ඩයලොග් ජනාධිපති රන් කුසලාන 25 න් පහළට සීමා වෙයි

54

අයැදුම්පත් භාර ගැනීම ලබන 15 වැනිදා දක්වා

ඩයලොග් ජනාධිපති රන් කුසලාන වයස අවුරුදු 25න් පහළ වොලිබෝල් තරගාවලිය සඳහා අයැදුම්පත් භාර ගැනීම ලබන 15 වැනිදා දක්වා සිදුකිරීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විධිවිධාන යොදා ඇත.

මෙම තරගාවලිය වයස අවුරුදු 25න් පහළ කාණ්ඩය යටතේ පවත්වනු ලබන පළමු අවස්ථාව මෙය වෙයි. මීට පෙර ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගාවලිය විවෘත තරගාවලියක් ලෙස පැවැත්වුවද තරුණ වොලිබෝල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීමේ අරමුණෙන් මෙම වසරේ සිට අදාළ තරගාවලිය වයස 25 න් පහළ තරගාවලියක් ලෙස ක්‍රියාත්මක කිරීමට තීරණය කොට ඇත.

අදියර දෙකක් යටතේ ක්‍රියාත්මක මෙම තරගාවලියේ පළාත් මට්ටමේ තරග අදියර අප්‍රේල් 01 වැනිදා සිට මැයි 30 වැනිදා දක්වා ද, ජාතික මට්ටමේ තරග ජූනි මස 01, 02 සහ ජුනි මස 08, 09 යන දිනවල කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයේදී ද පැවැත්වීමට සැලසුම් කොට ඇත.

තරගාවලියේ අවසන් තරග ජූලි මස 31 වැනිදාට පෙර පැවැත්වීමට පරිපාලනය බලාපොරොත්තු වෙයි.

මෙම තරගාවලියේ කාන්තා සහ පිරිමි ජයග්‍රහකයන් සඳහා රුපියල් 150000 බැගින්ද, අනුශූර කණ්ඩායම් සඳහා රුපියල් 100000 බැගින්ද, තුන්වෙනි ස්ථාන සඳහා රුපියල් 50000 බැගින්ද මුදල් ත්‍යාග පිරිනැමීමට ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය බලාපොරොත්තු වෙයි.

මේ අතර සියලුම අයැදුම්පත් මාර්තු 15 ට ප්‍රථම දිස්ත්‍රික්කයේ සම්බන්ධීකරණ නිලධාරී වෙත හෝ ලේකම්, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, නො. 33, ටොරින්ටන් පෙදෙස කොළඹ 7 යන ලිපිනයට ගෙනැවිත් භාරදීම හෝ [email protected] යන ඊමේල් අංකයට ඊමේල් කළ යුතු වේ.

අදාළ තරගාවලියට සමගාමීව මංචී පළාත්, මංචී ජාතික සුපිරි ලීග, DSI පාසල් සුපර් ස්පෝර්ට්ස් සහ සන්කුවික් ජාතික වෙරළ වොලිබෝල් තරගාවලි මෙම වසරේ ප්‍රධාන දේශීය වොලිබෝල් තරගාවලි ලෙස පැවැත්වීමට සැලසුම් කොට ඇත.

මීට අමතරව ජාත්‍යන්තර වොලිබෝල් තරගාවලි 10 ක් ආසියානු වොලිබෝල් සම්මේලනය මේ වසරේ පැවැත්වීමට සංවිධානය කොට ඇති අතර ඉන් කාවා විවෘත පිරිමි ශූරතා වොලිබෝල් තරගාවලිය සහ කාවා වෙරළ වොලිබෝල් තරගාවලිය ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතය.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment