පුටු තණ්හාව පැත්තක තියලා වටු කුරුළු ආදර්ශය ගත්තා

294

පාපන්දු උන්නතිය වෙනුවෙන් සියලු පාර්ශ්ව එකතු වීම පිළිබඳව හිටපු සභාපති රංජිත් රොද්‍රිගු කියයි

පාපන්දු මුල් පුටුවට ඒම පිණිස වෙනදා බෙදී තරග කළ සියලු පාර්ශ්ව ඒ බල තණ්හාව පසෙක තබා රටේ පාපන්දු තහනම ඉවත්කර ගැනීමේ ඒකායන අරමුණ වෙනුවෙන් අද එක මේසයකට පැමිණ තිබෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපතිවරයකු වන රංජිත් රොද්‍රිගු මහතා පැවසීය.

පිටකෝට්ටේ බැද්දගානේ පිහිටි පාපන්දු මූලස්ථානයේදී මෙරට පාපන්දු නියෝජිතයන්ගෙන් සියයට 95 කට වැඩි පිරිසක සහභාගිත්වයෙන් පෙරේදා (29 වැනිදා) සවස් වරුවේ පැවති මාධ්‍ය හමුව අමතමින් රංජිත් රොද්‍රිගු මහතා එම අදහස් පළ කළේය.

වටු කුරුළු රංචුව එකට එකතු වී දැල ඔසවා ගෙන ගියා වගේ මේ ගමන යන්න අපි තීරණය කළා. එහි මුල් ගල තමයි අද මේ බැද්දගානේ දී තියන්නේ යැයි ද රොද්‍රිගු මහතා එහිදී සදහන් කළේය.

හිටපු සභාපති ජස්වර් උමර් සහ හිටපු පාපන්දු විධායක මණ්ඩල සභික මෙන්ම 2021 නිලවරණයේ සභාපති අපේක්ෂක වූ වෛද්‍ය මනිල් ප්‍රනාන්දු යන මහත්වරුන් දෙදෙනාට මැදිව එක මේසයක සිටිමින් රංජිත් රුද්‍රිගු මහතා එසේ ප්‍රකාශ කරද්දී ඉන් ඉදිරිපස රැස්ව සිටි පාපන්දු ලීග 67 න් 63 කම නියෝජිතයෝ එම සාමුහිකත්වය පිළිබඳව දෑත් ඔසවමින් සිය එකඟතාවය පළ කළහ.

ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ජාත්‍යන්තර තහනමෙන් මුදා ගැනීම පිණිස පාපන්දු ලීග නියෝජිතයන් සැමදෙනා එක පයින් සිට ගන්නා බව ජාත්‍යන්තරයට දැනුම් දෙමින් ලබන 14 වැනිදා විශේෂ මහා සභා රැස්වීමක් පැවැත්වීමටත් එම විශේෂ හමුවේ දී තීරණය කෙරිණි.

මාධ්‍ය හමුවේ දී තවදුරටත් අදහස් දැක්වූ රංජිත් රොද්‍රිගු මහතා කීය.

“අපි බෙදිලා හිටිය කාලය ඇති. සභාපති පුටුවට අපි හැමෝම ආසයි. හැබැයි සභාපති පුටුවට වඩා අපි රටේ පාපන්දුවට ආදරෙයි. පාපන්දුවට අපි සැබෑවටම ආදරේ නම් අපි මේ පාපන්දුව බේරගන්න ඕන. ඒ සඳහා අපි හැමදෙනාම එක අරමුණක් වෙනුවෙන් අත්වැල් බැඳ ගත්තා. මට මතකයි අපිට එකතු වෙන්න බැරිද මුලින්ම ඇහැව්වේ බදුල්ල පාපන්දු ලීගයේ සභාපති ඇමැති ඩිලාන් පෙරේරා. ඔහු ඒ බව අපට නිතර මතක් කරා. ඒ වගේම ආසියානු පාපන්දු සම්මේලනයේ ලේකම් ට මම පසුගියදා කතා කළා. මට ඒ අය කිව්වේ ඇයි ඕගොල්ලො බෙදිලා ඉන්නේ ඕගොල්ලො මුලින් එකතු වෙන්න කියලා.

අන්තිමට අපිට මොලේ පෑදිලා මේ තීරණයට ඇවිත් තියෙනවා. අද අපිට ඒ ගැන සතුටුයි. හිටපු සභාපති ජස්වර් මේ කර්තව්‍යයේ දී විශාල කැප කිරීමක් කරා.

හැබැයි මම කාගෙවත් සුදු හුණු ගාන්න යන්නේ නැහැ. රටට පාපන්දු තහනමක් වැටෙන්න ප්‍රධාන වශයෙන් බලපෑවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ වැරදි තීරණයි. එදා අපි හැමෝම පසුගිය සැප්තැම්බර් 22 වෙනිදා නව ව්‍යවස්ථාවක් සම්මත කර ගත්තා. ඇමැතිතුමා ඒ ව්‍යවස්ථාව ගැසට් එකකින් අවලංගු නොකරන්න අපිට මේ ඉරණම අත් වෙන්නෙ නැහැ. හැබැයි හැම නරක දේකම හොඳකුත් තියෙනවා වගේ එහෙම වුණ හින්දා අද අපි එකට එකතු වෙලා ඉන්නවා.”

කෙසේ වෙතත් අද එකට එකතු වී සිටියත් වැරැද්දක් දුටුවහොත් එය විවේචනය කරන්නට තමා පසුබට නොවන බවත් කියන්න තියෙන දේ තමා නොබියව කෙලින් කියන බවත් රංජිත් රොද්‍රිගු මහතා පැවසීය.

“ලබන 14 වෙනිදා විශේෂ මහා සභා රැස්වීම කැඳවා තිබෙනවා” – හිටපු සභාපති ජස්වර් උමර් ශ්‍රී ලංකාවට පනවා තිබූ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉවත්කර ගැනීමේ ක්‍රියාවලියේ ඇමැති රොෂාන් රණසිංහ මහතාගේ කාර්යභාරය මේ වන විට අවසන්ව ඇති බවත් එම අදියරයේ තමන්ගේ කාර්යභාරය ලෙස ලබන 14 වැනිදා විශේෂ මහා සභා රැස්වීමක් කැඳවා පාපන්දු නිලවරණය පැවැත්වීමට අදාළ කටයුතු සිදු කරන බවත් එම මාධ්‍ය හමුව ඇමැතූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති ජස්වර් උමර් මහතා පැවසීය.

එම මහා සභා රැස්වීම සඳහා සහභාගි වන ලෙස සියලු පාපන්දු ලීග නියෝජිතයන්ට දැනුම් දී ඇති බව ද ඒ අයගේ සහභාගිත්වය එදින අනිවාර්යෙන් බලාපොරොත්තු වන බව ද ජස්වර් උමාර් මහතා කීය.

“අපි එකතුවෙලා කියලා ලෝකයට පෙන්නන්න ඕන. නිලවරණයේදී තුනෙන් දෙකක බලයක් තමයි ඕනා. ඒත් අපිට 90% ක ට වැඩිය බලයක් හිමි වෙයි. එහෙම වූ විට අපිට මේ තහනම ඉවත් කරගන්න පහසුයි.

පසුගිය සැප්තැම්බර් මස 22 වැනි දා සියලු දෙනාගේ එකමුතුවෙන් සම්මත කරගත් පාපන්දු නව ව්‍යවස්ථාවට අනුව නිලවරණය පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් එම ව්‍යවස්ථාව ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කිරීම ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තහනමක් පැනවීමේ ආසන්නතම හේතුව බවද ජස්වර් මහතා කීය.

එහෙත් මේ වන විට ඇමැතිවරයා නම්‍යශීලී බවකින් කටයුතු කර එම ව්‍යවස්ථාව අනුමත කර ඇති බව ද ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය සහ ආසියානු පාපන්දු සම්මේලනය ඒ අනුව ශ්‍රී ලංකාවේ පාපන්දු තහනම ඉවත් කිරීමට අවශ්‍ය කාර්යය ඉදිරියේ දී ඉටු කරනු ඇති බවද ජස්වර් මහතා සඳහන් කළේය.

ඊට පෙර ශ්‍රී ලංකාව නිලවරණය පවත්වා නව නිලධාරීන් පත් කර ජාත්‍යන්තරය දැනුවත් කිරීමට කටයුතු කළ යුතු බවද විශේෂ මහා සභා රැස්වීමෙන් අනතුරුව ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයන් පුහුණුවීම් සඳහා කැඳවීමට තීරණය කර ඇතැයි ද ජස්වාර් මහතා සඳහන් කළේය.

ඉදිරි රැස්වීමේදී නිලවරණය පැවැත්වෙන දිනයක් සහ නිලවරණ අපේක්ෂකයන් සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද ශ්‍රී ලංකාව සහ යේමනය අතර ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයේ පැවැත්වෙන පළමු තරගයට දින 10කට පෙර අදාළ නිලධාරි මණ්ඩල පත් කිරීම ට කටයුතු කළ යුතු බවද ඒ මහතා කීය.

“හිටපු සභාපති අනුරත් අපට එකතු වෙයි”

හිටපු පාපන්දු ජ්‍යෙෂ්ඨ උප සභාපති මනිල් ප්‍රනාන්දු

මෙම මාධ්‍ය හමුව ඇමතූ හිටපු පාපන්දු ජ්‍යෙෂ්ඨ උප සභාපති විධායක මණ්ඩල සභික වෛද්‍ය මනිල් ප්‍රනාන්දු මහතා පැවසූයේ අද රැස්වීම සඳහා හිටපු සභාපති අනුර ද සිල්වා මහතා නොපැමිණියද ඔහුගේ සහභාගිත්වය ද ඉදිරියේදී තමන් අපේක්ෂා කරන බවයි.

“ඔහු එයි කියා අපි බලාපොරොත්තු වෙනවා. මේ සම්බන්ධයෙන් මගෙත් සමග ඔහු කතා කළා. පසුගිය වර ඡන්දයේ දී ඔහු මගේ පැත්තෙන් ලේකම් ලෙස තරග කළා. මේ අගාධයෙන් ගොඩ වෙන්න ඔහුටත් අවශ්‍යයි.

ඒ වගේම ජාතික කණ්ඩායම පිළිබඳව අවධානය පිළිබඳව අවධානය යොමු කිරීමේ දී විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය අත්‍යවශ්‍යයි. මේක ඉක්මනින්ම කරන්න ඕනේ. නමුත් ඒ එන ක්‍රීඩකයන්ට අවශ්‍ය රක්ෂණාවරණ වගේ පහසුකම් ගැන කතාබහ කරමින් ඉන්නේ. ඒවා අපි ඉක්මනට සලසන්න ඕන.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment