පුරාවස්තුව රැකගැනීමට ශක්තිමත් නීතිමය පසුබිමක් !

74

අතීතයේ සිටම පුරාවිද්‍යා ස්ථාන ස්මාරක ජාතික වස්තූන් ලෙස සලකා මෙරට වැසියන් විසින් ආරක්ෂා කරනු ලැබ ඇත. නූතන අර්ථයෙන් ගත් කළ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක ස්ථාන හා ස්මාරක වෙත පුරාසක්තවාදීන් ගේ ක්‍රමානුකූල උනන්දුව මතුවන්නට පටන් ගනු ලැබූයේ 19 වන සියවසේ මැද භාගයේදී ය. එකළ දිවයිනේ ප්‍රධාන පැරණි ස්ථාන ක්‍රමානුකූල ලෙස ගවේෂණය කිරීමට එවකට පැවැති රජයන් පෙළඹිණ. වර්ෂ 1890 එච්.සී.පී. බෙල් ප්‍රමුඛ කණ්ඩායමක් විසින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලද්දේ මෙකී පුරාවිද්‍යාත්මක කටයුතු පවත්වාගෙන යෑම හා නියාමනය කිරීමේ ප්‍රධාන ආයතනය ලෙස ය. පෙර කී කාල සමයට සමගාමීව මෙරට පුරාවිද්‍යාත්මක සමීක්ෂණ බොහෝ සේ කේන්ද්‍රගතව පැවැතියේ ලිඛිත මූලාශ්‍ර මත පදනම් වූ ඓතිහාසික සොයා බැලීම් පිළිබඳ අභිලාෂයෙන් යුතුව පුරාවිද්‍යා ස්ථාන සහ ස්මාරක සොයා ගැනීම හා එහි සංරක්ෂණයන් මත ය. තත් ගමන විසිවන සියවසෙහි පසුභාගය වනතුරුම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ අතර, එහි මූලාශ්‍රයික පදනම වූයේ ඉතිහාසයට තදනුබද්ධව ය.

මේ අනුව එවකට සිටි බලධාරීන්ගේ අප්‍රතිහත ධෛර්යයේ ප්‍රතිඵලයක් ලෙස ලොව නොයෙකුත් රටවල පුරාවස්තූන් පිළිබඳ ඉතාම මෑත ම නීතිය අධ්‍යයනයට භාජනය කොට සකස් කළ පනතක් 1937 ජූලි මස 19 වන දින රාජ්‍ය මන්ත්‍රණ සභාවට ඉදිරිපත් කරන ලදී. විවිධ අවස්ථා තුළින් එය ඉදිරියට ගෙන යන ලදුව, සම්මත කොට 1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත ලෙස 1940 ජූලි මස 15 වන දින සිට අදාළ වන සේ නීති සංග්‍රහය ට ඇතුළත් කරන ලදී. නව ආඥාපනත යටතේ සකස් කළ රෙගුලාසි 1940 දෙසැම්බර් මස 23 වන දින හා අංක 8698 දරන ගැසට් පත්‍රයේ පළවිය. (පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතිහාසය, 1 වෙළුම, 1990, 85).

1940 පනත ප්‍රකාරව “පුරාවස්තුව” යන්නෙන් යම් පැරණි ස්මාරකයක් හෝ වර්ෂ 1815 මාර්තු මස 2 වන දින ට පූර්වයේ සිට පැවැතෙන, නැතහොත් එසේ පැවැත එන්නේ යැයි යුක්ති සහගතව විශ්වාස කළ හැකි වූ ද ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන හෝ පවතින හෝ සොයා ගනු ලබන ද්‍රව්‍යයක් අදහස් වේ. (1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත, 48 වගන්තිය, 31).

පුරාවස්තු සොයා ගැනීම සඳහා කරනු ලබන කැණීම් යටතේ “පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලැබූ බලපත්‍රයක අධිකාරිය යටතේ හැර තමන්ට අයිති ඉඩමක හෝ අන් අයට අයිති ඉඩමක පුරාවස්තු සොයා ගැනීමේ කාර්යය සඳහා කිසිම තැනැත්තකු විසින් කැණීම් නොකළ යුතුය” (1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත, 11 කොටස, 6 වන වගන්තිය, 3).

පැරණි ස්මාරක හා ආරක්‍ෂිත ස්මාරක

පැරණි ස්මාරකයක් ලෙස 1815 මාර්තු මස 2 වන දිනට පූර්වයේ වූ කාල සීමාවක සිට පැවත එන නැතහොත් එලෙස පැවතෙන්නේ යැයි විශ්වාස කළ හැකි ශ්‍රී ලංකාවේ පිහිටා තිබෙන හෝ පවතින හෝ සොයා ගනු ලබන හෝ යම් ස්මාරකයක් අයත් වන අතර එයට ආඥාපනතේ 17 වන වගන්තිය ප්‍රකාර යම් ගසක් ද ඇතුළත් වේ. (1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත, 16 වන වගන්තියේ 1 වන උපවගන්තිය, 9 හා 48 වන වගන්තියේ අර්ථ නිරූපණය, 30 (ආ).

මීට අමතරව 1998 සංශෝධනය මගින් “අවුරුදු සියයක ට නො අඩු කාල පරිච්ජේදයක් පැවතී තිබෙන හෝ පැවතී තිබෙන්නේ යැයි විශ්වාස කරනු ලබන” (1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනත, 5 වන වගන්තියේ 1, 2 වන උපවගන්ති, 3).

එමෙන්ම ඉහත පෙන්වා දෙන ලද ආරක්‍ෂිත ස්මාරක ප්‍රතිසංස්කරණය කිරීම, අලුත්වැඩියා කිරීම වෙනස් කිරීම හෝ අතිරේකව ඉදිකිරීමේ කාර්යයන් පුරාවිද්‍යා කොමසාරිස්වරයා විසින් නිකුත් කරනු ලබන අවසර පත්‍රයක අධිකාරය යටතේ හා කොන්දේසි අනුව හැර, කිසියම් තැනැත්තකු විසින් නො කළ යුතු බව ද අවධාරණය කර ඇත. (1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත, 21 වගන්තියේ, 1 වන උපවගන්තිය, 11).

ප්‍රධාන ප්‍රඥප්තියේ 33 (1) (අ) (ආ) හා (2) උපවගන්ති ප්‍රකාරව ඉඩම් කොමසාරිස්වරයා හා ඉඩම් විෂයභාර අමාත්‍යවරයාගේ අනුමැතිය ඇතිව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්හට වෙන්කළ පුරාවිද්‍යා ප්‍රදේශ වශයෙන් නම් කළ හැකි බව දක්වා ඇත. (1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත, 33 (1) (අ) (ආ) හා (2) උපවගන්ති, 21). එමෙන්ම 34 වගන්තිය මගින් ඉහත විධිවිධානයන්ට අනුකූලව ක්‍රියාකරන තැනැත්තන් හැර, වෙන්කළ පුරාවිද්‍යා ප්‍රදේශයක එළිපෙහෙළි කිරීම, කඩා වෙන්කර ගැනීම, බිමි කොටස වගා කරන, එම ප්‍රදේශයේ යම් නිර්මාණයක් ඉදිකරන, එම ප්‍රදේශයේ ගසක් කපා බිම හෙළන, අන් ලෙසකින් විනාශ කරන, එවැනි ප්‍රදේශයේ අන් ලෙසකින් අයුතු ලෙස කොටු කර ගැනීම වරදක් බව ද දක්වා ඇත. (1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත, 34 වගන්තයේ (අ) (ආ) (ඇ) (ඈ), උපවගන්ති, 22), ප්‍රධාන ප්‍රඥප්තියේ ඩ කොටසේ 36 වන වගන්තියේ (1) හා (2) උපවගන්ති මගින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරනු ලබන බලපත්‍රයක් යටතේ හැර කිසිම තැනැත්තකු විසින් කිසිදු පුරාවස්තුවක් ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීම නොකළ යුතු බව දක්වා ඇත. (1940 අංක 9 දරන පුරාවස්තු ආඥාපනත, 36 වන වගන්තියේ (1) – (2) උප වගන්ති, 24).

එමෙන්ම රේගු ආඥා පනතේ විධිවිධාන ප්‍රකාරව පුරාවස්තු වූ කලී අපනයනය සීමා කරනු ලැබූ භාණ්ඩ ලෙස සැළකිය යුතු බව ද දැක්වේ. (1901 අංක 6 දරන රේගු ආඥාපනත). නීති විරෝධී ලෙස ශ්‍රී ලංකාව සතු පුරාවස්තු විදේශ රටවලට රැගෙන යෑමේ ක්‍රියාවලිය මෙමගින් ඇහිරෙන අතර අපනයනය සීමා කිරීම තුළ ඒ සඳහා කරනු ලබන ඉල්ලීම් ද අඩු වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.

ප්‍රධාන ප්‍රඥප්තියේ 43 වන වගන්තියට ඉක්බිතිව 1998 සංශෝධනය මගින් ප්‍රධාන ප්‍රඥප්තිය ට අලුතින් එකතු කරන ලද 43 (අ) සහ 43 (ආ) වගන්ති මගින් ආණ්ඩුව හෝ වෙනත් ආයතනයක් හෝ තැනැත්තකු විසින් සංවර්ධන ව්‍යාපෘතියක් යෝජනා කරනු ලැබූ අවස්ථාවක එකී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වීම තුළින් පුරාවස්තුවලට ඇති විය හැකි බලපෑම පිළිබඳව හානි ඇගයුම් සමීක්‍ෂණයක් (Archaeological Impact Assesment) පැවැත්වීමේ අවශ්‍යතාව ඉස්මතු කර ඇත. (1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනත, 12 වන වගන්තිය, 7). එමෙන්ම මීට අයත් වන ව්‍යාපෘතීන් කවරේද යන්න පිළිබඳව සටහන් ද ජනරජයේ අති විශේෂ ගැසට් පත්‍රය මගින් 2000 වර්ෂයේදී ප්‍රකාශයට පත් කරන ලදී. (2000 ඔක්තෝබර් මස 4 බදාදා අංක 1152/14 දරන රජයේ අති විශේෂ ගැසට් පත්‍රය).

පුරාවස්තු සොරකම් කිරීමට සහ විනාශ කිරීමට අදාළ වැරදි

ප්‍රධාන ප්‍රඥප්තියේ 15 වන වගන්තියේ (1) (අ) (ආ) (ඇ) (ඈ) (ඉ) හා එහි (2) උප වගන්තිය මගින් ද 1998 සංශෝධන පනතේ 4 වන වගන්තිය මගින් ප්‍රධාන ප්‍රඥප්තියේ 15 (අ) 15 (ආ) 15 (ඇ) 15 (ඈ) වගන්ති වශයෙන් බලපැවැත්වෙන පරිදි පුරාවස්තු විනාශ කරන්නන්ට එරෙහි ව දණ්ඩනයන් පනවා ඇත. (1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනත, 4 වන වගන්තිය, 1). ඒ අනුව පුරාවස්තු සොරකම් කිරීමට අදාළ වැරදි 15 (ආ) මගින් ප්‍රකාශිත ය.

“වෙනත් යම් තැනැත්තකු ගේ සන්තකයේ ඇත්තා වූ පුරාවස්තුවක් සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 366 වන වගන්තියේ අර්ථානුකූලව සොරකමක් කරන යම් තැනැත්තකු මේ ආඥා පනත යටතේ වරදකට වරදකරු වන අතර, මහෙස්ත්‍රාත්වරයකු ඉදිරියේ පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කරනු ලැබූ විට රුපියල් පනස් දහසක් නොඉක්මවන්නා වූ දඩයකට හෝ අවුරුදු දෙකකට නොඅඩු වන්නා වූ ද අවුරුදු පහකට නොවැඩි වන්නා වූ ද කාලයක් සඳහා දෙයාකාරයෙන් එක් ආකාරයක බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකටම හෝ ඔහු යටත් විය යුතු ය.” (1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනත, 4 වන වගන්තිය, 1-2).

එහි 15 (ආ) මගින් පුරාවස්තු විනාශ කිරීමට එරෙහිව දණ්ඩනයන් පනවා තිබේ. විශේෂයෙන් මෙහි යම් පුරාවස්තුවක් ඕනෑකමින්ම විනාශ කරන, හානියට පත් කරන විරූප කරන හෝ අයුතු ලෙස වෙනස් කරන, නැතහොත් එහි යම් කොටසක් ඕනෑකමින් පලුදු කරන යම් අයකුට ඉහත 15 (අ) යටතේ වූ දණ්ඩනයන්ට යටත් විය යුතු බව දක්වා ඇත. (1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනත, 4 වන වගන්තිය, 2).

1998 සංශෝධනයේ 15 (ඈ) මගින් මෙම ආඥාපනත යටතේ වරදකට චෝදනා ලැබූවකු ඇප මත මුදාහැරිය නොහැකි බව අවධාරණය කර ඇත. (1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනත, 4 වන වගන්තිය, 2).

1998 සංශෝධනයේ 15 (ඈ) වගන්තිය ප්‍රකාරව පුරාවස්තු සම්බන්ධ වරදක් සම්බන්ධයෙන් නඩු පැවරීමක දී යම් සහතිකයක විස්තර කරන දෙය පුරාවස්තුවක් බවට පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් විසින් සහතික කිරීම, වැඩිදුර සාක්‍ෂි නොමැතිව පිළිගත හැකි බව අවධාරණය කර ඇත. (1998 අංක 24 දරන පුරාවස්තු සංශෝධන පනත, 4 වන වගන්තිය, 2).

ඉහත පෙන්වා දුන් කරුණු අනුව පුරාවස්තු ආඥා පනතේ විධිවිධාන අනුව පුරාවිද්‍යාත්මක උරුමය මනා ලෙස කළමනාකරණය හා ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාත්මක උරුමය ශ්‍රී ලාංකික ජනතාවගේ අනුල්ලංඝණීය අයිතිවාසිකමක් බවත්, එය ආරක්‍ෂා කිරීම සහ කළමනාකරණය රටෙහි මානව සංවර්ධනයේ පැතිකඩක් ලෙස සැලකීමත්, උදෙසා නෛතිකමය රාමුවක් තුළින් පුරාවස්තුව දෙස බැලීම රාජ්‍යයේ වගකීම වන බව මෙමගින් පසක් කර ඇත. මෙවැනි නීති සංග්‍රහයක් ගෙන ඒමේ මූලික කරුණ ද පුරාවස්තුව වූ කලී රටේ අනන්‍යතාව පිළිබිඹු කරන සම්පතක් වීමත්, එයට හානි පැමිණවීමෙන් එය ප්‍රතිලෝමනය හා ප්‍රතිස්ථාපනය කළ නොහැකි සම්පතක් වීමත් පදනම් කොටගෙන ය. මෙකී අනපනත් ප්‍රකාර ශික්‍ෂණය වැඩූ කළ, ඉතා ශීඝ්‍රයෙන් පරිහානියට පත්ව ප්‍රතිස්ථාපනය කළ නොහැකි පුරාවිද්‍යාත්මක උරුමය රැක ගැනීම සඳහා දීර්ඝකාලීන ආයෝජනයක් සැලසෙනු ඇත.

පුරාවිද්‍යාඥ අයි.ඩී.එම්. විජේබණ්ඩාර,
පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී,
ප්‍රාදේශීය පුරාවිද්‍යා කාර්යාලය,
මහනුවර.
E- mail – [email protected]

advertistmentadvertistment
advertistmentadvertistment