වසරක් හැඩ කළ පා යුගලක්… ශ්‍රී ලංකාවට ආසියානු කිරුළ

291

අද උදාවූයේ නව වසරකි. එම වසර 2023 වසරයි. ඕනෑම රටක්, ක්ෂේත්‍රයක් නව වසරට පිය මනින්නේ ඉකුත් වසරේ සෙවනැලි සමගය. ක්‍රීඩා ක්ෂේත්‍රයේ එම වසර ගත් කල ශ්‍රී ලංකාවට ජය පරාජ මිශ්‍ර වූ වසරක් ලෙස 2022 වසර දැක්විය හැක. එහෙත් එය ජයග්‍රාහී සෙවණැලිවලට වඩා අඳුරු සෙවණැලි මුසු වූ වසරක් කීවද වැරදි නැත. මෙරට හුදී ජනයා අතර ජනප්‍රියම ක්‍රීඩාව වන ක්‍රිකට් ක්‍රීඩාව ගත් කල ඔවුන් එහිදී ආසියානු ශූරයන් වූ බව සැබෑය. ඉන්දියාව, පකිස්ථානය, බංග්ලාදේශය, ඇෆ්ගනිස්තානය පරාජය කර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ එකී කිරුළ දැරූහ. එහෙත් ඉන් එහාට පන්දු වාර 20-20 තරගවල මතක සිටින ජයග්‍රහණයක් ලැබීමට ශ්‍රී ලංකාව අපොහොසත් වූයේය.

ආසියානු කුසලාන තරගාවලියෙන් ඉක්බිතිව පැවැති පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාවට සිදු වූයේ සුපිරි කණ්ඩායම් 12 වටයෙන් ඉවතට යෑමටය. එහිදී ශ්‍රී ලංකා පිල විසින් පරාජය කරන ලද්දේ අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානයයි. එහි මූලික වටයේ තරගයකදී නැමීබියාව හමුවේද ශ්‍රී ලංකාව පරාජය විය.

මේ ක්‍රිකට්වල හැටිය. ශ්‍රී ලංකාව එදා ආසියානු ශූරයන් වීම ද එකල ශ්‍රී ලංකා පිල පත්ව සිටි තත්ත්වය අනුව මහත් විශාල ජයග්‍රහණයකි. මීට වසර දෙකක පමණ කාලයක සිට ශ්‍රී ලංකාව විශේෂයෙන්ම තරුණ ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමකි. ඔවුහු ජයග්‍රහණ සොයා යති. අත්දැකීම් සොයා යති. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට වැරදුණේ ද ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉවත් කර තරුණ ක්‍රීඩකයන් මතම යැපීමට යෑමෙන් ද කියා ප්‍රශ්නයක් ද වේ.

ශ්‍රී ලංකාවට ආසියානු ශූරතාවය සම්බන්ධයෙන් කෙතරම් බලාපොරොත්තු තබාගත හැකි දැයි ප්‍රවීණ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක සහ විස්තර විචාරක ගෞතම් ගාම්භීර්ගෙන් එම තරගාවලිය අතරතුර නැඟුණු ප්‍රශ්නයකට ඔහු දුන් පිළිතුර අනුව එකල අප පත්ව සිටි තත්ත්වය පැහැදිලි වෙයි.

ශ්‍රී ලංකාව ආසියානු ශූරතාවය පස් වතාවක් ජයග්‍රහණය කර තිබේ දැයි තමාට මතක නැති බවද ඔවුන් මෙවර කුසලානය අසලටවත් නොයනු ඇති බවද ුගෞතම් ගාම්භීර් එහිදී කීය. සැබැවින්ම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව එදා ඔවුන් දැරුවේ එවැනි මතයකි. දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එදා ඩුබායි වැලි කතරේදී සිදුකරේ ආසියානු ශූරතාවය ජයග්‍රහණය කිරීම පමණක් නොව. එවැනි වාචාල කතා කියවන්නන්ට කණේ පහරකුත් එල්ල කිරීමකි.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායම එම ජයග්‍රහණය ඉන් පසුව එළඹි ලෝක කුසලාන තරගාවලියේදී යම්තාක් දුරට හෝ රැකගැනීමට අපොහොසත් වීම කනගාටුවට කරුණකි. සිදු වූයේ ආසියානු ශූරයන්ගේ කිරුළට ද යම් කැළලක් එකතු වීම පමණි. විශේෂයෙන්
තරගාවලියට සහභාගි වූ ක්‍රීඩකයන්ගේ දක්ෂතා කෙසේ වෙතත් ඔවුන්ගේ විනය පිළිබඳ ප්‍රශ්න රාශියක් එකතු කරමින් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සහභාගිත්වය නිමා විණි. තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව බලා ගිය එක් ක්‍රීඩකයෙක් තවමත් ස්ත්‍රී දූෂණ චෝදනාවලට ඇප මත එරට සිරවී සිටී. තමන් අතින් සිදු වූ වරද පිළිගත් තවත් ක්‍රීඩකයෙක්ට වසරක අත්හිටුවූ තරග තහනමක් පනවා ඇත. තවත් ක්‍රීඩකයන් පිළිබඳවද චෝදනා නම් තිබිණි. එහෙත් ඒවා ඔප්පු කර ගැනීමට තරම් සාක්ෂි සාධක හමු වූයේ නැත.

ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු කුසලාන තරගාවලිය සහ ලෝක කුසලාන තරගාවලිය ද ඇතුළුව 2022 වසරේ ක්‍රීඩා කළ පන්දු වාර විස්සයි විස්ස තරග ගණන 25කි. ඉන් තරග එකොළහක් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කර තිබේ. එසේ ජයග්‍රහණය කළ තරග 11න් 9ක්ම ආසියානු කුසලානයේ සහ ලෝක කුසලානයේදී ජයග්‍රහණය කළ තරග වෙයි. ඉන් පරිබාහිරව ශ්‍රී ලංකාව ද්විපාර්ශ්වීය තරග ජයග්‍රහණය කර ඇත්තේ ඔස්ට්‍රේලියාවට එරෙහිව පමණි. ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී දසුන් ශානක වීරයා වෙමින් ලබාගත් ජයග්‍රහණය සහ ඔස්ට්‍රේලියාවේදී පැවැති තරග 5කින් යුත් තරගාවලියේ එක් තරගයක් ජය ගැනීම පමණි. ඒ අතරතුර ඉන්දියාවේ දී 3-0ක අන්ත පරාජයක් ද ලැබීය.

එක්දින තරගාවලිවලදී අපරාජිතයි එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරග ගත් කල ශ්‍රී ලංකාව පසුගිය වසරේදී ක්‍රීඩා කරන ලද්දේ ක්‍රීඩා තරග 11ක් පමණි. ශ්‍රී ලංකාව ඉන් තරග 6ක් ජය ගත්තේය. ඒ සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව තරග දෙකක් සහ ඔස්ට්‍රේලියාව ට එරෙහිව තරග තුනක් ද, ඇෆ්ගනිස්තානයට එරෙහිව එක් තරගයක් ද ලෙස වේ. මේ තරගාවලි තුනම පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ දී ය. එහිදී සිම්බාබ්වේ තරගාවලිය 2-1ක් ලෙස ද ඔස්ට්‍රේලියාවට එරෙහි තරගාවලිය 3-2ක් ලෙසද ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාව ඇෆ්ගනිස්තානය හමුවේ 1-1ක් ලෙස තරගාවලිය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත්තේය. එනයින් බලන කල ශ්‍රී ලංකාව එක් දින ජාත්‍යන්තර තරගාවලිවලදී 2022 වසරේ අපරාජිත ය.

එසේම පසුගිය වසර මුළුල්ලේම ජාත්‍යන්තර තරග අහේනියකට මුහුණ පා සිටි ශ්‍රී ලංකාවට එහිදී ක්‍රීඩා කරන්නට ලැබුණේ ටෙස්ට් තරග 8ක් පමණි. එහි අවසන් ප්‍රතිඵලය දිස් වුණේ තරග තුනක් ජයගෙන තරග හතරක් පරාජය වී එක් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගත් කණ්ඩායමක් ලෙස ය. එහිදී බංග්ලාදේශය හමුවේ තරගාවලි ජයග්‍රහණයක් ද ලැබීය. ඔස්ට්‍රේලියාවට සහ පකිස්ථානයට එරෙහිව පැවති තරගාවලි එක් තරගයක් බැගින් ජයගෙන සම මට්ටමෙන් අවසන් කර ගත්තේය. එහෙත් ඉන්දියාවට එරෙහිව ලොකු පරාජයන් දෙකක් ලැබීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් පැත්තෙන් ජාත්‍යන්තර තරග දත්ත එසේ වූවද දේශීය වශයෙන් එල්පීඑල් ක්‍රිකට් තරගාවලිය, ආරාධිත ක්‍රිකට් තරගාවලිය ආදී තරගාවලි පැවැත්වුණු අතර ජාත්‍යන්තර ක්‍රීඩකයන්ගේ ද සහභාගිත්වය ඇතිව පැවති එල්පීඑල් නම් මෙවර ජය ගත්තේද තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම යි. එහෙත් එම එල්පීඑල් තරගාවලිය හේතුවෙන් සධීර සමරවික්‍රමට සහ අවිශ්ක ප්‍රනාන්දුට සෑහෙන කාලයකට පසුව ජාතික සංචිතයට එක් වීමට වරම් උදා වූ අතර නුවනිඳු ප්‍රනාන්දුටද පළමු වරට ජාතික සංචිතයට එක් වීමට අවස්ථාව උදාවුණි. එසේම කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට නිවැරදි නායකත්වයක් ලබා දුන් දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ට ජාතික කණ්ඩායමේ උප නායකත්වය හිමි වූයේද එල්පීඑල්වල ප්‍රදර්ශනය කළ දස්කම් මතිනි. කුසල් මෙන්ඩිස්වද නැවත උප නායකත්වයේ පිහිටවීය. තව දින දෙකකින් මේ පිරිසගේ දස්කම් උරගා බැලෙන ඉන්දියාවට එරෙහි තරගාවලිය ආරම්භ වෙයි.

2022 යුපුන් ගේ වසරයි

වසරක් හැඩ කළ පා යුගලක්… ශ්‍රී ලංකාවට ආසියානු කිරුළ

මලල ක්‍රීඩාව දෙස ආපසු හැරී බලන කල එහි තිබෙන්නේ ආපසු හැරීමක් නොව ඉදිරියට යෑමකි. එහෙත් එය සමස්තයක් වශයෙන් නොව එක් ක්‍රීඩකයකු සම්බන්ධයෙන් පමණි. සමස්තය නම් ආපසු හැරී ඇත. එහෙත් යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් නම් තරුණයා මෙරටට පමණක් නොව ආසියාවටම අරුම පුදුම දස්කම් ප්‍රදර්ශනය කරමින් පසුගිය අගෝස්තු මස පැවති පොදු රාජ්‍ය මණ්ඩලය ක්‍රීඩා උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනීය. එසේ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට පදක්කමක් හිමි වූයේ වසර විසි හතරකට පසුවය. එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී මීටර් සියය පිරිමි ධාවන ඉසව්වෙන් ශ්‍රී ලංකාව පදක්කමක් දිනූ පළමු අවස්ථාව ද එය වේ. එමතුද නොවේ. ඉන් මාසයකට පෙර ස්විට්සර්ලන්තයේ දී ඔහු මීටර් 100 ඉසව්ව තප්පර 10කට අඩුවෙන් අවසන් කරමින් වේග සීමා අතික්‍රමණය කළේය. දකුණු ආසියානු කලාපයේ ක්‍රීඩකයෙක් මීටර් 100 ඉසව්ව තත්පර 10 ක ට අඩුවෙන් දුවපු පළමු අවස්ථාව එය වේ. එසේම එම වසර තුළ දී මීටර් 100 ඉසව්ව තත්පර දහයකට අඩුවෙන් අවසන් කළ ආසියාවේ එකම ක්‍රීඩකයා ද යුපුන් ය. මේ දස්කම ආසියානු මිනිසුන් විසින් මීට පෙර කර තිබුණේ 9 වතාවක් පමණි. යුපුන් එම දස්කම කළ 10 වෙනි ආසියානු ජාතිකයා වේ. මලල ක්‍රීඩා ඉතිහාසයේ පටන්ම මේ ලෝකයේ සතර අතින්ම මීටර් 100 ඉසව්වක දී වාර්තා වූ වේගවත්ම 118 වෙනි තරග නිමි කාලය ලෙස යුපුන් එදා වාර්තා කළ තත්පර 9.96 කාලය දැක්විය හැකිය. ඉතාලියේ සිට පුහුණුවීම් සිදු කරන යුපුන් සිය මව ඇතුළු ඥාතීන් දැක බලා ගැනීම පිණිස පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කම ද සමග පසුගිය නොවැම්බර් මාසයේදී මෙරටට පැමිණ ගියේය.

යුපුන් මලල ක්‍රීඩාවෙන් නෙක දස්කම් ප්‍රදර්ශනය කරමින් ඉදිරියට ගමන් කරද්දී ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩාවේ ශත සංවත්සරය ද පසුගිය වසරේදී සැමරීමට කටයුතු යොදා තිබුණි. ඒ වෙනුවෙන් මලල ක්‍රීඩා ශූරතාවලියක්ද පැවැත්වුණි. ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දහසක් පමණ එහිදී තම දක්ෂතා ප්‍රදර්ශනය කළහ. එම දක්ෂතා ද පදනම් කරගෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 8 දෙනෙක් සුදුසුකම් ලැබූහ. එහිදී යුපුන් ට අමතරව මලල ක්‍රීඩාවෙන් දස්කම් දැක්වීමට සමත් වූවන් අතර කාලිංග කුමාරගේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අතර බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන විදානගේ 9 වැනි ස්ථානයට පත්වූයේ ය. කුවේට් රාජ්‍යයේදී පැවති සිව්වැනි ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශුරතා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් දෙකක් හිමිවිය.

මෙසී රජවෙයි

ලොව වැඩිම ජනතාවකගේ ආකර්ෂණය දිනාගෙන ඇති පාපන්දු ක්‍රීඩාවේ ලෝක කුසලාන තරගාවලි උණුසුම තවමත් මේ දියතින් මැකී ගොස් නොමැත. මන්ද තරගාවලිය නිමා වූවා පමණි. 2022 වසරේ පැවති ලොව ප්‍රධානතම ක්‍රීඩා තරගාවලිය එය විය. ලොව වැඩිම රටවල් සංඛ්‍යාවක් එක ක්‍රීඩා ඉසව්වක් සඳහා තරග වදින එම තරගාවලියේ අවසන් කණ්ඩායම් 32 අතර ඇරඹී 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය මෙවර පැවැත්වුණේ කටාර් රාජ්‍යයේ ය. එය ඉතිහාසයට එක්වූයේ මැදපෙරදිග රටක පැවති පළමු පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ලෙසය. එහිදී පාපන්දු ලෝකය දික්විජය කිරීමට ලියොනල් මෙසීගේ නායකත්වයෙන් යුතු ආර්ජන්ටිනා පාපන්දු කණ්ඩායම සමත් වූයේ ආර්ජන්ටිනාව පමණක් නොව සමස්ත ලෝක ජනතාවගෙන් හරි අඩකටත් වඩා ප්‍රීති ප්‍රමෝදයෙන් උණුසුම් කරමිනි. විචාරක මතය අනුව මෙතෙක් පැවති තියුණුම සහ උණුසුම්ම පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරගය එය විය. ආර්ජන්ටිනාවේ ප්‍රතිමල්ලවයන් වූයේ පසුගිය වර ශූරතාවය දිනූ ප්‍රංශ කණ්ඩායමයි. කණ්ඩායම් දෙකම තෙවන වරටත් පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමේ අරමුණෙන් පසුගිය 18 වැනිදා සටනට පිවිසියේය. තරගයට නියමිත කාලය සහ අතිරේක කාලයෙන් පසුවද විසඳුමක් නොලැබිණි. ඒ අනුව දඬුවම් පහර මඟින් ජයග්‍රාහකයන් තීරණය කෙරුණු අතර ආර්ජන්ටිනාව ට තෙවැනි වරටත් පාපන්දු ලෝක කුසලානය උරුම විය. මෙම පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ආර්ජන්ටිනාවේ සුපිරි ක්‍රීඩක සහ නායක ලියොනල් මෙසීට ඉතා වැදගත් එකක් විය. ලොව සතර අත පාපන්දු කුසලාන සියල්ල හිමි කරගෙන ඇති මෙසීට එතෙක් අඩුව පැවති පාපන්දු ලෝක කුසලානය ද මෙවර ඔහුට හිමි විය. එමෙන්ම එම තරගාවලියේ වීරයා වූ මෙසී පාපන්දු ලෝක කුසලාන තරගාවලි දෙකක තරගාවලි වීරයා වූ ලොව එකම ක්‍රීඩකයා බවට ද පත්විය. එසේම එම ලෝක කුසලාන තරගාවලිය මෙසී ගේ අවසන් පාපන්දු ලෝක කුසලාන තරගාවලිය වූ අතර එයට ජයග්‍රාහිව සමු දෙන්නට හැකිවීම තමන්ට ඉමහත් සතුට ගෙන දෙන්නක් බව ද මෙසී පැවසීය. එසේම සුප්‍රකට ෆෝබ්ස් සඟරාව ප්‍රකාශ කරන පරිදි 2022 වසරේ ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැඩිම ආදායමක් ඉපයූ ක්‍රීඩකයා වන්නේ ද ලියොනල් මෙසීය. පැසි පන්දු ක්‍රීඩක ලෙබ්‍රෝන් ජෙම්ස් සහ පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩො අභිබවා මෙසී එම තැනට පත්ව ඇත.

එම අවසන් මහා තරගයේදී මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනාවට කරට කර සටනක් දුන් ප්‍රංශ කණ්ඩායමේ තරුණ ක්‍රීඩක කිලියන් එම්බප්පේ අවසන් මහා තරගයේ දී ගෝල් 3ක් වාර්තා කර ලොව එවැනි දස්කමක් කළ දෙවන ක්‍රීඩකයා බවට ද වාර්තාවක් පිහිටුවේය. එම තරගාවලියේ වැඩිම ගෝල් ලාභියාට හිමි ගෝල්ඩන් බූට් සම්මානයද එම්බප්පේ දිනා ගත්තේය.

පාපන්දුව 207ට වැටෙයි

ලෝකයේ පාපන්දු ක්‍රීඩාව එසේ ගලා යද්දී ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීම පිණිස අන්තර් පළාත් පාපන්දු තරගාවලියක් එම වසර ආරම්භයේ දී ක්‍රියාත්මක කෙරිණි. නිදහස් කුසලාන අන්තර් පළාත් පාපන්දු තරගාවලිය ලෙස නම් කෙරුණු එම තරගාවලිය සඳහා සබරගමුව, උතුර, නැගෙනහිර, දකුණ, බස්නාහිර, රජරට, මධ්‍යම සහ ඌව ලෙස කණ්ඩායම් 7ක් තරග වැදුණි. පළමු වරට පැවති එම තරගාවලියේ ශූරතාවය අවසන් මහා තරගයේදී දකුණු පළාත් කණ්ඩායම පරදවා උතුරු පළාත් කණ්ඩායම දිනා ගත්තේය.

පසුගිය වසරේ ජූලි මාසයේ ඉන්දියාවේ පැවැති වයස අවුරුදු 20 න් පහළ පාපන්දු තරගාවලියේ දී ශ්‍රී ලංකා තරුණයන්ගෙන් සැලකිය යුතු දස්කම් නම් එළියට පැමිණියේ නැත. එහිදී බංගලාදේශය, නේපාලය සහ ඉන්දියාව හමුවේ ද පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට හිස් අතින් ගෙදර එන්නට සිදුවිය. මාලදිවයින හමුවේ තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මේ වසර අවසන් කරන්නේ පාපන්දු කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්හි 207 වෙනියා ලෙස වීම මෙරට පාපන්දු ක්‍රීඩාව පත්ව ඇති තත්ත්වය පෙන්නුම් කරන කැඩපතකි. ආසියානු කුසලාන නිර්දේශිත අවසන් වටයේදී ශ්‍රී ලංකාව උස්බෙකිස්තනය, තායිලන්තය හා මාලදිවයින හමුවේ තරග තුනම පරාජයට පත්වීම එතෙක් 205 සිටි ශ්‍රී ලංකාව 207 දක්වා පහත වැටීමට ප්‍රධාන හේතුව වියි. 2022 වසරේ ශ්‍රී ලංකාව ජය ගත් එකම ජාත්‍යන්තර තරගයක් වත් නැත.

තරග ජයග්‍රහණ කිරීමට වඩා පාපන්දුව වටා ඉකුත් වසරේ ගොඩනැඟුණේ ව්‍යවස්ථා සහ පරිපාලන අර්බුදයන් ය. ඒවා මෙතෙක් නිමා වී නොමැත. ජාත්‍යන්තර තහනමක් හමුවේ ශ්‍රී ලංකාව සිටින බවද විවිධ පාර්ශ්ව විවිධ මත පළ කර සිටී. එවැනි ජාත්‍යන්තර තහනමක් පැනවුණහොත් එය මෙරට පාපන්දු ක්‍රීඩාවට එල්ල වන බරපතළ කැළැලකි.

ආසියානු සත් සාමාජික රගර් තරගාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම යළි දිවයිනට පැමිණියේ එම කණ්ඩායමේ නායිකාව ද දකුණු කොරියාවේදී අතුරුදන් වූ තත්ත්වයක් තුළය. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම එහිදී පළඟ අනුශූරතාවයට හිමිකම් කීය. ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම එම තරගාවලියේ 4 වන ස්ථානය දිනා ගත්තේය. එම දක්ෂතා ද එතරම් ඉහළින් වර්ණනාවට පාත්‍ර විය යුතු තත්ත්වයක් නොවේ. පාපන්දු ක්‍රීඩාවට මෙන්ම රග්බි ක්‍රීඩාවටද පරිපාලන අර්බුද ඉකුත් වසරේදී ඕනෑ තරම් පැමිණියේය.

ඇමැතිවරු තිදෙනෙක්

එසේම එම ක්‍රීඩා සංගම් දෙකට මතු නොව රටේ සමස්ත ක්‍රීඩා සංගම්වල නිලධාරීන්වද අන්ද මන්ද කිරීමට තරම් සමත් අර්බුද නිර්මාණය කරමින් විවිධ රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනයක් ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් පසුගිය දා ඉදිරිපත් කරන ලදී. රටේ ක්‍රීඩාව ඉදිරි වසරට පිය මනින්නේ පසුගිය වසර තුළ කටයුතු කළ තෙවැනි ක්‍රීඩා ඇමැතිවරයා වූ රොෂාන් රණසිංහ මහතාගේ එම ගැසට් නිවේදනයේ අඩංගු කරුණුවලට එරෙහිව තැන තැන විරෝධතා ගොනු වෙමින් තිබියදීය. රටේ පරිපාලනයට සහ දූෂණ වංචාවලට එරෙහිව ගොඩනැඟුණු අරගලය හමුවේ හිටපු ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා එම ධුරයට සමුදුන් අතර ඉන් පසුව තේනුක විදානගේ මහතාද ක්‍රීඩා ඇමැති ලෙස කටයුතු කළේය. ඔහුව ඉවත් කර රොෂාන් රණසිංහ මහතා නව ක්‍රීඩා ඇමැතිවරයා ලෙස පසුව පත් කරන ලදී. එසේම නව ඇමැති රොෂාන් රණසිංහ මහතා විසින් හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතාගේ සභාපතිත්වයෙන් යුතුව ජාතික ක්‍රීඩා සභාව ද ගිය වසරේ දී පත් කරන ලදී.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment