අනුන්ගෙන් කොල්ල කෑ සත පහක්වත් පරලොව ගෙන යෑමට නොහැක

827

රජයට අයත් ඉඩම් සහ ඉදිකිරීම් බලෙන් පැහැරගෙන විකිණීම හෝ කුලියට දීමේ ව්‍යාපාරයක් අවු. 30 ක පමණ සිට මේ රටේ තිබිණ. එහි අලුත්ම කතාව වේරහැරෙන් වාර්තා වේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ අක්කරයක පමණ භූමි කොටසකින් යුතු රථගාල දේශපාලනඥයන්ගේ සහ ආරක්‍ෂක අංශවල අනුග්‍රහය ඇතිව පාතාල කණ්ඩායමක් අනවසරයෙන් පවත්වාගෙන යන බව එම අලුත් කතාවය. පාතාල සාමාජිකයන් අටදෙනෙක් මෙකී පාලක මණ්ඩලයට අයත් ය. එම රථගාල තුළ පැයකට යතුරුපැදියක් ගාල් කිරීමට රුපියල් 120 ක් ද, ත්‍රිරෝද රථයක් ගාල් කිරීමට රුපියල් 200 ක් ද, මෝටර් රථයක් ගාල් කිරීමට රුපියල් 300 ක් ද අය කරනු ලැබේ. වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පරිශ්‍රය නිරන්තරයෙන්ම මහත් වූ ජනගහනයක් ගැවසෙන භූමියකි. මෙයට දිනපතාම වාහන දහස් ගණනක් පැමිණෙන අතර සමහර විට එම වාහනයක් උදේ 6.00 සිට සවස 6.00 දක්වාම අදාළ රථගාලේ ගාල්කර තබනු ලැබේ. මේ අනුව රථගාල අනවසරයෙන් කරගෙන යන පිරිස දවසකට අඩුම ගණනේ රුපියල් ලක්‍ෂ 2ක් වත් උපයනවා ඇත. මෙම මුදල රථගාලේ දේශපාලන අනුග්‍රාහක භවතා වන පිළියන්දල දේශපාලනඥයකුටත්, ආරක්‍ෂක අංශවල කිහිපදෙනෙකුටත්, රථගාල කරන දාමරිකයන්ටත් බෙදී යන බව දැනගන්නට තිබේ. මෙයින් සත පහක්වත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට ලැබෙන්නේ නැත. දාමරිකයන් සහ දේශපාලනඥයන් විසින් ඇදගෙන ඇත්තේ ඉතාම විශාල තෑගි මුදල් ලැබෙන ස්වීප් ටිකට් එකකි. මෙම ස්වීප් ටිකට් මේ රටේ තවත් විශාල ප්‍රමාණයක් තිබේ. ඒ පිළිබඳ කතාව මෙතැන් සිට කියමු.

මේ රටේ රජයේ දේපළවලින් වැඩි හරියක් භුක්ති විඳින්නේ රජයේ හෝ එම දේපළවලට සම්බන්ධකම් ඇති ආයතන නොව වෙනත් රස්තියාදුකාරයන් ය. ශ්‍රී ලංකාවේ දුම්රිය පාරවල් කිලෝමීටර් දහස් ගණනක් ඇති අතර එම පාරවල් දෙපස තිබෙන දුම්රිය රිසවේෂන් ලෑන්ඩ් හෙවත් දුම්රිය දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් මහජනතාව විසින් බලෙන් අල්ලාගනු ලැබ ඇත. මේවායේ ගෙවල්, කඩ සාප්පු, දරමඩු පමණක් නොව වෑල්ඩින් වැඩපොළවල් හා කාර් සර්විස් ද, අරක්කු බාර් ද, හෝටල් ද පවත්වාගෙන යනු ලැබේ. උදාහරණයක් ලෙස ගතහොත් කොළඹ සිට මාතර දක්වා දිවෙන රේල් පාරේ මුහුද පැත්තේ ඇති කොටස සම්පූර්ණ වශයෙන්ම හෝටල්කාරයන් විසින් අල්ලාගෙන ඇත. මේවායේ මත්පැන් ද, වෙනත් විනෝදාස්වාදජනක දේවල් ද මුදලට විකුණනු ලැබේ. මෙහිදී අපට වැදගත් ප්‍රශ්නයක් ඇතිවේ. එනම් රජයේ දේපළවල ඒවාට කිසිදු අයිතිවාසිකමක් නැති රස්තියාදුකාරයන් විසින් ඉදිකරනු ලබන ගොඩනැඟිලිවලට බාර් ලයිසන් හෝ විදුලිබල සැපයුම කෙසේ ලැබෙන්නේද යන්නය. සාමාන්‍යයෙන් අලුත් ගෙයක් හැදූ විට එයට විදුලිබල සැපයුම ලබා ගැනීම පිණිස සති ගණනාවක් තිස්සේ හතරපස් පළකටම බඩගෑ යුතුය. කාට හෝ බාර් ලයිසමක් අවශ්‍ය නම් ඒ සඳහා අල්ලස් වශයෙන්ම පමණක් රුපියල් කෝටි 2 ක් වත් බෙදා හැරිය යුතුය. දේශපාලනඥයන්, සුරාබදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්, පී.එච්.අයි, ග්‍රාමසේවක ඇතුළු බොහෝ දෙනකුට පගා දිය යුතුය. නීත්‍යානුකූල ඉඩමක සාදන ලද නීත්‍යානුකූල අවන්හලකට බාර් ලයිසන් එකක් ගැනීම සඳහා රුපියල් කෝටි 2 ක පගාවක් වැයවන්නේ නම් රජයට අයත් දේපළක අනවසරයෙන් බාර් එකක් දැමීමේදී අඩුම ගණනේ රුපියල් කෝටි 5 කවත් පගාවක් දෙන්නට සිදුවන බව අපට උපකල්පනය කළ හැක. ලංකාව පුරා ඇති රජයේ දේපළ රාශියක් මේ වන විට පුද්ගලික ඉඩම් බවට පත්වේ. උදාහරණයක් වශයෙන් රජයේ ඉඩමක් වැවිලි කටයුතු සඳහා බදු ගන්නා අවස්ථාවකදී එම ඉඩම සහ ඊට යාබද රජයේ දේපළ අතර අඩි 20 ක් පමණ පළල තීරුවක් අත්හරිනු ලැබේ. මෙය හඳුන්වනු ලබන්නේ රිසවේෂන් කොටස යනුවෙනි. පෙර කී ඉඩම බදු ගන්නා එකා වැට ගහන්නේ රිසවේෂන් ඉඩමත් අල්ලලා ය. මේ අනුව ආණ්ඩුවේ ඉඩම් අක්කර 5 ක් බදු ගන්නා විට තවත් අක්කරයක පමණ භූමි භාගයක් රිසවේෂන් එක ලෙස නොමිලේ ලබා ගත හැකිය. මේ රිසවේෂන් කොටසේ කිසියම් දෙයක් වගාකරනවා නම් එහි දොසක් දැකීමට නොහැක. එහෙත් මේ රිසවේෂන් කෑල්ල තුළ නිතරම කෙරෙන්නේ ඉඩම බදුගත් මනුස්සයාගේ ‘හොලිඩේ බංගලෝ’ එක තැනීම ය. ඉන් පසු මෙයට විදුලි පහසුව සහ ජල පහසුව ද නීත්‍යනුකූලව ලබාගැනීම සිදුවේ. රජයේ දේපළකට නීත්‍යනුකූලව යටිතල පහසුකම් ලබාගත හැකි වුවත් රජයට අයත් ‘රිසවේෂන් ලෑන්ඩ්’ බලෙන් අල්ලාගෙන විදුලිය සහ ජලය යන යටිතල පහසුකම් ලබාගැනීම සම්පූර්ණයෙන් ම නීති විරෝධීය.

1983 දී මේ රටේ ඉතාම නරක ජාතිවාදී කෝලහාලයක් ඇති විය. එම කෝලහාලයෙන් පසු නගරවල සිටි දෙමළ ධනවත්හු පණ බේරාගැනීම පිණිස ඉන්දියාවට පැන ගියහ. අවුරුදු 2 ක් පමණ යනවිට මේ ඉඩම්වල තිබූ මන්දිරවල බිත්ති 4 හැරුණුකොට සෙසු සියල්ලම අතුරුදන් විය. ඉන්පසු ඉතිරි වූ බිත්තිවල ඇති ගඩොල් ද ගලවාගෙන යනු ලැබිණ. අවසානයේදී ඉතිරිවන මුඩුබිම ඇතැම් දේශපාලනඥයෝ අත්පත් කරගත්හ. මේ ඉඩම්වලට හොර ඔප්පු සාදා ඇති අතර සමහර විට පර්චසය රුපියල් මිලියන 10 වටිනාකමට යටත්වන පරිදි විකුණා දමා ඇත. බොරැල්ලේ සිටි දේශපාලනඥයකු විසින් මෙවැනි ඉඩම් රාශියක් අත්පත් කරගෙන ඇත. අද එතුමා ද ජීවතුන් අතර නැත. හැබැයි එතුමා මියයන විට අනුන්ගෙන් කොල්ලකා ගත් ඉඩම්වලින් පර්චස් කාලක්වත් පරලොවට ගෙනගොස් නැත. මෙවැනිම තවත් සුළු උදාහරණයක් දෙමු. කොළඹ බාන්ස් පෙදෙසේ තිබූ පර්චස් 100 කට වැඩි වටිනා ඉඩමක් මෙයට කලකට පෙර දේශපාලන රස්තියාදුකාරයෙක් විසින් අල්ලා ගන්නා ලදි. එය කොටස්වලට කඩා විකිණීමට ද ඔහු තැත් කළේය. අද මේ දේශපාලනඥයා පාර්ලිමේන්තුවේ නැත. මුහුණේ ඇති සුදුම සුදු රැවුල කළුපාටින් ඩයි කරගෙන විකාර කතා කියමින් කාලෙන් කාලයට ප්‍රෙස් කොන්ෆරන්ස් පැවැත්වීම ඔහුගේ සිරිතය. ඔහු මේ ආකාරයෙන් ඉඩම් සහ දේපළ සෑහෙන ප්‍රමාණයක් බලෙන් අල්ලාගෙන ඇත. හැබැයි වළපල්ලට යන දවසට ඒ දේපළවලින් වර්ග අඩියක්වත් අපායට ගෙන යෑමට ඔහුට ඉඩ ලැබෙන්නේ නැත.

රජයේ දේපළ අවභාවිත කිරීම භයානක වරදකි. වේරහැර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් ඉඩම බලහත්කාරයෙන් අල්ලාගෙන සිටීමේ වරද නිවැරැදි කර රජයේ දේපළ සුරැකීමේ වැඩපිළිවෙළක් වර්තමාන ආණ්ඩුව විසින් අරඹනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු.

advertistmentadvertistment
advertistmentadvertistment