රන් තරමට උඩ යන පොල් මිල

65

මිල පාලනය කරන්න රජය මැදිහත් වෙන්න…

ලෝකයේ වැඩියෙන්ම පොල් කන්නේ අපි…

ඉදිරියේදී තවත් වැඩිවන ලකුණු…

ශ්‍රී ලංකාවේ ජනතාවට ආහාර පිළියෙල කර ගැනීම සඳහා නැතිවම බැරි ද්‍රව්‍යයකි පොල්. අතීතයේ සිට මෙරට ජන ජීවිතය හා බැඳුණු භෝග වගා අතර පොල් ගස කප්රුකක් ලෙස හඳුන්වනු ලබයි. පොල් පැළ සිටුවා අවුරුදු පහකින් පමණ අස්වැන්න ලබා ගැනීමට ද හැකියාව පවතියි. එමෙන්ම අවුරුදු පනහත් හැටත් අතර දිගු කාලයක් වුවද පොල් ගසකින් ඵල නෙළා ගැනීමට හැකියාව ඇත.

ශ්‍රී ලංකාවේ පොල් නිෂ්පාදනයෙන් වැඩි කොටසක් දේශීය පරිභෝජනය සඳහා යොදා ගනු ලබයි. ජන සංඛ්‍යාවේ වර්ධනයත් සමග ම ශ්‍රී ලංකාවේ ගෘහස්ථව කෙරෙන පොල් පරිභෝජනය ද දිනෙන් දින වැඩි වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙයි. එය මෙරට පොල් ඵලදාවෙන් 80% ක් පමණ වන අතර ශ්‍රී ලංකාවේ වාර්ෂික ඒක පුද්ගල පොල් පරිභෝජනය ගෙඩි 120 – 125 ක් අතර වීමෙන් ඒ බව මනාව පැහැදිලි වේ. ඒ අනුව ලෝකයේ වැඩියෙන්ම පොල් පරිභෝජනය කරනු ලබන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. සාමාන්‍යයෙන් හතර දෙනෙකු සිටින පවුලක් සඳහා දිනකට පොල් ගෙඩියක් පමණ අවශ්‍ය වේ. පසුගිය කාලවල පොල් ගෙඩියක සාමාන්‍ය මිල රුපියල් 60 – 80 ත් අතර වුවත් මේ වන විට ලොකු පොල් ගෙඩියක් වෙළෙඳ පොළේ අලෙවි වන්නේ රුපියල් 120 – 150 ත් අතර මිලකටය. ඉදිරියේදී උත්සව සමය ආරම්භ වීමත් සමග එම මිල තවත් වැඩිවීමට හැකි බව පොල් පිළිබඳව පර්යේෂණවල නිරත වන අයගේ මතය වී තිබේ.

රන් තරමට උඩ යන පොල් මිල
රොනී – මල්ලිකා යුවළ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ

යටත්විජිත යුගයේ සිට වාණිජ භෝගයක් බවට පත්ව තිබෙන පොල් සැපයුම අඩුවීම කෙරෙහි බලපෑ සාධක කිහිපයකි. හෙක්ටයාරයකින් ලැබෙන ආදායම අඩු වීම, සංකීර්ණ මිනිස් අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා පොල් වගා කළ බිම් යොදා ගැනීම, පොහොර භාවිතය අඩු වීම, පොල් වගා කර ඇති ඉඩම්වලින් අමතර ආදායමක් ලබා ගැනීමට උත්සාහ නො දැරීම, පොල් ඉඩම් හිතුමතේ කට්ටි කිරීම, පොල් වගාව විනාශ කරමින් පැතිරී ගිය කෘමි උවදුර වැනි හේතු සාධක නිසා පොල් සැපයුම වර්තමානය වන විට අඩාල වී තිබේ.

ශ්‍රී ලංකාවේ වගා කරනු ලබන පොල් ප්‍රධාන වශයෙන් භාවිතා කරනු ලබන්නේ මාළු පොල් එනම් ව්‍යාංජන සඳහා යෙදීමට වන අතර පොල්තෙල් නිෂ්පාදනය සඳහා සහ අපනයන නිෂ්පාදන එනම් පිටිකළ පොල් කිරි, දිසිදි පොල් වැනි නිෂ්පාදන සඳහා ද භාවිතා කරනු ලබයි. ඊට අමතරව පොල් මදය ආශ්‍රිතව කොප්පරා, පුන්නක්කු, හිස තෙල්, සුවඳ සබන්, ෂැම්පු, බිස්කට් සහ කේක් ආදිය නිෂ්පාදනය කිරීම දැක ගත හැකිය. එමෙන්ම පොල් මල ආශ්‍රිත කොට ගෙන විනාකිරි, පැණි, හකුරු ආදිය නිෂ්පාදනය සිදුවීම ද දැක ගත හැකිය. එමෙන්ම එමගින් විශාල අපනයන ආදායමක් ලබා ගැනීමට ද හැකිව තිබේ.

සාමාන්‍යයෙන් පොල් ඵලදාව නෙළීම මැයි මාසයේ ආරම්භ වීමට නියමිත වූවත් මෙරට එය ජුනි මාසය හෝ ජුලි මාසය දක්වා කල් යෑමට ඉඩ තිබේ. ඒ අනුව ඉදිරියේදී පොල් මිල ඉහළ යෑම නවත්වා ගැනීම සඳහා දැන් සිටම අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම කළ යුතුව ඇත. වෙනත් භාණ්ඩ මෙන් නොව පවතින නීති රීති අනුව මෙරටට පොල් ආනයනය කිරීම කිසිසේත්ම කළ නොහැකි වී තිබේ.

ඒ අනුව පොල් මිල පාලනය කර ගැනීම සඳහා රජයට ගත හැකි ක්‍රියාමාර්ග කිහිපයක් ඇත. ඒ අතර පොල් ඉඩම්වල ඵලදායිතාව ඉහළ නැංවීම, ඉහළ නිෂ්පාදන විභවයක් ඇති දෙමුහුන් පොල් ප්‍රභේද හඳුන්වා දීම, පාංශූ සංරක්ෂණ ක්‍රම භාවිතයෙන් පස සෝදා පාළුවට යෑම වැළැක්වීමට කටයුතු කිරීම, පසට කාබනික ද්‍රව්‍ය යෙදීම, කෘමි හා පළිබෝධ මර්දනය කිරීම සිදුකළ යුතුය. ක්ෂණිකව සිදු කළ හැකි කාර්යයක් වන්නේ දේශීයව පොල්තෙල් ඉල්ලුම සපුරා ගැනීම සඳහා පොල් තෙල් මෙරටට ආනයනය කිරීම දිරි ගැන්වීම මගින් දේශීයව පොල් තෙල් නිෂ්පාදනය සඳහා පොල් යොදා ගැනීම අඩු කිරීමයි. එසේ කිරීම මගින් ආනයන නිෂ්පාදන සඳහා ද පොල් යොදා ගැනීමට ඇති අවස්ථාව වැඩි වේ. එම නිසා ආනයන ආදායම ඉහළ මට්ටමක රඳවා තබා ගත හැකිය.

රන් තරමට උඩ යන පොල් මිල
වික්ටෝරියා ජලාශය විවෘත කෙරුණු දා ඊට එක්වූ එවක බි්‍රතාන්‍ය අගමැතිනි මාග්‍රට් තැචර්, ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන, ගාමිණී දිසානායක සමඟ ලලිත් ඇතුලත්මුදලි යන ඇමැතිවරු සමඟ

තව ද රජයට ගත හැකි දීර්ඝකාලීන ක්‍රියාමාර්ග අතර පොල් වගා කිරීමේ මණ්ඩලය මඟින් නැවත සහනාධාර ක්‍රම ඇරඹීම, ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මඟින් යෝග්‍ය පොහොර වර්ග හඳුන්වා දීම, ශ්‍රී ලංකාවේ පොල් පර්යේෂණ ආයතනය මඟින් වැඩි අස්වැන්නක් ලබා දෙන බීජ පොල් හඳුන්වා දීම, කෘමි උවදුරු සහ පළිබෝධ මර්දනයට අවශ්‍ය උපදෙස් ලබා දීම සහ පොල් කර්මාන්තය දිරි ගැන්වීමට අවශ්‍ය ආධාර ලබා දීම හා පොහොර ලබා දී ඇති ඉඩම්වලින් අමතර ආදායමක් ලබා ගැනීමට උපදෙස් ලබා දීම එනම් කෙසෙල්, අන්නාසි, ගම්මිරිස්, කෝපි වැනි අතුරු බෝග වගාව හා සත්ත්ව පාලනය සඳහා යොදා ගැනීම පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම ආදිය වේ.

කෙසේ වෙතත් යළි පොල් අස්වැන්න වෙළෙඳපළ වෙත පැමිණෙන තුරු ආරක්ෂිතව පවතින තොග නිසි අයුරින් කළමනාකරණය කිරීම සිදු කළ යුතුව ඇත. උත්සව සමය ආරම්භ වීමත් සමග පොල් තෙල් ඉල්ලුම ද වැඩි වී පොල් තෙල් මිල ද ඉහළ යෑමේ අවදානමක් පවතියි. පොල් මිල හා පොල් තෙල් මිල පාලනය කිරීම සඳහා ඉතාම ඉක්මනින් නිසි ක්‍රියාමාර්ග නොගතහොත් අප්‍රේල් මාසය වන විට පොල් මිල හා පොල් තෙල් මිල ඉහළයෑමේ දැඩි අවදානමක් ඇති බව පසුගිය වසර කිහිපයක දත්ත ගෙන සලකා බැලීමේදී පෙනී යන කරුණකි. පොල් වගාව නිසියාකාරව සිදු කරගෙන ගියහොත් හොඳ ලාභයක් ලැබිය හැකි අතර අපනයන කටයුතු සඳහා ද සාර්ථකව යොදා ගත හැකිය.

චින්තනී වික්‍රමනායක

advertistmentadvertistment
advertistmentadvertistment