනය මොරටුව විශ්වවිද්‍යාලයට අනුබද්ධ ආයතනයක් නොවන බව මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් විගණනයට දන්වා තිබුණි. එමෙන්ම අදාළ කොන්ත්‍රාත් සමාගම විසින් රජයේ ආයතනයකට අනුබද්ධ සමාගමක් ලෙස කරුණු දක්වමින් අන්තර්ජාතික තත්ත්ව සහතිකය අවශ්‍ය නොවන බවට ප්‍රසම්පාදන කමිටුව වෙත කරුනු දක්වා තිබුණි.

කෙසේ වුවද අදාළ කොන්ත්‍රාත්කාර සමාගම විසින් ඉකුත් වසරේ ජුනි මස 30 වනවිට සීනු හා විදුලි ආරක්ෂණ පද්ධති 200ම ස්ථාපිත කොට දුම්රිය දෙපාර්තමේන්තුව වෙත භාරදී තිබුණි. දුම්රිය හරස් මාර්ගවල ස්ථාපිත කරනු ලැබූ සීනු හා විදුලි පද්ධති 50ක වගකීම් කාලය නිමවීමටත් පෙර ක්‍රියාවිරහිතව ඇති අතර මේ නිසා දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන 242.13කි. මෙකී පාඩුව සැපයුම්කරුගෙන් හා එයට සම්බන්ධ පාර්ශ්වයන්ගෙන් අයකර ගැනීමට පියවර ගන්නා ලෙස ජාතික විගණන කාර්යාලය මගින් නිර්දේශකොට ඇත.

මෙකී සීනු හා විදුලි ආරක්ෂණ පද්ධති ස්ථාපිත කිරීමේ ව්‍යාපෘතිය වංචා හා දූෂණවලින් පිරී ඇති බව විගණන වාර්තාව මගින් ද පෙනී යන්නේය. ස්ථාපිත කරනු ලැබූ විදුලි හා සීනු පද්ධති ඇතැම් දුම්රිය හරස් මාර්ගවල නිසි පරිදි ක්‍රියාත්මක නොවන බව විගණනය මගින් කරනු ලැබූ භෞතික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන තිබේ. විදුලි හා සීනු පද්ධති සවිකොට තිබූ යාපනය නාවක්කුලි දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගයේ දී මෝටර් රථයක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයකු මියගියේය. මෙකී අනතුර වන අවස්ථාවේ මෙහි සවිකොට තිබූ සීනු හා විදුලි පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක වී නොමැති බව අනාවරණය වී තිබේ. මෙකී සීනු හා විදුලි පද්ධතිය කෝටි 96කට අධික මුදලක් යොදවා ස්ථාපිතකොට තිබුණද දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා දෙපාර්තමේන්තුවට හෝ දුම්රිය රියැදුරුට සන්නිවේදනය කරගැනීමේ හැකියාවක් මෙකී පද්ධතිය තුළ නොතිබුණි.

ඒ විතරක් නොව සීනු හා විදුලි සංඥා පද්ධතියේ දෝෂයක් නිසාවෙන් හෝ පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක නොවුණහොත් ඒ පිළිබඳ අදාළ දුම්රිය රියැදුරුට හෝ සංඥා දෙපාර්තමේන්තුවට දැනගැනීමේ හැකියාවක් අදාළ පද්ධතිය තුළ නොතිබුණි.

තාක්ෂණික අගයීම් කමිටුව විසින් මිල ගණන් ඇගයීමේ දී කොන්ත්‍රාත් සමාගම විසින් ඉදිරිපත් කොට තිබූ ඇමෙරිකානු ඩොලර් 6,478,190ක මිල ඇමෙරිකානු ඩොලර් 6,422,090 අඩුකර ගැනීමට කටයුතු කරන ලෙස නිර්දේශකොට තිබුණි. එහෙත් මෙම කොන්ත්‍රාත්තුව අදාළ සමාගමට පිරිනැමීම සඳහා අනුමැතිය ලබාගැනීමට අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල සංදේශයේ ඒ පිළිබඳ නොසලකා සැපයුම්කරු ඉදිරිපත්කොට තිබූ මිලටම ප්‍රසම්පාදනය පිරිනැමීමට අනුමැතිය ඉල්ලා තිබුණි. අදාළ ටෙන්ඩර්කරු විසින් අවශ්‍ය සුදුසුකම් ලැබීමේ නිර්නායක සපුරා නොතිබියදී එම සමාගමට ප්‍රසම්පාදනය ලබාදීමට තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් නිර්දේශකොට ඇති බවත් මෙය ළබැඳියාවන් මත සිදුවූ ගනුදෙනුවක් ද යන්න පිළිබඳ පරීක්ෂාවක් කොට සුදුසු පියවරගත යුතු බවට ද විගණනය මගින් නිර්දේශකොට ඇත. තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් මෙකී ටෙන්ඩරය ඇගයීමේ දී විනිවිධභාවයකින් කටයුතුකර නොමැති බවට අනාවරණය වී තිබුණි. එමෙන්ම තාක්ෂණික ඇගයීම් කමිටුව විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ප්‍රමාණවත් හා සත්‍ය තොරතුරු ලබා නොදීම සම්බන්ධයෙන් තාක්ෂණික ඇගයීම් කමිටුවේ කාර්යභාර්ය නිසි පරිදි ඉටුකිරීම පිළිබඳ සලකාබැලිය යුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment