ජනතාවාදී මර උගුල

1028

(දේශපාලන තුවක්කුව සහ නිලධාරී වෙඩි උණ්ඩය)

තිස්සමහාරාමයේ ප්‍රාදේශීය ලේකම්වරිය පසුගියදා සිය තනතුර අත්හැරියාය. ලේකම් යනු ඉතාම දීප්තිමත් අනාගතයක් සහිත තනතුරකි. ප්‍රාදේශීය ලේකම් තනතුර දරන කෙනකුට කල්යෑමේදී සහකාර ලේකම්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්, අතිරේක ලේකම්, ලේකම් වැනි තනතුරු දිගේ ගොස් ජනාධිපති ලේකම් තනතුර දක්වා ගමන් කළ හැකිය. ජනාධිපති ලේකම් තනතුර යනු රාජ්‍ය සේවයේ ධුරාවලියේ ඉහළම අවස්ථාව වේ. මේ රටේ පරිපාලන සේවයේ නිලධාරීන්ට ජනාධිපති ලේකම්ගෙන් එහා යෑමට තැනක් නැත. මේ කෝණයෙන් බලන විට තිස්සමහාරාමයේ ප්‍රාදේශීය ලේකම්තුමිය කර ඇත්තේ අන්තිම ගොබ්බ වැඩකි. එහෙත් ඇය කියන කතන්දරය අහන විට අපට වැටහෙන්නේ ඇය විසින් ඉතාම නිවැරදි දේ කරනු ලැබ ඇති බවය. ඇය තනතුරින් අස්වීමට බලපෑ ප්‍රධාන හේතු මෙසේය;

  1. අරගල සමයේ ගිනි තැබූ මන්ත්‍රී නිවාස සඳහා ව්‍යාජ ඇස්තමේන්තු සකස් කර දේශපාලනඥයන්ට මුදල් තොග වන්දි වශයෙන් ලබාදීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇතිවූ බලපෑම.
  2. ප්‍රදේශයේ දේශපාලනඥයන් රජයේ ඉඩම් අත්පත් කරගැනීමට තැත් කළ අවස්ථාවේදී ඔවුන් ඇය සමග විරසක වීම නිසා පළිගැනීමේ තර්ජනයට ලක්වීම.
  3. පළාතේ දේශපාලනඥයන් සහ ඔවුන් සමග ගනුදෙනු කරන මුදලාලි හැතිකරය විසින් කුලියට ගත් දාමරිකයන් යොදවා ඇයට හිරිහැර කරනු ලැබීම.
  4. ප්‍රාදේශීය සභාවල සිටින දේශපාලන ගොට්ටන්ට ඉඩම් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔවුන්ගෙන් ඇයට හිරිහැර ඇතිවීම.
  5. මේ කාරණා සමූහය සහ තවත් සිත් රිදවීම් රැසක් හේතුවෙන් ඇයට දූදරුවන් සමග නිදහසේ කල්ගත කිරීමට බැරි වීම.

ඉහත සඳහන් කාරණා දෙස බැලීමේදී අපට පෙනී යන්නේ තිස්සමහාරාමයේ ප්‍රාදේශීය ලේකම්තුමියට තම රස්සාව කරන්නට අවස්ථාවක් ලැබිලාම නැති බවය. මේ නිසා ඇයට සිදුවී තිබුණේ රක්ෂාවට වඩා ආරක්ෂාව බලාගැනීමටය. ලංකාවේ දේශපාලනය ඉතාම දූෂිතය. මේ නිසාම ලංකාවේ ජන සමාජය ද ඉතාම දූෂිතය. දෙවියෝ පගා නොගසති. එහෙත් මේ රටේ සුපේශල ශික්ෂාකාමී බැතිමතුන් නිතර කරන්නේ පගාවට දෙවියන් පුරුදු කිරීමය. මේ දූෂිත ක්‍රමය තුළ තිස්සමහාරාමයේ ප්‍රාදේශීය ලේකම්තුමිය වැනි චරිත දස දහස් ගණනක් සිටිති. එහෙත් ඔවුන් රස්සාව අත්හැර ගෙදර ගොස් නැත. එයින් හැඟෙන්නේ දේශපාලනඥයන්ගේ කුපාඩි වැඩවලට ඔවුන් අවනත වූ බවය. රටක් වශයෙන් ගත්කල එය සාමූහික පරාජයකි. අවසාන විග්‍රහයේදී රස්සාව නැති වුණත් කන්න නැති වුණත් තිස්සමහාරාමයේ ප්‍රාදේශීය ලේකම්තුමිය ජයග්‍රහණය කර ඇත. මේ රටේ දූෂණය සෑම කල්හිම පටන්ගන්නේ දේශපාලනඥයන් විසිනි. ටික කලක් යන විට ඔවුහු ස්වකීය දූෂණ ව්‍යාපෘතියේ managing partner හෙවත් කළමනාකරණ කොටස්කරු ලෙස රාජ්‍ය නිලධාරියෙක් තෝරා ගනී. අන්තිමේදී දෙන්නාම එකතුවී ගසාකෑම අරඹති. මෙහිදී ඔවුන් උපයන ජරාවෙන් වැඩි කොටස හෙවත් lion share එක යන්නේ දේශපාලනඥයාගේ සාක්කුවට ය. රාජ්‍ය නිලධාරියාට වඩා වියදම් දේශපාලනඥයාට තිබේ. ඔහු ඡන්දයට වියදම් කළ යුතුය. ඡන්ද දායකයන්ට වියදම් කළ යුතුය. දාමරිකයන්ට වියදම් කළ යුතුය. නැතහොත් ඔහුට බලය තබා ගැනීමට නොහැක. රාජ්‍ය නිලධාරියාට මෙසේ සිදුවන්නේ නැත. ඔහුට රස්සාවට පඩි ලැබෙයි. දූෂණයට ජරාව ලැබෙයි. දේශපාලනඥයා බලය තහවුරු කරගන්නා තෙක් උඩ පන්දු අල්ලමින් සහ ක්‍රීඩකයන් සඳහා වතුර සපයමින් පිට්ටනියේ රැඳී සිටිනවා හැර කළ යුතු වෙනත් වැදගත් යමක් නිලධාරියාට නැත. දේශපාලනඥයා බලය තහවුරු කරගත් සැණින් නිලධාරියා එතෙන්ට සෙට් වී නැවත වරක් පරණ වංචනික කටයුතු කිරීම සඳහා දේශපාලනඥයා පොලඹවා ගනී. හැබැයි මේ දේශපාලනඥයා ද බබෙක් නොවේ. ඔහු බලා සිටින්නේ ද ටෙන්ඩරයක්, කොමිස් එකක්, අත යට මුදලක් වැනි වැඩක් සඳහා ආරාධනාවක් ලැබෙන තුරුය.

සෝවියට්දේශය එක රටක් හැටියට උපත ලබන විට ලෙනින් සිටියේ අදූෂිත ක්‍රමවත් රාජ්‍යයක් බිහි කිරීමේ අධිෂ්ඨානයෙනි. ඔහු තුළ බලලෝභය තිබුණ ද පෙරකී ජාතික අවශ්‍යතාව එම බල ලෝභය මතුකරගෙන උඩට ආවේය. ආරම්භක සෝවියට්දේශය පරමාදර්ශී දේශපාලන ඒකකයකි. එහෙත් ලෙනින්ගේ යුගය ඉවර වී ස්ටාලින්ගේ යුගය පටන් ගැනීමත් සමගම සෝවියට් සංගමයේ සිටි නිලධාරීහු ක්‍රමයෙන් නිලධාරීවාදය නමැති ගංජා සුරුට්ටුව උරන්නට පටන් ගත්හ. අනෙක ලෙනින් සෝවියට්දේශය හදන විට එය කළේ වෙනත් රටවලින් අලුත් සෙනඟ ගෙනවිත් නොව එතෙක් ඒ රටේ ජීවත් වූ මිනිසුන් යොදාගෙන ය. මේ මිනිසුන්ගෙන් වැඩිදෙනා දූෂිතයන් වූ අතර, සෝවියට් සංගමයේ නීති රීතිවලට අනුකූලව අවංකව ජීවත් වීමට මුලදී හිත හදාගත්ත ද පසුව එම හිත වෙනස් විය. අන්තිමේදී සෝවියට්දේශයේ නිෂ්පාදන ක්‍රියාවලියේ පහළම ඒකකය වූ ග්‍රාමීය සමූහ ගොවිපළේ ලොක්කාගේ පටන් සිටි හැමදෙනාම හොරකම් කරන්නට පටන් ගත්හ. මේ හේතුවෙන් ස්ටාලින් අතට සෝවියට්දේශය පත්වී ඉතා සුළු කලකදී ඒ රට දූෂිත රාජ්‍යයක් බවට පත්විය. එතැන් සිට දූෂණය පවත්වාගෙන ගියේ ආණ්ඩුවේ දේශපාලනඥයන් සහ රජයේ නිලධාරීන් එකට එකතු වීමෙනි. මෙය සනාතන මොඩලයකි. හැබැයි අවශ්‍යතාව අනුව මේ මොඩලය වෙනස්කර ගැනීමට ද පුළුවන. 1970 න් පසු අර්ධ සමාජවාදී රාජ්‍යයක ව්‍යාජ අනු පිටපතක් සමගි පෙරමුණු ආණ්ඩුව නමින් මේ රටේ පහළ විය. එහි ව්‍යුහය සකස් වී තිබුණේ ද මේ ආකාරයෙන්ම දේශපාලනඥයා සහ නිලධාරියා එකතු වීමෙනි. ඒ ක්‍රමය අදටත් එසේම පවතී. තිස්සමහාරාමයේ ප්‍රාදේශීය ලේකම්තුමිය එකී මර උගුලට අසු වූ අලුත්ම ගොදුර වේ.

advertistmentadvertistment
advertistmentadvertistment