කොරෝනාව ජය ගැනීමට නම්,

223

මුළු ලෝකයම ඉතාමත් කෙටි කාලයක් තුළ තම අණසකට නතු කරගැනීමට පියවි ඇසට නොපෙනෙන වෛරසයකට හැකි වේ යැයි කිසිවෙකුත් සිහිනෙකින් හෝ සිතුවේ නැත. 21 වන සියවසේ ජීවත් වන මිනිසා මෙම මොහොත වන විට පවා මෙම ව්‍යවසන තත්ත්වය මැඬපවත්වා ගැනීම වෙනුවෙන් දිවා රෑ නොබලා කටයුතු කරනු ලබයි. එහෙත් කුමක් හෝ අවාසනාවකට තවමත් මෙහි අඩුවක් දක්නට ලැබෙන්නේ නැත. වෛරසයට එරෙහිව සටන් කිරීමට එන්නත් මේවනවිට මහා පරිමාණයෙන් නිෂ්පාදනය වන අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේද මූලික අරමුණ වන්නේ ක‍්‍රමවත්වූ වැඩපිළිවෙලක් දියත් කරමින් හැකි ඉක්මනින් මෙම තත්ත්වය අවම කරගැනීමට උත්සාහ දැරීමයි. එහෙත් මෙවර සටන් කිරීමට සිදුව ඇත්තේ ඉතාමත් දරුණු සතුරකු සමඟ වීම මෙහි ඇති අවදානම්භාවය දෙගුණ තෙගුණ කරවනු ලබයි. එනම් වෛරසයේ නව ප‍්‍රභේදයන් වර්ධනය වන අතර ලංකාව තුළද ඩෙල්ටා නමැති ප‍්‍රභේදය මේ වනවිට ඉතාමත්ම සීඝ‍්‍රයෙන් පැතිර යනු ලබයි. මෙවන් තත්ත්වයක් හමුවේ මිනිසාට තම ඉදිරි කාලවකවානුවම මෙම තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගනිමින් මෙය කළමණාකාරණය කර ගනිමින් ගත කිරීමට සිදුවන බව නිසැකය. එබැවින් මේ වෙනුවෙන් සමාජයේ සියලූ දෙනාම ඉතාමත්ම වගකීමෙන් තමාගේ යුතුකම ඉටුකරලීම අනිවාර්ය වේ. ඉන් බැහැරව කටයුතු කරලීමට යාම තමන්ගේ ජීවිතය පමණක් නොව තවත් බොහෝ දෙනෙකුගේ ජීවිතය මරණීය අවදානමක හෙළීමකි. සෞඛ්‍යරක්‍ෂිත ක‍්‍රමවේදයන් පිළිබඳව නැවත නැවත සිහි කැඳවීම් අවශ්‍ය නොවන තරමටම පසුගිය කාලවකවානුව තුළ දී ඒ පිළිබඳව ඕනෑවටත් වඩා දැනුවත් කිරීම සිදුකර පවතී. මේ මොහොතේ අවශ්‍ය වන්නේ අන් කවරදාටත් වඩා ඒවා නිසි ලෙස අනුගමනය කිරීමේ අවශ්‍යතාවයයි.

 මෙහි බලපෑම සියලූම අංශ කරා පැතිර පවතී. එනම් එදිනෙදා වේල සපුරාගැනීමට වැටුපක් ලබන පුද්ගලයාගේ සිට මහා ධනවතුන් දක්වා මින් දැඩි පීඩාවට පත්ව රජයන් ආර්ථික කළමණාකරණය කර ගැනීමට නොයෙක් ප‍්‍රයත්න දරමින් සිටී.

 එබැවින් මෙවන් කාලවකවානුවක් තුළදී සියලූම දෙනා දැඩි මානසික ආතතීන්ට ගොදුරුව පවතී. සැමදාමත් ජීවන තරගයක යෙදී සිටි මිනිසුන් මෙවන් ව්‍යවසනයකින් දැඩි ලෙස පීඩාවට පත්ව සිටී. එහෙත් මෙවන් අවස්ථාවක මානසික වශයෙන් ශක්තිමත් සිටීම ද අනිවාර්ය වේ. ප‍්‍රතිශක්තිකරණ පද්ධතියේ ශක්තිමත්භාවය පැවතීමට මානසික මට්ටම සුවදායී අයුරින් පවත්වා ගත යුතු බව විiාත්මක සත්‍යයකි. එබැවින් අසීරු කාලවකවානුව කෙසේ පසුකල යුතු බැවින් පවතින තත්ත්වය පළමුව පිළිගෙන එයට ගැලපෙන පරිදි ජීවිතයේ පැවැත්ම සකසා ගැනීමට මොහොතේ සිදුව පවතී. ඉතාමත් අමිහිරි දෑ සිදුවන කාලවකවානු තුළ ධනාත්මකව සිතීම ලේසි පහසු දෙයක් නොවන බව අප සැම දන්නා කරුණකි. එහෙත් මින් ගැලවී නව මානයන් සෙවීමට නම් අප ශක්තිමත් විය යුතුමය. ඔබ ඉතා ඉක්මනින් කලබලයට පත්වන සංවේදී අයෙකු නම් පැය 24 පුරාම බොහෝ ලෙස කම්පා කරවන පුවත් විකාශයන්ට කාලය යොමුකිරීම හිතකර වන්නේ නැත. රටේ ලෝකයේ නවතම තොරතුරු තුළින් යාවත්කාලීන අත්‍යවශ්‍ය වන අතර ඒ වෙනුවෙන් දිනයේ එක් වෙලාවක් පමණක් යොදා ගැනීම යම්තාක් දුරකට හෝ මානසික වශයෙන් ඇතිවන පීඩනය අඩුකර ගැනීමට හැකිවනු ඇත. දිගින් දිගටම මේ පිළිබඳව සිතමින් අසුවාදී අදහස් තුළින් පමණක් කල්ගත කිරීම තූලින් තමන්ටත් නොදැනීම මානසික රෝග කරා ළඟාවීමට සිදුවනු ඇත.

 මින් යම්තාක් දුරකට මිදීමට සිත සන්සුන් කිරීමේ අභ්‍යාසයන් කෙරෙහි යම් අවධානයක් යොමුකළ හැකි තමන් විසින් අදහන්නා වූ ආගමික කටයුතු කෙරෙහි යොමුවීම භාවනා ආදී සිත සන්සුන් කරගැනීමේ අභ්‍යාසයන් කෙරෙහි යොමුවීම තුළින් සිතේ පවතින්නා ව්‍යාකූල ස්වභාවය අඩුකර ගැනීමට මනාවූ පිටිවහලක් ඒ තුළින් සැපයෙනු ඇති බව නිසැකය. ලොව පුරාම මිනිසුන් භාවනා ක‍්‍රම පිළිබඳව අවධානයක් යොමු කරනු ලබන්නේ එහි ඇති ප‍්‍රතිඵලදායී බව නිසාමය. එය එක් ආගමකට පමණක් සීමා නොවන බැවින් දිනකට අවම වශයෙන් කෙටි වෙලාවක් හෝ මේ වෙනුවෙන් වැයකළ හැකි නම් සැබෑ ලෙසම යම් සහනයක් ලබාගත හැකි බව ඔබටද අත්විදිය හැකි වනු ඇත. විශේෂයෙන් මෛත‍්‍රී භාවනාව වැනි භාවනාවන් තුළින් මුලින්ම තමාටද මුලූ මහත් ලෝක සත්වයනට විසිරී පවතින ලෙස සෙත් ප‍්‍රාර්ථනා කිරීමට මනස පුහුණු කරවනු ලබයි. ඒ තුළින් ඔබ සිතනවාටත් වඩා විශාල සහනයක් දැනෙන බව නොඅනුමානය.

 මේ වනවිට බොහෝ දෙනෙකුගේ ආදායම් මාර්ගද අහිමිව පවතී. එය ඔවුනගේ ජීවිතවලට විශාල පීඩනයක් ගෙන දෙන්නකි. එහෙත් එම පීඩනය නිසා ලෙස කළමණාකරණය කර ගනිමින් තම සිතිවිලි හා දක්‍ෂතා නව මානයන් තුළින් ලෝකයට ඉදිරිපත් කිරීමට හැකි වුවහොත් ඔබ ජයග‍්‍රාහකයකු වනු ඇත. අවශ්‍ය වන්නේ පවතින තත්ත්වය මුලින් අවබෝධ කර ගනිමින් එයට ගැළපෙන පරිදි නව ආදායම් මාර්ග සකසා ගැනීමට කටයුතු කරලීමයි. උදාහරණයක් ලෙස මාර්ගගත ක‍්‍රම ඔස්සේ තම දැනුම භාවිත කරමින් නව දැනුම සොයා හොත් නව මාර්ග ඇති බව පෙනෙනු ඇත. මේ සියලූ දේ සඳහා පෙර සඳහන් කරන ලද මනසේ පවත්වා ගන්නා වූ නිරවුල් භාවය ඉතා වැදගත් වේ. සැබැවින්ම තම ශක්තීන් නිසා ලෙස හඳුනාගෙන ජීවිතය එකවර අතහැර නොදමා මෙම කාලවකවානුව පසු කළහොත් ඉන් පසුව ඇතිවන කාලය ද සැනසීමෙන් ගත කිරීමට හැකිවනු ඇත. සෑම අසීරු අවස්ථාවක වුවද සුභවාදී බලාපොරෝතු තබා ගැනීම අත්‍යවශ්‍ය වේ. සෑම අඳුරු වළාකුලක් තුළ එක් රිදී රේඛාවක් හෝ ඇති බවට ප‍්‍රසිද්ධ වූ කියමනක් පවතී. එබැවින් අපට අවශ්‍ය නම් එය හඳුනාගෙන ඉන් ආලෝකමත් වීමට හැකිය. මේ සියලූම තත්ත්වයන් එක් ධර්මතාවයකට අයත් වේ. එනම් අනිත්‍යතාව හෙවත් වෙනස් වීමයි. අද පවතින මෙම දරුණු තත්ත්වයන් වෙනස්වී යනු ඇත. එබැවින් සුභවාදී දිනයක් පිළිබඳ බලාපොරොත්තු නැති කරගත යුතු නැත. වෛරසයේ නව ප‍්‍රභේද ඇති වන විට ඊට එරෙහිව ප‍්‍රතිජීවක ඖෂධ නිපදවීමට දිවා ? නොබලා වෙහෙසෙන පිරිසක් සිටී. ඔවුන් කිසිදු විටෙක උත්සාහය අත්නොහරින්නේ සමස්ත ලෝක ප‍්‍රජාවම මින් නිදහස් කර ගැනීමේ උතුම් අරමුණක් පෙරදැරි කරගෙනයි. එබැවින් අප සෑම විටම තමා පිළිබඳව පමණක් නොව අනෙකා පිළිබඳව සිතා නිවැරදි ලෙස මෙම කාලය තුළ සෞඛ්‍ය පුරුදු නිසා ලෙස අනුගමනය කරමින් සමාජ දුරස්ථභාවය පිළිබඳව සිතේ තබාගෙන කටයුතු කළහොත් නැවතත් නිදහසේ හුස්ම ගැනීමට හැකි දිනයක් අප සැමට උදාවනු ඇත. එබැවින් මෙය එක් පාර්ශවයකට පමණක් විසදිය නොහැකි කරුණක් බැවින් පුරවැසියන් ලෙස තමාගෙන් විය යුතු වගකීම පිළිබඳව දැඩි ලෙස සිතා කි‍්‍රයා කිරීම අත්‍යවශ්‍ය වේ.

 මාධ්‍යවේදී ඉදුනිල් තාරුකා පිනිදිය
 කොළඹ විශ්වවිද්‍යාලය

කොරෝනාව  ජය ගැනීමට නම්,
advertistmentadvertistment
advertistmentadvertistment