ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ එකට එක කරති

737

ඉනිමේ අවසන් කඩුලු හය ලකුණු 15ක් තුළ බිඳ වැටීමෙන් මුළු ලකුණු සංඛ්‍යාව 100 කට සීමා වුණු බංගලාදේශ කාන්තාවන්ට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග ඊයේ (11 වැනිදා) පැවැති දෙවන පන්දු වාර විස්සයි විස්ස තරගයේ දී කඩුලු 7 ක පරාජයක් උරුම විය.

කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ ලද ජයත් සමග තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට රැගෙන ඒමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට හැකිවිය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පිටියට පිවිසි බංග්ලාදේශ කාන්තා කණ්ඩායම වරෙක කඩුලු 4 ක් දැවී ලකුණු 85 ක් රැස්කරගෙන ප්‍රබල ස්ථානයක සිටියද තවත් පන්දු 29 කදී ඔවුහු සියලු දෙනා ලකුණු 100 කට දැවී ගියහ. එම ලකුණු සංඛ්‍යාව හඹා යෑම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා පිලේ නායිකා චමරි අතපත්තු ෆරිහා ටි්‍රස්නාගේ පළමු පන්දු වාරයට හතරේ පහර 4 ක් එල්ල කරමින් ප්‍රහාරාත්මක ආරම්භයක් ලබා ගත්තාය. පිට ඉන්නෙන් ඈතින් ඇදී ගිය පන්දුවකට එලවා පහරක් එල්ල කර යෑමේදී ස්ටම්ප් කිරීමකට හසුව දැවී යෑම නිසා චමරිට ලකුණු 33 දී පිටියෙන් ඉවතට යෑමට සිදු වූ අතර ඒ වන විටත් ඇය හයේ පහරක් සහ හතරේ පහර 6 ක් තම ඉනිමට ඇතුළත් කර ගෙන තිබුණි.

චමරිගේ දැවී යෑමෙන් පසු ලකුණු 25 ක් ඇතුළත විශ්මි ගුණරත්න ලකුණු 12 කට සහ නිලක්ෂි ද සිල්වා ලකුණු 04 කට දැවී ගියද සිව්වැනි කඩුල්ල වෙනුවෙන් හර්ෂිතා සමරවික්‍රමට එක්වූ කවීෂා දිල්හාරි ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කරා රැගෙන ගියහ. ඔවුන් දෙදෙනා අතර එම කඩුල්ලේ නොබිඳුණු සම්බන්ධතාව පන්දු 40 කදී ලකුණු 38 කි. ඒ වෙනුවෙන් කවිෂා දිල්හාරි පන්දු 18 කදී ලකුණු 20 ක්ද හර්ෂිතා සමරවික්‍රම පන්දු 42 කදී ලකුණු 29 ක්ද රැස් කළහ.

මෙම තරගයේදී දක්වන ලද තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ද කවීෂා දිල්හාරි විසින් දිනා ගත්තාය.

ලකුණු සාරාංශය

බංග්ලාදේශ කාන්තා පිල පන්දු වාර 18.3 කදී සියලු දෙනා දැවී ලකුණු 100 යි – (ශමීමා සුල්තානා 18, රුබී හයිදර් 16, ෂෝබනා මොස්ටරි 18, මුර්ෂිදා ඛටුන් 14, කවීෂා දිල්හාරි 13/2, ඉනෝකා රණවීර 09/2, සුගන්ධිකා කුමාරි 14/2, උදේශිකා ප්‍රබෝධනී 21/2)

ශ්‍රී ලංකා කාන්තා පිල පන්දු වාර 18.3 කඩුලු 3 ක් දැවී 101 යි

චමරි අතපත්තු 33, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 29, කවීෂා දිල්හාරි නොදැවී 20

ෆාහිමා කටුන් 16/2, රබෙයා ඛාන් 11/1

advertistmentadvertistment
advertistmentadvertistment