පේලේ දෑස් පියා ගනියි

264

ජාත්‍යන්තර පාපන්දු පිටිය පිළිබඳ සටහන අවසන් කරන්නට සිදුවී තිබෙන්නේ පාපන්දු පිටියේ අසහාය වීරයකු ගේ දිවිසැරිය අවසන් වූ බවද සටහන් කරමිනි. මුළු බ්‍රසීලයම මදකට නිහඬ කරමින් එසේ මේ ලොවෙන් සමුගත්තේ පේලේය. බ්‍රසීලයේ අසහාය පාපන්දු වීරයා වූ පේලේ පාපන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ලෝක කුසලාන තුනක් ජයග්‍රහණය කළ ලොව එකම ක්‍රීඩකයා වේ. නිමා වූ 2022 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අතරතුරදී පේලේගේ නම ද රැව් පිළිරැව් දුන්නේය. ඒ ඔහු එකල තැබූ වාර්තා පිළිබඳව මෙවර තරගාවලියේදී ද සිහිපත් කරමිනි. ඉන් ඇතැම් තරග වාර්තා බිඳී ගියද සමහරක් වාර්තා තවමත් නිසොල්මනේ ඔහු වෙනුවෙන්ම ලියැවී ඇත.

බ්‍රසීලය වෙනුවෙන් 1958, 1962 සහ 1970 යන වසරවලදී පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට පේලේ සමත් වූයේය. එහිදී 1958 වසරේ පේලේ ලෝක කුසලාන කණ්ඩායමේ සාමාජිකයකු වන විට ඔහු ගේ වයස අවුරුදු 17 කි. ප්‍රංශයට එරෙහිව එහිදී පැවැති අවසාන පූර්ව තරගයේදී පේලේ ගෝල් 3ක් වාර්තා කළේය. එම අවසාන මහා තරගයේදී පේලේ ගෝල් දෙකක් රැස් කළ අතර ඒ දස්කම මතින්ම අවසාන මහා තරගයකදී ගෝල් රැස් කළ ලාබාලම ක්‍රීඩකයා බවට ද පේලේ පත්වූයේය. බ්‍රසීලය වෙනුවෙන් තරග 92කදී ගෝල් 77ක් වාර්තා කර ඇති පේලේ සමස්තයක් ලෙස තරග 1363 කට සහභාගි වී ගෝල් 1281ක් ලබා ගෙන ඇත. එයද ලෝක වාර්තාවකි. උදර පිළිකාවකින් පීඩා විදිමින් සහ වකුගඩු අකර්මණ්‍ය වී රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී ඔහු සදහටම දෑස් පියා ගත්තේය. ඒ වන විට පේලේ ගේ වයස අවුරුදු 82කි.

advertistmentadvertistment
advertistmentadvertistment