බුද්ධියේ බහුමාන සංකල්පය – පාසල් අධ්‍යාපනයට එකතු කිරීමේ අවශ්‍යතාව

164

වාචික හා භාෂාමය බුද්ධිය සලකා බැලීමේ දී විවිධාකාරයේ අදහස් ශාස්ත්‍රීය ආකාරයකට භාෂාමය වශයෙන් ඉදිරිපත් කිරීමට ඇති හැකියාවත් චින්තනය මෙහෙයවීමත්, තමන්ගේ අදහස භාෂාව උපයෝගි කරගෙන අන්‍යයන්ට ඉදිරිපත් කිරීමට ඇති හැකියාවත් මෙයට අයත් වේ. ගී කවි නිර්මාණකරුවන්, නවකතාකරුවන්, පිටපත් රචකයන්, පොත් කතුවරුන්, මාධ්‍යවේදීන්, නිවේදකයන්, විස්තර විචාරකයන් වැනි වෘත්තීන් සඳහා යොමු වන පුද්ගලයන් තුළ මෙම හැකියා හොඳින් සංවර්ධනය වී ඇත. පාසල්වල විෂය මාලාව ඉගැන්වීමේදී ද වැඩිපුර අවධාරණය වන්නේ මෙම අංශයයි. එබැවින් අනිකුත් බුද්ධි කාණ්ඩ අතර රැජින බවට ද මෙම බුද්ධි කාණ්ඩය පත්වේ.

අධ්‍යාපනය යනු ගෝලීය සංකල්පයක් වන අතර ඒ පිළිබඳව අප සාකච්ඡා කරන්නේ ධනාත්මක පසුබිමක සිටය. මෙහිදී ලෝකයේ ඇති වන සමාජ, ආර්ථික, දේශපාලන හා සංස්කෘතික මෙන්ම විද්‍යාත්මක වෙනස්කම් මෙන්ම යාවත්කාලීනවීම් ද අධ්‍යාපනයේ හැඩය ප්‍රමාණය හා දිශානතිය තීරණය කරයි. ඒ අනුව අධ්‍යාපනය නිතරම ගතික ස්වභාවයක් පෙන්නුම් කරයි. ඉගෙනුම – ඉගැන්වීම් ක්‍රියාවලිය හා බැඳුණු අත්හදා බැලීම් නව සොයා ගැනීම් මෙන්ම බුද්ධිය පිළිබඳව කරන ලද පර්යේෂණ අධ්‍යාපන සංකල්ප හා නිරන්තරයෙන් සම්මිශ්‍රණය වීම වැළැක්විය නොහැකි ය.

ඇමෙරිකාවේ හාවඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ මහාචාර්යවරයකු වූ ද ලොව ප්‍රකට අධ්‍යාපන පර්යේෂක භා දාර්ශනිකයකු වන හොවා(ර්)ඩ් ගාඩ්නර් Howard Gardner (2002) ඉදිරිපත් කළ බුද්ධියේ බහුමාන සංකල්පය හෙවත් බහුවිධ බුද්ධි න්‍යාය මෑත කාලයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂ කතාබහට ලක් වූ අදහස් සමූහයකි. මිනිස් බුද්ධියේ ප්‍රමාණය හා ධාරිතාවය පිළිබඳ ඉදිරිපත් කර තිබූ නොයෙකුත් න්‍යායාත්මක අදහස්වලට අමතරව බුද්ධියේ විවිධ ක්ෂේත්‍ර පවතින බවත් අධ්‍යාපනයේ යෙදවීම මඟින් ඒවා පහසුවෙන් කාර්යක්ෂම හා ඵලදායී කළ හැකි බව ගාඩ්නර් විසින් මුල් වරට අනාවරණය කළේ ය. ගාඩ්නර්ට අනුව මිනිස් මොළයේ බුද්ධි ක්ෂේත්‍ර අටක් පවතී. ඒවා නම්,

තාර්කික, ගණිත හා විද්‍යාත්මක බුද්ධිය.

වාචික හා භාෂාමය බුද්ධිය

දෘශ්‍යමය හා අවකාශය බුද්ධිය

ශාරීරික සුඛනම්‍යතාවය හෙවත් කාය චලේන්ද්‍රීයීය බුද්ධිය

අන්තර් පුද්ගල සබඳතා බුද්ධිය හෙවත් සමාජීය බුද්ධිය

සංගීතමය බුද්ධිය

ස්වභාවික ලෝකය නිවැරදිව හඳුනා ගැනීම හෙවත් පාරිසරික බුද්ධිය

ඇතුළාන්ත බුද්ධිය හෙවත් අන්තඃපුද්ගල බුද්ධිය

ගාඩ්නර් මෙම අදහස ඉදිරිපත් කරමින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂයෙන්ම පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක කරන විෂය මාලාව මෙම බුද්ධි ක්ෂේත්‍ර ප්‍රවර්ධනය කරන ආකාරයට සැලසුම් කළ යුතු බව පෙන්වා දී ඇත.

එමෙන්ම පාසල්වල ඉගෙනුම් – ඉගැන්වීම් ක්‍රියාවලියේ දී ගුරුවරු හා අධ්‍යාපන උපදේශකයන් සඳහා විශේෂ උපාය උපක්‍රම සමූහයක් ද එමගින් අනාගත වැඩ ලෝකය තුළ ගොඩනැඟී ඇති විවිධ රැකියා ක්ෂේත්‍ර පිළිබඳ යම් හඳුන්වා දීමක් ද ඔහු විසින් සිදු කර ඇත. මෙහි දී පුද්ගල විවිධත්වය මත ශිෂ්‍යයා වඩාත්ම ප්‍රිය කරන බුද්ධි ක්ෂේත්‍රය ඔස්සේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ නිරත කරවීම ද අධ්‍යාපනය තුළ ප්‍රගුණ කිරීම් ද සිදුකිරීම මඟින් ඔහු හෝ ඇය විශිෂ්ටයකු කළ හැකි ය යන අදහස වඩාත් වැදගත් වේ.

ඇමරිකාව ඇතුළු ලෝකයේ ආර්ථික වශයෙන් දියුණු වී ඇති රටවල් රැසක් මහාචාර්ය ගාඩ්නර්ගේ මෙම අදහස වර්තමානයේ ප්‍රයෝජනයට ගනිමින් අධ්‍යාපන පද්ධතිය නවීකරණය කරගෙන ඇත. ශ්‍රී ලංකාවේ ද පොදු සාමාන්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ පාසල් පද්ධතිය තුළ බහුවිධ බුද්ධි සංකල්පය ආදේශ කර ගනිමින් ශිෂ්‍යයාගේ පෞරුෂ සංවර්ධනය සඳහා අවශ්‍ය විෂය මාලාව සැලකිය යුතු මට්ටමකට සකස් වී ඇති අතර ඒ තුළින් විවිධ විෂය නිර්දේශ සඳහා සාධාරණ ඉඩක් සපයා ඇති බව ද පෙනී යයි. එසේ වුවද විෂය මාලා සම්පාදනයේ දී හා ගුරු පුහුණුවේදී බහුවිධ බුද්ධි න්‍යාය පිළිබඳ තවදුරටත් පුළුල් සංවාදයක යෙදීමත් ඒ සඳහා සාධාරණ ඉඩකඩක් ලබාදීමත් කාලීන අවශ්‍යතාවයක් වේ. ශ්‍රී ලංකාවේ වර්තමාන පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක විධිමත් විෂය මාලාවට අමතරව සමගාමී විෂය මාලාව හා සම්බන්ධ විවිධ ක්‍රියාකාරකම් ඔස්සේ දරුවන්ව මෙහෙයවීම මගින් ඔවුනගේ පෞරුෂ සංවර්ධනය මෙන්ම සමාජීය වශයෙන් වැඩි ප්‍රතිලාභයක් ලබාගැනීමට ද හැකියාව ඇත.

ගාඩ්නර් විසින් පෙන්වා දී ඇති පරිදි අප පාසල් පද්ධතියට මෙය ගළපා ගැනීම සඳහා තවදුරටත් ඒ පිළිබඳ ගවේෂණයක යෙදීම වඩාත් වැදගත් වේ.

ගාඩ්නර් හඳුන්වා දුන් බුද්ධි ක්ෂේත්‍ර අතර තාර්කික,

ගණිත හා විද්‍යාත්මක බුද්ධිය යන ක්ෂේත්‍රය විවිධාකාරයේ තොරතුරු සංඛ්‍යා හා රූපණයන් ආකාරයෙන් ඉදිරිපත් කිරීමටත් තර්කානුකූලව හේතුඵල සම්බන්ධතා ඉදිරිපත් කරමින් කරුණු දැකිවීමටත් ඇති හැකියාව සඳහා වැදගත් වන්නේය. ගණිත හපන්කම්, තර්ක කිරීමේ හපන්කම් වගු සටහන්, ප්‍රස්තාර සටහන්, රූපසටහන් ආදියෙන් ඉගෙන ගැනීම මෙහිදී දැකිය හැකි විශේෂත්වයන් ය. ශ්‍රී ලංකාවේ සාමාන්‍ය පාසල් විෂය මාලාවේ ගණිතය, විද්‍යාව වැනි විෂය ක්ෂේත්‍ර මෙමගින් ආවරණය වේ. එහෙත් ඉගෙන ගැනීමේ පහසුව තකා නිශ්චිත ක්‍රමවේද භාවිත කරන්නේ ද යන්න මෙහිදී නැගෙන ප්‍රශ්නාර්ථයකි. ඉංජිනේරුවන්, විද්‍යාඥයන්, නීතිඥයන් හා ගණකාධිකාරීවරු මෙම හැකියා ප්‍රදර්ශනය කරන වෘත්තිකයන් ය.

එමෙන්ම වාචික හා භාෂාමය බුද්ධිය සලකා බැලීමේ දී විවිධාකාරයේ අදහස් ශාස්ත්‍රීය ආකාරයකට භාෂාමය වශයෙන් ඉදිරිපත් කිරීමට ඇති හැකියාවත් චින්තනය මෙහෙයවීමත්, තමන්ගේ අදහස භාෂාව උපයෝගි කරගෙන අන්‍යයන්ට ඉදිරිපත් කිරීමට ඇති හැකියාවත් මෙයට අයත් වේ. ගී කවි නිර්මාණකරුවන්, නවකතාකරුවන්, පිටපත් රචකයන්, පොත් කතුවරුන්, මාධ්‍යවේදීන්, නිවේදකයන්, විස්තර විචාරකයන් වැනි වෘත්තීන් සඳහා යොමු වන පුද්ගලයන් තුළ මෙම හැකියා හොඳින් සංවර්ධනය වී ඇත. පාසල්වල විෂය මාලාව ඉගැන්වීමේදී ද වැඩිපුර අවධාරණය වන්නේ මෙම අංශයයි. එබැවින් අනිකුත් බුද්ධි කාණ්ඩ අතර රැජින බවට ද මෙම බුද්ධි කාණ්ඩය පත්වේ.

දෘෂ්‍යමය හා අවකාශය බුද්ධිය තවත් වැදගත් ක්ෂේත්‍රයකි. පින්තූර, සිතියම් හා ප්‍රස්තාර ආශ්‍රයෙන් සිතීමට හැකියාව හා ත්‍රිමාණව යමක් දැකීමට ඇති හැකියාව මෙයට අයත් වේ. මෙම අංශයේ බුද්ධිමය හැකියාව ප්‍රගුණ කරන බොහෝ අය ඉංජිනේරුවන්, ගුවන්යානා නියමුවන්, ගෘහ නිර්මාණකරුවන්, මූර්ති ශිල්පීන්, චිත්‍රපට හා පසුතල නිර්මාණකරුවන් පමණක් නොව රූපලාවණ්‍යය හා වේශ නිරූපණය ද මෙම ක්ෂේත්‍රය නියෝජනය කරති.

අදහස් ශාරීරික චලන මගින් ප්‍රකාශ කිරීමට පොහොසත් වීම, ආකෘති, අත්වැඩ හුරුබුහුටි ආකාරයට නිමවීමට හැකි වීම, ජිමිනාස්ටික්, සර්කස්, පිහිනුම්, නැටුම් ආශ්‍රිතව ශාරීරික අංග චලන කුසලතා ප්‍රදර්ශනය වැනි බුද්ධිමය හැකියා අයත් වන්නේ ශාරීරික සුඛනම්‍යතාවය හෙවත් කාය චලේන්ද්‍රයීය බුද්ධියට ය. නාට්‍ය හා රංග කලාව, නැටුම්, ක්‍රීඩා යන විෂයන්වලට අමතරව සමගාමී විෂය මාලාව තුළද මෙම කුසලතා ගොඩනැඟීමේ අවස්ථා ශ්‍රී ලංකාවේ පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක විෂය මාලාව තුළ අන්තර්ගතව ඇත. ඒ සඳහා තවදුරටත් අවශ්‍ය වන්නේ ගුරුවරුන් මනා ශික්ෂණයකින් යුක්තව මෙම කටයුතුවල සිසුන් නිරත කරවීමත් ඒවාට අවශ්‍ය පහසුකම් සපයා ගැනීමත් ය.

සංගීතමය බුද්ධිය ගාඩ්නර්ගේ තවත් වැදගත් බුද්ධි ක්ෂේත්‍රයකි. තාලය, සංගීතය, රටා හඳුනා ගැනීම සහ ඒ තුළින් සන්නිවේදනය කිරීමටත් හැකි වීම මෙයට අයත් වේ. සංගීතඥයන්, නැටුම් ශිල්පීන් මෙවැනි කුසලතා සහිත පුද්ගලයන් අතුරින් බිහිවිය හැකිය. මෙම ක්ෂේත්‍රය වැදගත් වන්නේ දරුවකුගේ මොළයේ වම් පෙදෙස සංවර්ධනය කිරීමෙහිලා භාවිතයට ගැනීමට ඇති හැකියාවයි. සෙනෙහස ආදරය අනෙකාට ගරු කිරීම සහානුභූතිය යන ගුණාංග සහිතව සහනශීලී චරියා හුරු කිරීමෙහිලා මෙම බුද්ධි කාණ්ඩය වැදගත්කමක් උසුලයි.

අන්තර් පුද්ගල සබඳතා බුද්ධිය හෙවත් සමාජීය බුද්ධිය 21 වන සියවසේ වැදගත්ම බුද්ධි කාණ්ඩය මෙය බව බොහෝ අධ්‍යාපනඥයන්ගේ පිළිගැනීමයි. මිනිසා නමැති සත්වයා සමාජීය සත්වයෙක් වන නිසා ඔහු පවුල් ඒකකයේ සිට සමාජයේ විවිධාකාරයේ සමාජ තීරු සමඟ විවිධ අවස්ථාවලදී ගැටෙයි. එබැවින් සාර්ථක සමාජයීය පෞරුෂයක් ගොඩනඟා ගැනීමෙහිලා ඕනෑම අයකුට මෙම බුද්ධි කාණ්ඩය ඉතාමත් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. විශේෂයෙන් රැකියා ස්ථානයේදී තමාගේ සමූහයේ සිටින සෙසු පිරිස හොඳින් අවබෝධ කර ගනිමින් ඔවුන් සමඟ මනා සම්බන්ධතා පවත්වා ගැනීමට අවශ්‍ය බුද්ධිමය කුසලතාවය මෙම ක්ෂේත්‍රය නියෝජනය කරයි. කණ්ඩායම් ක්‍රියාකාරකම්, විවිධ කණ්ඩායම් ව්‍යාපෘති, සමිති සමාගම්, සාමූහික නිර්මාණ, සමාජ සේවා කටයුතු ආදියෙහි යෙදවීමත් සඳහා පාසලේ සමගාමී විෂය මාලාව බලවන්ත කිරීමත් මෙහි ලා වැදගත් වේ.

ස්වභාවික ලෝකය නිවැරදිව හඳුනා ගැනීම හෙවත් පාරිසරික බුද්ධිය ඊළඟ වැදගත් බුද්ධි ක්ෂේත්‍රයයි.

සත්ත්ව හා ශාක ජීවිත පිළිබඳ හැදෑරීම, පරිසරය හා මුහුදු ගවේෂණය, පරිසරවේදීන් ලෙස ස්වභාව ධර්මයට සංවේදීව කටයුතු කිරීම මෙම ක්ෂේත්‍රයට අයත් වන අතර එය අනාගත ලෝකයේ පාරිසරික පැවැත්ම සඳහා තීරණාත්මක සාධකයකි. ශ්‍රී ලංකාවේ පොදු පාසල් විෂය මාලාව තුළ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම්, භූගෝල විද්‍යාව හා පුරවැසි අධ්‍යාපනය වැනි විෂයයන් තුළින් මෙම බුද්ධි ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා ගත හැකි පිටුවහල ඉමහත් ය. ජෛව විවිධත්වය වටහා ගැනීම, පිළිගැනීම හා එය ආරක්ෂා කිරීම වැනි සංවේදන ද මෙම බුද්ධි කාණ්ඩයට අයත් වේ. මේ හුදෙක්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඔස්සේ ඉදිරියට සංවර්ධනය කළ යුත්තක් වන අතර ඒ සඳහා පාසල් තුළ ප්‍රායෝගික ඉඩකඩ සූදානම් කර ගත යුතු ය.

ඇතුළාන්ත බුද්ධිය හෙවත් අන්තඃපුද්ගල බුද්ධිය ස්වයං චින්තනයෙන් හා අභ්‍යාසයෙන් ගොඩනැඟෙන දාර්ශනික හා ආගමික අදහස් සමාජගත කිරීමට ඇති හැකියාව සඳහා වැදගත් වේ. තනිව කල්පනා කිරීම මගින් ගොඩනැඟෙන සාහිත්‍ය නිර්මාණකරණය, නවකතා රචනය, දාර්ශනික සිතුවිලි, ආගමික අදහස්, තම අභ්‍යන්තරයේ ඇති විභව ශක්තීන් හඳුනාගෙන කටයුතු කිරීම මෙන්ම සමාජයේ දෘෂ්ඨිය වෙනස් කර සමාජ පරිවර්ථනයක් කරා ගෙන යෑමට වුවද හැකි වන පරිදි මෙම බුද්ධිමය ක්ෂේත්‍රය පුළුල් කළ හැකි ය.

ශ්‍රී ලංකාවේ පාසල් විෂය මාලාව තුළ විෂය නිර්දේශයන්හි අන්තර්ගතයන් පිළිබඳ ගැඹුරින් හඳුනාගැනීමෙන් පසුව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය හා පාසල් සංස්කෘතියේ වෙනස්කම් කිරීමට ගුරුවරු හා පාසල් බලධාරීන් තම දෘෂ්ඨිමය ආකල්පයන් වෙනස් කිරීම මගින් බහුවිධ බුද්ධි න්‍යාය අභ්‍යාස කිරීමට පසුබිමක් සකස් කර ගන්නේ නම් එය ශිෂ්‍ය පෞරුෂ සංවර්ධනයෙහි ලා මහත් පිටිවහලකි. ජාතික සංවර්ධනයෙහිලා ශිෂ්‍ය විභ්‍යතාවයට ගැළපෙන අධ්‍යාපන පරිසරයක් පාසල් තුළ ගොඩනඟා ගැනීම සඳහා ද එමඟින් විවිධ ක්ෂේත්‍රයන්වල විශිෂ්ටයන් බිහිකර ගැනීම සඳහා ද මූලික අඩිතාලම දමා ගැනීම වෙනුවෙන් මෙවැනි සංකල්පයක් භාවිතයට ගැනීමේ වැදගත්කම හෙළිවේ. එමෙන්ම වර්තමානයේ පාසල් ශිෂ්‍යයා වෙත එල්ල වී ඇති විෂය මාලාවේ පීඩනය අවම කර ගනිමින් වින්දනාත්මක ඉගෙනුම් ඉගැන්වීම් සංස්කෘතියක් කරා ප්‍රවේශයක් සකසා ගැනීම උදෙසා බහුවිධ බුද්ධ න්‍යාය භාවිතයට ගැනීම පිළිබඳව වඩාත් අවධානය යොමු කිරීම කාලීන අවශ්‍යතාවක් වේ.

ජී. එස්. කේ. ඩබ්ලිව්. හේවගේ
ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවය

advertistmentadvertistment
advertistmentadvertistment