දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් – EPF එකටත් තට්ටු වෙයිද?

373

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ගැන මේ දිනවල බොහෝ සාකච්ඡා සිදුවෙමින් තිබේ. එහි හොඳ නරක බලපෑම් ගැන අදහස් ඉදිරිපත් වෙමින් තිබේ. කාටවත් කිසිදු බලපෑම් නොමැතිව දේශීය ණය ප්‍රශස්තකරණය සිදුකළ නොහැකි බව ද අප පිළිගත යුත්තකි. ඒ නිසා මෙහි බලපෑමක් තිබේ. එහෙත් අවශ්‍ය කරන්නේ එම බලපෑම් අවම කරගත හැකි ප්‍රශස්ත විසඳුමකි. ඒ අනුව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙන්ම රජයේ පාර්ශ්වයෙන් අපට කියන්නේ මේ ඉදිරිපත් කර ඇත්තේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ප්‍රශස්තම (වඩා හොඳම) යෝජනාව බවයි. මීට වඩා හොඳට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සිදු කළ හැකි යෝජනාවක් තිබේ නම් එය ඕනෑම අයෙකුට රටට ප්‍රකාශ කළ හැකිය. මේ වන විට දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ගැන මහ බැංකු අධිපතිවරයා බොහෝ අදහස් ඉදිරිපත් කර තිබේ. මෙය තාක්ෂණික විෂයක් නිසා දේශපාලන කතාවලට වඩා මේ ගැන දැනුමක් ඇති අය කරන පැහැදිලි කිරීම් ගැන වැඩි අවධානයක් යොමු කිරීම ද ඉතා වැදගත්ය. මේ පසුබිම තුළ දේශීය ණය ප්‍රශස්තකරණයේ ආර්ථික බලපෑම් ගැන අපි සාකච්ඡා කරමු.

අති විශේෂ ගැසට් නිවේදනයක්

මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා දැන් පාර්ලිමේන්තු අනුමැතිය ලැබී ඒ සඳහා බලය පවරන ගැසට් නිවේදනයක් ද මුදල් ඇමැතිවරයා වශයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023 ජුලි 03 දාතමින් යුතුව නිකුත් කර තිබේ. මේ ගැසට් නිවේදනය ප්‍රකාරව ශ්‍රී ලංකාව තුළ නිකුත් කර ඇති ස්කන්ධ හෝ සුරැකුම්පත් හිමියකුට 2023 ජූනි මස 28 වැනි දින වන විට පවතින ස්කන්ධ හෝ සුරැකුම්පත් මුළුමනින්ම හෝ ඉන් කොටසක් පරිවර්තනය කිරීමට හෝ හුවමාරු කිරීමට අදාළ බලය මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් සහ රාජ්‍ය ණය අධිකාරී වෙත පවරා ඇත. ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත යටතේ හෝ ඕනෑම පනතක විධිවිධාන යටතේ ශ්‍රී ලංකාව තුළ නිකුත් කර ඇති ස්කන්ධ හෝ සුරැකුම්පත් හිමියන්ගේ 2023 ජූනි මස 28 වැනි දින වන විට පවතින ස්කන්ධ හෝ සුරැකුම්පත් සම්බන්ධයෙන් මෙය අදාළ වේ.

එසේම ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත යටතේ හෝ ඕනෑම පනතක විධිවිධාන යටතේ ශ්‍රී ලංකාව තුළ නිකුත් කර ඇති ස්කන්ධ හෝ සුරැකුම්පත් හිමියකුට එම ස්කන්ධ හෝ සුරැකුම්පත්, අදාළ පරිදි භාණ්ඩාගාර බැඳුම්කරවලට පරිවර්තනය කිරීම හෝ හුවමාරු කිරීමට සහ ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥාපනත යටතේ එම භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පොලී ගෙවීම සහ පරිවර්තනය හෝ හුවමාරු කිරීම සඳහා වන ක්‍රමවේදය අදාළ පරිදි සඳහන් කිරීමට ද මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේකම් සහ රාජ්‍ය ණය අධිකාරී වෙත මෙම ගැසට් නිවේදනයෙන් බලය පවරා තිබේ. මේ අනුව අදාළ පාර්ලිමේන්තු අනුමැතියෙන් පසු මේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සිදු කිරීම සඳහා නෛතික බලය ලබාගෙන ඇති අතර මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ කටයුතු මේ මාසය (ජුලි) තුළ අවසන් වීමට නියමිතය.

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුවිශේෂී ඉහළ යෑමක් පසුගිය ජුලි 04 වැනිදා වාර්තා විය. දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමත් සමගම එදින පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල දැවැන්ත වර්ධනයක් වාර්තා විය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් පසු බැංකු සහ කොටස් වෙළෙඳපොළ කටයුතු දින පහකට පසු ආරම්භ වූයේ පෙරේදා (04) ය. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා මෙරට බැංකු පද්ධතියට අඛණ්ඩ දින පහක විරාමයක් ලබා දීමට රජය කටයුතු කළ අතර ඊට සමගාමීව කොළඹ කොටස් වෙළෙඳපොළට ද දින පහක නිවාඩුවක් ලැබුණි. එම තීන්දු තීරණවලට ධනාත්මක ප්‍රතිචාරයක් ලබා දෙමින් ලැයිස්තුගත බැංකු සහ මූල්‍ය සමාගම් සියල්ලකගේම පාහේ කොටස් මිල ගණන් එදින කැපීපෙනෙන ලෙස ඉහළ ගිය බව දක්නට ලැබිණි.

කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රධාන මිල දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය පෙරේදා (04) දිනයේ ගනුදෙනු අතරවාරයේ දී ඒකක 10ල000 සීමාව ඉක්මවා ගියේය. එදින ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 10ල076.64 ක් දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබිණි. සියලු කොටස් මිල දර්ශකය ඒකක 633.69 ක, එනම් පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව සියයට 6.71 ක සුවිශේෂී වර්ධනයක් අත්පත් කර ගත් අතර එම දිනයේ සමාගම් 176 ක කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබුණි. එහිදී කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, වැලිබල් වන්, හැටන් නැෂනල් බැංකුව සහ එල්ඕඑල්සී හෝල්ඩිංග්ස් යන සමාගම් වෙතින් සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩි දායකත්වයක් ලැබී තිබුණි. රු. බිලියන 7.41 ක වාර්තාගත ගනුදෙනු පිරිවැටුමක් එම දිනයේ දී වාර්තා විය. එසේම ඊයේ දිනයේ කොටස් වෙළෙඳපොළේ එස්ඇන්ඩ්පී ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 2992.82 ක් දක්වා ඒකක 279.17 කින් ද ඉහළ ගොස් තිබේ. මේ අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය සඳහා කොටස් වෙළෙඳපොළ ආයෝජක ප්‍රජාව ඉහළ ධනාත්මක ප්‍රතිචාරයක් දක්වා ඇත. එහෙත් සේවක අර්ථ සාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලට වන බලපෑම ඔවුන්ට නොදැනෙනවා විය හැකිය.

අර්ථසාධක අරමුදලට වන බලපෑම

මේ පසුබිම තුළ වඩාත්ම සාකච්ඡාවට ලක්වී ඇති කාරණය වන්නේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලට වන බලපෑමයි. මෙකී දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නිසා සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලට වන මුදල්මය අගයට (ශේෂයට) හානියක් නොවුණත් එහි මුර්ත අගයට සහ පොලී ප්‍රතිලාභයට සැලකිය යුතු බලපෑමක් සිදුවන බවට ඇතැමුන් අදහස් දක්වා ඇත. උද්ධමනය හමුවේ කොහොමත් මුදල්වල මුර්ත අගය එනම් මුදල්වලින් මිලදීගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය අඩු වේ. එහි බලපෑම සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලට පමණක් නොව බැංකු තැන්පතුවලට ද සිදු වේ. උද්ධමනයට වඩා අඩු පොලියක් ගෙවන විට ඇත්තේ ඍණ මුර්ත පොලියකි.

පසුගිය කාලයේ උද්ධමනය සියයට 70 ක් පමණ දක්වා ඉහළ ගියේය. එහෙත් මේ අරමුදල්වලට ලැබුණු පොලී ප්‍රතිශතය ඊට වඩා බොහෝ අඩු බව රහසක් නොවේ. එහෙත් මේ වන විට උද්ධමනය වේගයෙන් අඩු වෙමින් තිබේ. මේ අනුව පොලී අනුපාත ද පහත වැටෙමින් තිබේ. කෙසේ වෙතත් සේවක අර්ථසාධක අරමුදල් ශේෂය සඳහා සියයට 9 ක පොලී ප්‍රතිලාභයක් ලබා දීමට රජය සහතික වී ඇත. මේ ප්‍රතිශතයට වඩා උද්ධමනය ඉදිරි කාඅලයේ දී අඩු වීමට ද නියමිතව ඇත. ඒ අනුව අපට පෙනෙන්නේ අර්ථසාධක අරමුදල් හිමියන්ට උද්ධමනයට වැඩි ප්‍රතිලාභයක් ලැබෙනු ඇති බවයි. කෙසේ වෙතත් කලින් වැඩි පොලියට ආයෝජනය කර තිබූ බැඳුම්කරවල මුදල්, අලුතින් අඩු පොලියට දිගුකාලීන බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී නම් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට පාඩුවක් සිදු වේ. මේ නිසා ඇත්ත වශයෙන්ම සේවක අර්ථසාධක අරමුදල් හිමියන්ට වන පාඩුව ගණනය කළ යුතු වන්නේ මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය නොකළා නම් ලැබෙන පොලී ප්‍රතිලාභය සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය කළ විට ලැබෙන ප්‍රතිලාභය අතර වෙනස ගණනය කිරීමෙනි. ඒ සඳහා හරියටම සංඛ්‍යාලේඛන ඇත්තේ මහ බැංකුව සතුවය. ඒ නිසා අද (06 ) පැවැත්වෙන මහ බැංකු මාධ්‍ය හමුවේ දී මේ ගැන පැහැදිලි කිරීමක් කරන ලෙස අපි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් ඉල්ලා සිටිමු.

මේ අතර පෙරේදා (04) උදෑසන සිරස පැතිකඩ වැඩ සටහනට එක්වූ ආචාර්ය නිශාන් දි මෙල් නමැති අය ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලද දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය තුළ විශ්‍රාම අරමුදල් විශාල වශයෙන් කප්පාදු කෙරෙන අතර එහි වැඩිම බලපෑම සේවක අර්ථසාධක අරමුදලට සිදුවන බවත් ය. ඒ අනුව වර්ෂ 2038 වනවිට එයින් රුපියල් ටි්‍රලියන 12ක් පමණ කැපී යන බවත් මාධ්‍ය වාර්තා කර තිබුණි. එහිදී ඔහු ඉදිරිපත් කර තිබූ තර්කය වූයේ සේවක අර්ථසාධක අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලින් රජයට අදාළ භාණ්ඩාගාර බැඳුම්කර මගින් ලබාදී තිබෙන ණය වෙනුවෙන් පසුගිය මැයි 31 දින වනවිට සියයට 13.5 ක සාමාන්‍ය පොලී අනුපාතිකයක් ලැබී ඇති බවත් එය සියයට 9.1 ක් දක්වා කපා අඩු වීමෙන් මේ පාඩුව සිදුවන බවයි.

සියයට 13.5ක සාමාන්‍ය පොලියක් වර්තමානයේ පවතින රජයේ ණයවලට ලබා දුන්නේ නම් 2038 වන විට රුපියල් ටි්‍රලියන 25 දක්වා එම සේවක අර්ථසාධක අරමුදලේ වටිනාකම ඉහළ යන බව ද එම තැනැත්තා සඳහන් කර තිබේ.

මේ වනවිට එම අරමුදලේ වටිනාකමට සියයට 9 බැගින් පොලී ගෙවීමෙන් එනම් පොලී ප්‍රතිලාභය අඩුවෙන් ලබා දීමෙන් වර්ෂ 2038 දක්වා වසර 16ක් පුරා අරමුදලට එකතුවීමට නියමිත වැල් පොලී අනුපාත අහිමිවීමෙන් මේ ටි්‍රලියන 12ක කප්පාදුව සේවක අර්ථසාධක මෙම අරමුදලට සිදුවන බව ද ප්‍රකාශ කර ඇත. මෙය බරපතල ප්‍රකාශයකි. මේ පුවත පැතිර යෑමෙන් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින් කලබලයට පත් වීමට ඉඩ තිබේ. ඒ නිසා වඩාත් වැදගත් වන්නේ නිවැරදි තත්ත්වය මහජනයාට පැහැදිලි කර දීමයි.

අප සිතන්නේ මේ බලපෑම සම්බන්ධයෙන් වඩාත් නිවැරදිම ගණනය කිරීම කළ හැකි වන්නේ එම අරමුදල පරිපාලනය කරන ශ්‍රී ලංකා මහ බැංකුවට වන බවයි. එම නිසා එම සත්‍ය බලපෑම කුමක් ද යන්න අද (06) දින සවස මාධ්‍ය හමුව මගින් පැහැදිලි කිරීම වඩාත් සුදුසු බව අපගේ අදහසයි.

මේ අතරම මෙම දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගී වීමට හෝ සහභාගි නොවී සිටීමේ විකල්ප දෙකක් මේ සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ඇතුළු විශ්‍රාම අරමුදල්වලට ලබා දී තිබේ. මේ විකල්ප දෙකෙන් වඩා වාසිදායක විකල්පය තෝරා ගැනීමේ අවස්ථාව එම අරමුදල් භාරකරුවන්ට ඇත. එනම් මේ යෝජිත ණය ප්‍රශස්තකරණයට අකැමැති නම් ඊට සම්බන්ධ නොවීමට රජයට ණය ලබාදී ඇති අරමුදල්වලට හැකිවන අතර එසේ වුවහොත් එම අරමුදල් විසින් රජයට ගෙවිය යුතු බදු ප්‍රතිශතය සියයට 14 සිට සියයට 30 දක්වා ඉහළ යනු ඇත. මේ අනුව විකල්පයක් තිබෙන බව කීවත් ගෙවිය යුතු බදු ප්‍රතිශතය සියයට 14 සිට සියයට 30 දක්වා ඉහළ යෑම වළක්වා ගැනීමට නම් දේශීය ණය ප්‍රශස්තකරණයට සහභාගී වීමට එම අරමුදල්වලට සිදුවෙන බව ද පැහැදිලිය.

මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීමට වැඩි අවධානයක් යොමු කර තිබෙනවා

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් - EPF එකටත් තට්ටු වෙයිද?
  • ලංකා වාණිජ මණ්ඩලය

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ දී ඉවසීමෙන් සහ විශ්වාසයෙන් කටයුතු කිරීමේ වැදගත්කම ලංකා වාණිජ මණ්ඩලය අවධාරණය කරයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවධාරණය කරන ලද පරිදි මූල්‍ය පද්ධතියේ ස්ථායිතාව පවත්වා ගැනීම සහ තැන්පත්කරුවන්ට අහිතකර බලපෑමක් ඇති නොවන බව සහතික කිරීම කෙරෙහි මෙහි ප්‍රමුඛ අවධානය යොමු කර ඇත. අවසාන ලේඛනය මත පදනම් වූ නිසි සංවාදයකින් අනතුරුව යෝජිත සැලැස්ම විස්තීර්ණ හා පරිපූර්ණ පරීක්ෂණයක් සඳහා සාමූහිකව අවකාශය සැලසීම අත්‍යවශ්‍ය වේ. ජාතික අවශ්‍යතා ප්‍රමුඛ කොට ගනිමින් අර්ථවත් එකඟතාවක් ඇති කර ගත හැක්කේ එවිටය.

යෝජිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සැලැස්ම අවසන් වන තෙක් වගකීමෙන් යුතුව ක්‍රියා කරන ලෙස ලංකා වාණිජ මණ්ඩලය අදාළ සියලුම දේශපාලන පක්ෂ සහ පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටී. මෙය සමස්ත ණය තිරසාර න්‍යාය පත්‍රයේ තීරණාත්මක පියවරක් වනු ඇති අතර ඊට සම්බන්ධ අනෙකුත් තීරණාත්මක ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යෑමට ද මහත් සහයක් වනු ඇත. ශ්‍රී ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ රජයේ අභිප්‍රාය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව දැඩි මතවාදාත්මක තත්ත්වයන් ඇති විය. මෙම තත්ත්වය අපට තේරුම් ගත හැකි අතර, විවෘත සංවාදයකට ඇති අයිතිය ද පිළිගන්නෙමු. එසේම, ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා සම්බන්ධව සාමාන්‍ය ජනතාව අතර මතභේදාත්මක සහ අවිනිශ්චිතතාවන් ඇති කරන සාවද්‍ය තොරතුරු පැතිර යෑම වැළැක්වීම සඳහා වෙළෙඳපොළ සංවේදීතාවයන් පිළිබඳව අප සැලකිලිමත් විය යුතුය. සියලුම පාර්ශ්වකරුවන් අතර ඵලදායී, දැනුවත් සංවාදයක් සහ සහයෝගිතාවයක් ඇති කිරීමට ලංකා වාණිජ මණ්ඩලය කැපවී සිටී. රට තුළ සමාජ-ආර්ථික සංවර්ධනයේ උන්නතිය වෙනුවෙන්, සාකච්ඡාවන්ට සම්බන්ධ සියලුම පාර්ශ්ව මෙම මූලධර්මය ආරක්ෂා කරනු ඇතැයි අපි විශ්වාස කරමු.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment