එදත් කෑහ – මෙදත් කෑහ රටත් කෑහ – ගමත් කෑහ

3055

අවසාන විග්‍රහයේදී කීමට ඉතුරුව ඇත්තේ මෙයය; තිස් අවුරුදු යුද්ධයෙන් රට බේරා ගන්නා අතරත් රාජපක්ෂවරු රට කෑහ. මෙදා සැරේත් ඔවුහු රට කා ඉවරම කළහ. ගිය සැරේ රට කෑ අවස්ථාවේදී මළ වශයෙන් පිට කිරීමට හෝ යමක් ඉතිරි විය. මෙදා සැරේ එහෙම කරන්නටවත් කිසිවක් ඉතිරි වී නැත. 2019 නොවැම්බර් මාසයේදී බලයට පැමිණි ගෝඨාභය රාජපක්ෂ අද දක්වාම රට වෙනුවෙන් කිසිම දෙයක් නොකර නිකම් සිටි බව දැන් පෙනේ. ඔහු කොරෝනාවෙන් රට බේරාගත් බවට මතයක් ප්‍රචාරය කර හරින ලදි. මේ වනවිට කොරෝනාවෙන් හැම රටක්ම බේරී අවසන් ය. හැම රටකම එන්නත්කරණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක විය. වෙනස වූයේ වෙන රටවල එන්නත් ක්‍රියාවලිය රජයේ වෛද්‍යවරුන් විසින් කරනු ලබද්දී ලංකාවේ එන්නත් ක්‍රියාවලිය යුද හමුදාවේ වෛද්‍ය බළකාය විසින් කරනු ලැබීමය. අපේ රටේ ගැසූ සියලුම එන්නත් වර්ග පිටරටවලදී ද ගසන ලදී. අප අකෘතඥ ලෙස කතා කරතැයි මොහොතකටවත් නොසිතන්න. කොරෝනාවෙන් සිදු වූ විනාශය මෙන් හාර පන්දහස් ගුණයක විනාශයක් රාජපක්ෂ ආණ්ඩුව විසින් මේ වන විට රටට කර ඇත. මහින්ද රාජපක්ෂ යනු දෙවියකු මෙන් මේ රටෙන් සමුගැනීමට සිටි දේශපාලනඥයෙකි. එහෙත් තමන් වටා සිටි බලලෝභී හැත්ත සමග එකතු වීමේ වරද නිසා අද වන විට ඔහුට සිදුවී ඇත්තේ සිය පවුලේ අයත් සමග සැඟව සිටීමට ය.

මෑත ඉතිහාසයේ වැඩියෙන්ම ලේ ගැලූ වකවානු දෙකක් තිබේ. ඉන් පළමුවැන්න 83 ජූලි කලබලයයි. දෙවැන්න 88, 89 ජවිපෙ භීෂණයයි. ඊළඟට අප අත්දකින භීෂණය අද තිබෙන දේශපාලන ප්‍රචණ්ඩත්වය වේ. ඊයේ අප මේ කතු වැකිය ලියන අවස්ථාවේදී ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුර ඉදිරිපිට දහස් ගණනක් දෙනා සටන් පාඨ කියමින් කෑ ගැසූහ. රාජපක්ෂ පවුල එහි සැඟව සිටින බවත් වහාම ඔවුන් එළියට දමන ලෙසත් ඒ මිනිස්සු ඉල්ලූහ. ආදරය සහ වෛරය අතර කෙස් ගසක වෙනසක් ඇති බවට පැරණි ප්‍රේමාලාපයක් තිබේ. මෙයට කලකට පෙර මේ ප්‍රේමාලාපය ඇසූ අපි සිනහසුනෙමු. එහෙත් මෙවර 69 ලක්ෂයක ඡන්දයකින් රාජපක්ෂවරුන් බලයට පැමිණි විට මහ පාරේ කිරිබත් පිසූ අයම දහඅට මසකට පසු රාජපක්ෂවරුන්ට විරුද්ධව මහ පාරේ ටයර් පිලිස්සීමෙන් පෙරකී යල්පිනූ ප්‍රේමාලාපයේ ඇත්ත අපට වැටහිණ. පෙරේදා ගෝල්ෆේස් ගෝඨා ගෝ ගමදී හටගත් ප්‍රචණ්ඩ ක්‍රියාව පටන් ගන්නේ අරලියගහ මන්දිරයෙනි. මහින්ද විනාශ කළ කල්ලියට අයත් ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, සනත් නිශාන්ත ඇතුළු පිරිසක් විසින් බලයේ තවදුරටත් රැඳී සිටින ලෙසට මහින්දට බල කිරීම සඳහා බස් 21 කින් අරලියගහ මන්දිරයට සෙනග ගෙන්වන ලදී. එක් දේශපාලනඥයෙක් මෙසේ සෙනග ගෙන්වීමේදී එක් අයකුට රුපියල් 5000 බැගින්ද සෑම තුන්දෙනකුටම ගල් අරක්කු බෝතලය බැගින්ද බෙදා දී තිබිණ. ඒ අතර ඇතැම් කෙනකු ගෙන්වා තිබුණේ නොආවොත් සමෘද්ධිය කපන බවට තර්ජනය කරමිනි. මෙසේ පැමිණි අයගෙන් අසරණ පිරිස මහින්ද රාජපක්ෂ සමග අරලියගහ මන්දිරය තුළ ඉතිරි වෙද්දී ත්‍රාඩ ඇමැතිවරුත්, ප්‍රාදේශීය සභා මන්ත්‍රී පිරිසකුත් යකඩ පොලු සහ රබර් පොලු අරගෙන ගෝල්ෆේස් පිට්ටනියට කඩා වැදී, ගෝඨා ගෝ ගම වැසියන්ගේ අත පය කඩන්නටත් ඔළු ගෙඩි පලන්නටත් පටන් ගත්හ. තරුණ ගැහැනු ළමයින් බිම දිගේ ඇදගෙන යන ලදී. තවත් ගැහැනු ළමයෙක්ව වටකරගත් හයදෙනක් පමණ ඇයට පොලුවලින් තඩි බාන හැටි අන්තර්ජාලයේ තිබිණ. අරලියගහ මන්දිරයේ සිට ගෝල්ෆේස් හෝටලය පසුකරගෙන ගෝඨා ගෝ ගමට පැමිණි සන්නද්ධ මැර පිරිස වළක්වාලීමේ හැකියාව එම ස්ථානයේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ට තිබිණ. එම ප්‍රචණ්ඩකරුවන්ට අධි පීඩන වතුර තුවක්කුවලින් පහර දීමට පොලිස් නිලධාරීන් තැත් කළ අවස්ථාවේදී එය වළක්වන ලද්දේ ද දේශබන්දු තෙන්නකෝන් ම විසිනි. මේ සඳහා අවශ්‍ය සියලු සාක්ෂි අප සතුව ඇත. ගුටි කෙළිය ඉතාම නරක තත්ත්වයට පත්වන අවස්ථාවේදී පොලිසිය ප්‍රචණ්ඩකාරීන්ට ජලය විදීමට පටන් ගත්තේය. හැබැයි ඒ විද්ද ජලය සමාන වුණේ මල් පාත්තිවලට වතුර දානවාක් හා සමාන සනීප දායක වතුර විදීමකට ය. ප්‍රචණ්ඩකාරීන් පොලු අරගෙන ගෝඨා ගෝ ගම දෙසට දුවන විට පොලිසිය කිසි ලෙසකින්වත් ඔවුන් වැළැක්වූයේ නැත. පොලිසිය කළේ ඔවුන් දුවන වේගයටම ඔවුන්ට සමාන්තරව ඔවුන් සමග දිවීම ය. ගෝඨා ගෝ ගම නැති කාලයේදී ගෝල්ෆේස් පිට්ටනියේ දිවීම සඳහා සුවිශාල සිරුරු සහිත ධනවත් අඹු සැමියෝ පැමිණෙති. ඇඟ බස්සවා ගැනීම පිණිස ඔවුන් දුවන්නේ ද එකිනෙකා හා කතා කරමින් සමාන්තරව ය. සමහරවිට මේ කතා ගෙදරදි සාකච්ඡා කිරීමට බැරි දේවල් ය. ගෝඨා ගෝ ගම වෙත දිව ආ ප්‍රචණ්ඩකරුවන් සහ පොලිසිය එකිනෙකාට සමාන්තරව දිව ගියේ ඉහත සඳහන් ජෝඩු දිව යන ආකාරයෙනි. අන්තරේ කට්ටියක්, ජවිපෙ කට්ටියක් හෝ සජබ කට්ටියක් උද්ඝෝෂණයක් කරන විට කැරලි මර්දන පොලිසිය විදින වතුර පාර පොල් ගස් දෙකට කැඩෙන තරමට සැරය. පෙරේදා විදින ලද වතුර පහරවල් මල් පාත්තිවලට වතුර දැමීමට සමාන වෙන්නට ඇත්තේ ඒවා විදින යන්ත්‍රවල එන්ජින් ට්‍රබල් නිසා වෙන්නට ඇතිය.

සිවිල් ජනයා ප්‍රචණ්ඩත්වය අතට ගන්නේ ඒ සඳහා ජීවිතයෙන් වන්දි ගෙවීමට බලාගෙන ය. ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන අවස්ථාවේදී එය වැළැක්වීමට ඉදිරිපත් වන කෙනෙක් නැත. එහෙත් ප්‍රචණ්ඩ ක්‍රියා අවසන් වූ පසු CCTV කැමරා සහ වාචික සාක්ෂි යොදාගෙන ප්‍රචණ්ඩ ක්‍රියාවලට සහභාගි වූ සිවිල් වැසියන් එකා බැගින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පටන් ගනී. පොහොට්ටුවේ කුලී මිනීමරුවන් ගෝඨා ගෝ ගම දී මුදාහළ කෲර ප්‍රචණ්ඩත්වයට එරෙහි වෙමින් පෙරළා ප්‍රචණ්ඩත්වය මුදාහළ රට පුරා සිටින ජනතාව ද මේ අවදානමට ලක්ව සිටිති. අරලියගහ මන්දිරය ඉදිරිපිට දී මයිනා ගෝ ගම පටන් ගත් මොහොතේදීම මහින්ද රාජපක්ෂ අගමැතිකමින් ඉල්ලා අස්වූයේ නම් මේ මොන මඟුලක්වත් සිදුවන්නේ නැත. ඉරිදා උදේ වරුවේ ඔහු අටමස්ථානය වන්දනා කළ අවස්ථාවේදී මිනිස්සු හූ කීහ. ඔහුට රටේ ඇති තත්ත්වය අවබෝධ කරගැනීමට ඒ හූව හොඳටම ප්‍රමාණවත් ය. අටමස්ථානයේ සිට කොළඹ පැමිණි වහාම ඔහු ඉල්ලා අස්වුණේ නම් මෙබඳු විනාශයක් සිදුවන්නේ නැත. රසායනික පොහොර පිටරටින් ගෙන්වන්නට රටට සල්ලි නැති වූ අවස්ථාවේදී කාබනික පොහොර ලෙඩේ ගොවියන් පිට නොදමා මේ ආර්ථික අර්බුදය පාලනය කර ගැනීමට තමන්ට බැරි බව පිළිගෙන ඉල්ලා අස්වී ගෙදර ගියේ නම් ගෝඨාභය රාජපක්ෂ අදටත් විශිෂ්ට රණවිරුවකු සේ සැලකුම් ලබන්නේය. එහෙත් කිසිම මඟුලක් නොදත් වියත් මගේ හැතිකරය වටකරගෙන රටට කෙළවීමේ පාපය නිසා අද ගෝඨාභය රාජපක්ෂ ජනතාවගේ කෝපාග්නියට භාජන වී ඇති ප්‍රමාණය අපායේ යම පල්ලන් විසින් දල්වනු ලබන අග්නිය තරමටම සමානය. ඒ නිසා මේ ආණ්ඩුව ජනාධිපතිත් සමගම වහාම ඉල්ලා අස්වී භාරකාර රජයකට ඉඩ සලසා ඇඳිවත සහ පණ බේරාගෙන ගෙදර යා යුතු බව අපගේ අවංක අදහස ය.

advertistmentadvertistment
advertistmentadvertistment