ඉදිරියේදී ලොකු දෙයක් කරන්න පුළුවන් කණ්ඩායමක් අපිට ඉන්නවා – 20-20 නායක වනිඳු හසරංග

351

ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට හොඳ තත්ත්වයක සිටින බවත් ආබාධයකට ගොදුරු වී සිටින දුෂ්මන්ත චමීර ද කණ්ඩායමට පැමිණි විට එය සමබර කණ්ඩායමක් බවට පත්වන බවත් ඒ අනුව ඉදිරියේ දී ලොකු දෙයක් කරන්න පුළුවන් කණ්ඩායමක් දැන් අපට සිටින බවත් ශ්‍රී ලංකා පන්දු වාර 20-20 කණ්ඩායමේ නායක වනිඳු හසරංග පැවසීය.

ඇෆ්ගනිස්තානයට එරෙහිව පැවැති පන්දු වාර 20-20 තරගාවලිය 2-1 ක් ලෙස ජයග්‍රහණය කිරීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී හසරංග ඒ බව සඳහන් කළේය.

ඇෆ්ගනිස්තානයට එරෙහි තරගාවලිය නැරඹීමට විශාල ප්‍රේක්ෂක සංඛ්‍යාවක් එක්වී සිටි බවත් ඔවුන් ලබා දුන් සහයෝගයට ස්තුතිය පුද කරන බවත් ශ්‍රී ලංකා නායකයා පැවසීය.

“මෙම තරගාවලියේ තරග 3ටම විශාල වශයෙන් ප්‍රේක්ෂකයන් පැමිණ සිටියා. ඒ ගැන ගොඩක් සතුටුයි. ඔවුන් අපිට විශාල සහයෝගයක් ලබා දුන්නා, ඒ ගැන කණ්ඩායමක් ලෙස අපිට විශාල වටිනාකමක් තිබෙනවා. ඊට හේතු වන්නේ විස්සයි – 20 ලෝක කුසලානයට යන්නට කලින් අපි ශ්‍රී ලංකාවේදී ක්‍රීඩා කරන අවසන් විස්සයි -20 තරගාවලිය මෙය වීමයි. එසේම ඉදිරියේදීත් මෙම සහය අපේක්ෂා කරන අතරම ඊට ස්තුතිවන්ත වෙනවා.

ඒ වගේම හොඳ තණතීරුවල ක්‍රීඩා කරද්දී අපේ පිතිකරුවන් කෙතරම් හොඳින් ලකුණු රැස්කරන්නේද යන්න අපි දුටුවා. පළමු තරගයේ යම් අත්වැරදි කිහිපයක් සිදු වුවත්, ඊළඟ තරගයේදී එම වැරදි නිවැරදි කරගෙන ක්‍රීඩා කළා. එසේම මීට වඩා හොඳින් අපේ පන්දු රැකීමේ අංශය වැඩි දියුණු කළ යුතුයි. නායකයකු ලෙස මීට වඩා පන්දු රැකීමේ දියුණුවක් මම බලාපොරොත්තු වෙනවා. කෙසේ වෙතත් ලෝක කුසලානයට පෙර අපිට තවත් මාස 3ක පමණ කාලයක් තිබෙනවා. ඒ අනුව පන්දු රැකීම ගැන මීට වඩා මහන්සියකින් කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයිද වනිඳු පැවැසීය.

ඉදිරියේදී ලොකු දෙයක් කරන්න පුළුවන් කණ්ඩායමක් අපිට ඉන්නවා - 20-20 නායක වනිඳු හසරංග

ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම රැගෙන ගිය කමිඳු මෙන්ඩිස් සම්බන්ධයෙන් වනිඳු හසරංග මෙසේ කීය.

“ඔහු ඉතාමත් දක්ෂ ක්‍රීඩකයෙක්. එම නිසයි සෑම අවස්ථාවකම ඔහුව අපි සංචිතයේ තබාගත්තේ. ඒ අනුව ඔහුට අවස්ථාව ලැබුණු වහාම තමන්ට කළ හැක්කේ මොකක්ද යන්න ඔහු පෙන්වූවා. එසේ වීම ඉතාමත් හොඳයි. එවිට කණ්ඩායමේ ක්‍රීඩකයන් අතරත් කණ්ඩායමට එක්වීමට තරගයක් ඇතිවෙනවා. නායකයෙක් ලෙස ඇත්තටම බලාපොරොත්තු වන්නේ එයයි. ඔහුට කළ හැකි දේ මොකක්ද කියා කමිඳු හොඳින් පෙන්වා දුන්නා. එසේම එක්දින තරගාවලිය නිමා වීමෙන් අනතුරුවත් දින දෙකක කාලයක් පමණයි අපට විවේකය ලැබුණේ. ඒ අනුව දින 12ක් ඇතුළත අපි තරග 6ක් ක්‍රීඩා කළා. ජාත්‍යන්තර තලයේ තරගාවලි දෙකක් එතරම් පොඩි කාලයක් තුළ ක්‍රීඩා කරන්න අපහසුයි. පැතුම් නිශ්ශංක ආබාධයට ලක් වීම එයට හේතු වෙන්න ඇති. එසේම පන්දු රකිද්දීත් පැතුම් සෑම අවස්ථාවකම සිටින්නේ පන්දුව නිතරම එන ස්ථානවල. එය මෙම ආබාධයට යම් බලපෑමක් එල්ල කරන්නට ඇති. ඒ අනුව වැඩි විවේකයක් සමගින් ක්‍රීඩා කරන්න හැකි නම් එය ක්‍රීඩකයන්ගේ පැත්තෙන් ලොකු දෙයක් වේවි.”

කෙසේ වෙතත් ඉදිරියේදී අවසන් පන්දු වාර යැවීම සම්බන්ධයෙන් මීට වඩා අවධානය යොමු කළ යුතු බවද වනිඳු හසරංග සඳහන් කර සිටියේය.

“පළමුව අපි අවසන් පන්දු වාර කිහිපය මීට වඩා හොඳින් යොමු කළ යුතුයි. මෙම තරගයේදීත් අපි දුටුවා වයිඩ් පන්දු කිහිපයක් සහ අතිරේක ලකුණු කිහිපයක් යනවා. අපි හොඳ කණ්ඩායමක් නම් ජාත්‍යන්තර තරගයක එතරම් වැරදි සිදු කළ නොහැකියි. එම අතිරේක ලකුණු අඩු කර ගත්තා නම් අපිට තවත් ලකුණු 10ක් හෝ 15ක් අඩු කර ගන්න හැකිව තිබුණා.”

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment