අවි විකුණන සාකච්ඡාවලට උතුරු කොරියානු නායකයා රුසියාවට

468

යුක්‍රේනයේ රුසියාව විසින් සිදු කරනු ලබන හමුදා ප්‍රහාරයන් සඳහා අවශ්‍ය අවි ආයුධ විකිණීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් විශේෂිත වෙඩි නොවදින සන්නද්ධ සුඛෝපභෝගී දුම්රියකින් රුසියාවට පැමිණ සිටින බව විදෙස් මාධ්‍ය ඊයේ (12දා ) වාර්තා කර තිබිණි. උතුරු කොරියානු නායකයා රැගත් විශේෂ දුම්රිය නැගෙනහිර රුසියාවේ පිහිටි විශාලතම නගරය වන ව්ලැඩිවොස්ටොක් නගරයට උතුරු දෙසින් පිහිටි ‘උස්සුරියිස්ක්’ නගරයට කෙලින්ම ගමන් කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පෙන්වා දී ඇති එම මාධ්‍ය ඔහු සිය ගමනාන්තයට ළඟා වීමෙන් පසු රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් සමග යුක්‍රේනයේ පවතින යුද්ධයට අවශ්‍ය අවි ආයුධ රුසියාවට අළෙවි කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වනු ඇති බව අවධාරණය කර ඇත. කෙසේ වුවද ඊයේ දහවල් වන තෙක්ම මාධ්‍යයට උතුරු කොරියානු නායකයා රුසියානු ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පවත්වනුයේ කුමන නගරයේද යන්න පිළිබඳව නිශ්චිතවම හෙළි කරගැනීමට නොහැකි වී තිබිණි. උතුරු කොරියානු – රුසියානු නායක හමුව පිළිබඳව දෙපාර්ශවයෙන්ම නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් නිකුත් වී නොතිබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ.

උතුරු කොරියානු නායක කිම් හා රුසියානු ජනාධිපති පුටින් අතර පැවැත්වෙන ඍජු සාකච්ඡාවලට අමතරව එම රටවල් දෙකේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අතර ද වෙනම සාකච්ඡා වටයක් පැවැත්වෙන බවත් එම සාකච්ඡා අවසානයේ රුසියානු ජනාධිපතිවරයා විසින් උතුරු කොරියානු නායකයා ප්‍රමුඛ නියෝජිත පිරිසට නිල රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වීමට නියමිතව තිබූ බව රුසියාවේ ටාස් ප්‍රවෘත්ති සේවය විසින් වාර්තා කර තිබිණි. මේ අතර උතුරු කොරියානු නායකයාගේ රුසියානු සංචාරය වසර හතරකට පසුව ඔහු විසින් සිදු කර ඇති ප්‍රථම විදෙස් සංචාරය බව හෙළි වී තිබේ. 2019 වසරේදී අවසන් වරට ඔහු විදෙස් සංචාරයක් සඳහා ගොස් ඇත්තේද රුසියාවටය. එම සංචාරයේදීද ඔහු රුසියානු ජනාධිපතිවරයා සමග මුහුණට මුහුණ ලා සාකච්ඡා පවත්වා තිබිණි. යුක්‍රේනයේ පවතින යුද්ධය සඳහා රුසියාවට උතුරු කොරියාවෙන් අවි මිලදී ගැනීමට අවශ්‍යව ඇති බව ඇමරිකා එක්සත් ජනපදය මෙයට පෙර නිවේදනය කර තිබිණි. උතුරු කොරියානු හා රුසියානු නායකයන් අතර පැවැත්වෙන සාකච්ඡා සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටින බව දකුණු කොරියාවද නිවේදනය කර තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment