මේ ගමන ආවේ බොහොම නිශ්ශබ්දව – දුෂේනි මියුරංගි

208

ෂූටිංවලදි නූලෙන් බේරුණේ…

දුෂේණි මියුරංගි පිට පිට තෙවතාවක් ජනප්‍රියම නිළිය වෙනව. පසුගිය දා පැවැති සුමති සම්මාන උළෙලේදී සම්මානය අතැතිව ඇය කළ කතාව සමාජමාධ්‍ය පුරා සැරිසරන මොහොතක ජයග්‍රහණයේ උණුසුම අතරින් මීවිත අපි දුෂේණි සමග කතාබහකට එකතු වුණා.

දුෂේණි සුමති සම්මාන උළෙලේ ජනප්‍රියම නිළිය වෙනවා. කොහොමද ඒ හැඟීම?

සුමති සම්මාන උළෙල කියන්නේ ලංකාව තුළ පැවැත්වෙන පිළිගත් සම්මාන උළෙලක්. එහිදී ජනප්‍රියම නිළිය සම්මානයෙන් පිදුම් ලැබීම ගැන ඇත්තටම නිහතමානී සතුටක් සහ ආඩම්බරයක් තියෙනවා.

මේ ගමන ආවේ බොහොම නිශ්ශබ්දව - දුෂේනි මියුරංගි

සම්මානය වෙනුවෙන් කැම්පේන් කළාද?

ඕනෑම කෙනෙකුට පාරට බැස්සට පස්සෙ ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ආදරයත් එක්ක මැනගන්න පුළුවන් මේක තනිව කරන කැම්පේන් එකක්ද එහෙම නැත්නම් සාමූහිකව කරන එකක්ද කියල.

බන්ටිට ලැබුණ ආදරය තමයි මේ අවුරුදු දෙකක් පුරා අදටත් මට ලැබෙන්නෙ.

මේ ගමන ආවේ බොහොම නිශ්ශබ්දව - දුෂේනි මියුරංගි

එහිදී ඔබ කියූ කතාවක් මේ දිනවල සමාජ මාධ්‍යයේ සැරිසරනවා?

ඔව්, ඒ වෙලාවෙ මට දැනුණ හැඟීම මම වචනවලින් ප්‍රකාශ කළේ. මමත් සම්මාන බලාපොරොත්තුවෙන් හිටියත්” මගේ අතට එය නොලැබී, අනෙක් කෙනාට සුබපැතුම් එක්කර ආපු අවස්ථා ඕන තරම් තිබුණා. අපිට අවස්ථාවක් එනවා. ඒ අවස්ථාව එනතුරු කැපවීමෙන් අවංකව වැඩ කරන්න කියන එකයි මම කියන්නේ. එදා දැනුණ දුකට වඩා මට ලැබුණු දේ ගැන සන්තෝෂයක් සම්මානය අතේ තියෙද්දී මට දැනුණා.

නිහඬව බලා හිටපු ඔබේ අවස්ථාවද මේ උදා වුණේ?

මම බොහොම නිශ්ශබ්දව මගේ ගමන ආවේ. මොකද මම හැම තැනකම පේන්න ඉන්න කෙනෙකුත් නෙමෙයි. සමහරු අහනවා ගොඩක් කාලෙකින් දැක්කෙ නැහැ” දැන් රඟපාන්නෙ නැද්ද කියල. නමුත් මම හිතන්නේ අවශ්‍යම තැනදී ශබ්ද නගන එක තමයි හොඳම දේ. මම හිතනවා ඒක සාර්ථකයි කියලා. නමුත් ඒක මගේ කාලෙද කියන්න මම හරියටම දන්නේ නැහැ. මේ වෙලාවේ ප්‍රේක්ෂකයා මට ආදරේ කරනවා කියන විශ්වාසය මට තියෙනවා.

ඇත්තටම උළෙලට ගියේ සම්මාන ලැබෙයි කියන විශ්වාසයෙන්ද?

මෙහෙමයි, ඒ මොහොතේ ප්‍රේක්ෂකයන්ගේ ආදරය මට තියෙනවා කියලා මම විශ්වාස කළා සහ සුමති සම්මාන උළෙල සාධාරණයක් කරයි කියන විශ්වාසය මට තිබුණා. එනිසා රසිකයන්ගේ ආදරය සහ ඔවුන්ගේ බලාපොරොත්තුවත් අරගෙන තමයි මම උළෙලට සහභාගි වුණේ.

සම්මාන උළෙලින් පස්සේ ඔබේ නාට්‍යය තවත් ජනප්‍රිය වුණා?

ඔව්, ඇත්තටම සම්මාන උළෙලෙන් පස්සේ සල්ලි පොකුරු ටෙලි නාට්‍යයේ ඇතැම් දර්ශන වෛරල් වුණා. මේ නාට්‍යයේ පින්කි චරිතය මගේ ජීවිතයට අභියෝගයක් වන එකක්. මොකද මේ චරිතය වෙන කෙනෙක් අතින් නිරූපණය වුණා. නමුත් මේ වන විට මාව පින්කි කියලා බොහෝ දෙනෙක් ආදරයෙන් වැළඳගෙන කියලා මට හිතෙනවා. සම්මාන දෙකක් ලැබුණ නිසා මේ වන විට ටෙලි නාට්‍යයේ ජනප්‍රියත්වයත් යම් තරමක වැඩිවීමක් වෙලා තියෙනවා.

පින්කි නිසා ඔබට මුලදී ලැබුණේ හොඳ ප්‍රතිචාර නෙමෙයි, ඒ අය දැන් මොකද කියන්නේ?

මේ චරිතය භාර ගනිද්දී මම ගල් මුල් ප්‍රහාර බලාපොරොත්තු වුණා. අවධානයක් දිනාගත්ත චරිතයක් කෙනෙක් නිරූපණය කළාට පස්සේ ඒ කෙනා ප්‍රවීණ හෝ ආධුනික වෙන්න පුළුවන් නමුත් ප්‍රේක්ෂකයාට ඒ චරිතයත් එක්ක අලුත් කෙනාව භාරගන්න ටිකක් අපහසුයි. එතනදී අපිට ප්‍රේක්ෂකයාට දොස් කියන්න බැහැ. නමුත් මම ඒ අභියෝගය යම් ප්‍රමාණෙකට ජයගත්තා කියලා අද මට හිතෙනවා.

අද ඔබව ජනප්‍රියම නිළිය කළ අය අතර එදා ඔබට බැනපු අයත් ඉන්න ඇති?

මිනිස්සු බනිනවා කියන එක සහ මිනිසුන්ගේ ආදරය කියන එක එකම කාසියක දෙපැත්ත වගේ. ඒ බනින්නෙත් අපිට ආදරේ කරන නිසා. සමහර අය මගෙන් ඇහුවා ඇයි මේ චරිතය භාර ගත්තෙ කියලා.

දුෂේනි මේ දවස්වල පින්කි එක්ක විතරද ගනුදෙනු කරන්නේ?

ඔව්, මම පුංචි තිරයේ පිංකි එක්ක විතරයි මේ දවස්වල ගනුදෙනු කරන්නේ. ඉදිරියේදී නිර්මාණ කිහිපයකටම සම්බන්ධ වෙන්න මේ දවස්වල කතාබහ කරගෙන යනවා. සල්ලි පොකුරු ටෙලි නාට්‍යය විකාශය වෙන නිසා මෙගාවලින් ඈත් වෙලා කොටස් පනහකින් විතර සමන්විත නිර්මාණයකට සම්බන්ධ වෙන්න තමයි අදහස් කරන්නේ. ඒ වගේම මගේ තුන් වැනි චිත්‍රපටයටත් මේ අවුරුද්ද ඇතුළත දායක වෙන්න අදහස් කරනවා.

මෙගා ගැන ඔබේ අදහස?

කොහොම කිව්වත් ප්‍රේක්‍ෂකයාගේ ආදරය වැඩිපුර රැඳෙන්නෙ මෙගා නාට්‍යවලට කියල මට හිතෙනව. මොකද මිනිස්සු තමන්ගේ වෙහෙස නිවාගන්න මෙගා නාට්‍යයක් බලනව.

සිංහබාහු චිත්‍රපටයේ මාධ්‍ය ප්‍රදර්ශනයේදී මොන වගේ ප්‍රතිචාරයක් ද ඔබට ලැබුණේ?

විශේෂයෙන්ම කියන්න ඕනේ සිංහබාහු වේදිකා නාට්‍යයේ රඟපෑ සිංහ සීවලී මගේ ළඟට ඇවිත් කිව්වා ඔයා කරපු කාව්‍යමය දෙබස් උච්චාරණය මගේ හිතට ඇල්ලුවා සහ ඒවා වර්තමානයත් එක්ක ඈඳෙනවා කියලා. මං හිතන්නෙ ඒක තමයි මට ලැබුණු හොඳම ප්‍රතිචාරය.

සිංහබාහු රූගත කරද්දී මුහුණ දුන් අභියෝග?

ඇත්තටම ඒ චිත්‍රපටය රූගත කිරීම ම ලොකු අභියෝගයක් වුණා. මොකද හරිම අවාසනාවන්ත සිද්ධියකට අපිට මුහුණ දෙන්න සිදුවුණා. ඒ ජැක්සන් ඇන්තනී මහත්මයා මුහුණ දුන් අනතුර. ඒ හැරුණාම මට පෞද්ගලිකව දැනුණු අභියෝගයක් වුණේ කාව්‍යාත්මක දෙබස් උච්චාරණය කොහොමද වර්තමානයට ඈඳගන්නේ කියන එක. සෝමරත්න දිසානායක කියන්නේ දැවැන්ත අධ්‍යක්ෂවරයෙක්” බොක්ස් ඔෆිස් අධ්‍යක්ෂවරයෙක්. එතුමාත් එක්ක වැඩ කරද්දි මම ටිකක් බය වෙලා හිටියේ. නමුත් හැමදේම බොහොම සැහැල්ලුවෙන් සිද්ධ වුණා.

ෂුටිං වලදි අකරතැබ්බවලටත් මුහුණ දුන්නා?

අපි ෂූටිං කළේ වන සතුන් ඉන්න” ස්වාභාවික ප්‍රශ්න තියෙන මහ කැලේ. එක දර්ශනයක් රූගත කරද්දි මට එක එල්ලේ බලාගෙන යන්න තිබුණා. එකවරම කට් කට් කියල අපේ අය කෑගැහුවා. බිම බලනකොට මගේ කකුල ළඟ කුණකටුවෙක්. ඒ මොහොතේ මම බේරුණේ අනූනවයෙන්.

අධ්‍යක්ෂවරයා ඔබට යමක් කිව්වද?

එතුමා ඒ මොහොතේ නම් මාව අගැයීමට ලක් කළා. නමුත් සියයට සියයක ප්‍රතිචාරය ප්‍රේක්ෂකයාට චිත්‍රපටය ඉදිරිපත් කළ පසු මට කියයි.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප – නෙක්සස් ක්‍රියේෂන්ස්

advertistmentadvertistment
advertistmentadvertistment