වෙනස…

1511

සාකච්ඡා කළ යුතු ඉතා වැදගත් කාරණා දෙකක් අප ඉදිරිපිට තිබේ. ඉන් පළමුවැන්න නම් විදුලිබල මණ්ඩලයේ සභාපති ෆර්ඩිනැන්ඩු විසින් කෝප් කමිටුව ඉදිරියේදී කරන ලද ප්‍රකාශයයි. මේ ප්‍රකාශයෙන් කියැවෙන්නේ මන්නාරමේ සුළං බලාගාරය ඉදිකිරීම ගෞතම් අදානි නමැති ඉන්දියානු ව්‍යාපාරිකයාට දෙන ලෙස ඉන්දියන් අගමැති නරේන්ද්‍ර මෝදි විසින් ජනාධිපති ගෝඨාභයට බල කළ බවය. දෙවැන්න නම් සමගි ජනබලවේගයේ හර්ෂ ද සිල්වා විසින් කළ ප්‍රකාශයකි. ශ්‍රී ලංකාවට විදේශ ආධාර ලබාගැනීම පිණිස විශේෂ දූතයෙක් පත්කර තිබේ. ඔහු මාලදිවයිනේ හිටපු ජනාධිපති සහ වර්තමාන කථානායක මොහොමඩ් නෂීඩ් ය. නෂීඩ් විසින් රටවල් කිහිපයකින් ශ්‍රී ලංකාවට උදව් ඉල්ලන ලද බවත් එම රාජ්‍ය නායකයන් සියලුම දෙනා එය ප්‍රතික්‍ෂේප කරන ලදැයි නෂීඩ් තමාට කී බවත් හර්ෂ ද සිල්වා රූපවාහිනී නාලිකාවකට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය. හර්ෂ ද සිල්වා තමන් සමග කතා නොකළ බවත් ඔහුගේ ප්‍රකාශය සම්පූර්ණ බොරුවක් බවත් මොහොමඩ් නෂීඩ් මේ වනවිට පවසා තිබේ. ඔහුගේ අදහස වන්නේ ශ්‍රී ලංකාවට උදව් කිරීම පිණිස රටවල් ගණනාවක් ම සූදානමින් සිටින බවය. ජනාධිපති ගෝඨාභය, අදානි සහ අගමැති මෝදි පිළිබඳ සිද්ධිය මෙහිදී සාකච්ඡා කරනු ලැබේ. කෝප් කමිටුව ඉදිරියේදී තමා එවැනි ප්‍රකාශයක් කළේ අධික පීඩනය නිසා බව පසුව සඳහන් කළ විදුලිබල සභාපති ෆර්ඩිනැන්ඩු තනතුරින් ද ඉල්ලා අස්විය. ඒ නිසා ඒ කතාවේ කිසියම් අවසානයක් තිබේ. දැන් අප කතා කරන්නට යන්නේ හර්ෂ ද සිල්වා සහ මොහොමඩ් නෂීඩ් අතර ඇති වූයේ යැයි කියන අවසන් නොවූ සිද්ධිය පිළිබඳව ය.

 ශ්‍රී ලංකාව ස්වකීය ආර්ථික ඉතිහාසයේ දරුණුම තැනට එළැඹී සිටී. රට සහ ජනතාව පමණක් මේ මොහොතේදී ඉතිරිව තිබෙන අතර වෙනත් කිසිවක් ඉතිරිව නැත. පළමුවෙන්ම ජනතාවගේ එදිනෙදා යැපීමට අවශ්‍ය පාරිභෝගික භාණ්ඩ නැත. දෙවනුව පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල් නැත. තෙවනුව ලයිට් නැත. මෙහිදී ‘නැත’ යන පදයෙන් කියැවෙන්නේ ශුන්‍ය නමැති අර්ථය නොවේ. ඇතැම් පෙට්‍රල් ෂෙඩ්වල තෙල් තිබේ. එහෙත් ජනතාවට එම තෙල් සුලබ ලෙස ලබාගැනීමට නොහැක. එක්සත් ජාතීන්ගේ නිර්ණායකයන්ට අනුව කිසියම් දෙයක් සුලභ ලෙස ලබාගැනීමට ජනතාවට හැකියාවක් නැත්නම් එහි අර්ථය ‘නැත’ යන්නය. හාල්, සීනි, කිරිපිටි ඇතුළු පාරිභෝගික ද්‍රව්‍ය ඉතා සුළු වශයෙන් තැන තැන තිබේ. එහෙත් ඒවා සුලභ ලෙස ලබාගැනීමට නොහැක. එයින් හැඟෙන්නේ ඒවා ශුන්‍ය බව නොව නැති බවය. කිසියම් රටක භාණ්ඩ සැපයුම ‘නැත’ යන තැනට පත්වීම ඉතා නරක තත්ත්වයකි. පෙට්‍රල් පෝලිම් බිහිවන්නේ මේ නිසාය. ගෑස් පෝලිම් බිහිවන්නේ මේ නිසාය. මේ තත්ත්වය තුළ ජනතාව ඉතා බරපතළ ලෙස අසහනයට පත්වේ. ජනතා අසහනය යනු අරගලයේ මූලාරම්භයයි. මෙහිදී අප අරගලය යනුවෙන් හඳුන්වන්නේ කොළඹ ගාලු මුවදොර පිට්ටනියේ දැනට තිබෙන දියාරු අරගල කෝලම නොවේ. අරගලයක් නිසි ලෙස ක්‍රියාත්මක වූවිට සහ අරගලකරුවන් ඉල්ලා සිටින දෙයට උත්තර බැඳීමට හෝ එම ඉල්ලන දේවල් ලබාදීමට ආණ්ඩුවකට නොහැකි වූ විට එතැන් සිට සිවිල් යුද්ධයක් පටන්ගනී. සාමාන්‍යයෙන් වැඩි දෙනකුගේ කල්පනාව වන්නේ සිවිල් යුද්ධයක් යනු තුවක්කු, රොකට් වෙඩි, ආර්. පී. ජී., අත්බෝම්බ සහිතව පාරට බහින ජනයා දේපළ විනාශ කරමින් ආණ්ඩුවේ හමුදාවලට වෙඩි තැබීම බවය. ඒ සම්පූර්ණයෙන්ම බොරු මතයකි. සිවිල් යුද්ධයකට ආයුධ අවශ්‍ය නැත. එහිදී සිදුවන්නේ ජනයා නිරන්තරව රටේ ආරක්‍ෂක අංශ සමග ගැටීම ය. මේ ඝට්ටනය සඳහා ජනතාව සතුව තිබෙන එකම ආයුධය මඤ්ඤොක්කා දණ්ඩක් විය හැක. නැත්නම් පොල්පිත්තක් විය හැක. ශ්‍රී ලංකාවේ අර්බුදය තවමත් මේ තත්ත්වයට පත්වී නොතිබීම වාසනාවකි. මේ තිබෙන කරදර මදිවට මිනිසුන් පාරවල් දිගේ ගහමරා ගන්නට ගියොත් විශාල විනාශයක් සිදුවේ. දැනට පෙනී යන පරිදි මේ මොහොතේ පවතින අර්බුදය වෙනුවෙන් කිසිවක් කිරීමට ආණ්ඩුවට හැකියාව නැත. ආණ්ඩුවට සිදුව ඇත්තේ ගෑස් නැවක් හෝ තෙල් නැවක් වරායට එනතුරු බලා සිටීම ය. ඊට පසු එම නැවට මුදල් ගෙවීම සඳහා ලෝකය පුරා දිවීමට ආණ්ඩුවට සිදුවෙයි. මේ වරද කොතැනින් පටන්ගත්තේ ද යන්න තවමත් හරියටම පැහැදිලි නැත. සමහර විට මෙහි ආරම්භය 1977 ජේ. ආර්. ජයවර්ධනගේ විවෘත ආර්ථිකය වීමට පුළුවන. නොඑසේ නම් යුද ජයග්‍රහණයෙන් පසු රාජපක්‍ෂවරුන් පටන්ගත් ආචීර්ණකල්පික රාජ්‍ය පාලන ක්‍රමය විය යුතුය. මේ තත්ත්වයට දායක වූ කාරණා කීපයක් තිබේ. ඉන් පළමුවැන්න 30 අවුරුදු යුද්ධය විය හැක. දෙවැන්න කොවිඩ් 19 විය හැක. එසේම දූෂණය, හොරකම, වංචාව, කොමිස් ගැහිල්ල වැනි කාරණා මේ තත්ත්වය නඩත්තු කිරීමට දායක වී ඇත. ඒ නිසා මේ අවුල ලිහීම ලේසි වන්නේ නැත. වහාම වගා ව්‍යාපාර පටන්ගන්නා ලෙස ආණ්ඩුව ජනතාවට කීවේය. එහෙත් වගාවට රසායනික පොහොර නැත. කොළඹ ප්‍රදේශයේ පර්චස් 5 ඉඩම් සම්පූර්ණයෙන්ම වැසී යන ලෙසින් ගෙවල් ඉදිකර තිබේ. ඒ නිසා මල් පෝච්චියක් හැර අන් යමක් තබාගැනීමට ඉඩ නැත. රටේ තිබෙන සියලුම මුඩු ඉඩම් අත්පත් කරගෙන යුද හමුදාව, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව හරහා වහා ඵල ලබාගත හැකි එළවළු වර්ග වගා කිරීමට රජයට හැකි නම් එමගින් කිසියම් ප්‍රතිඵලයක් ලබාගත හැක.

 අපි නැවතත් හර්ෂ ද සිල්වාගේ ප්‍රකාශය දෙසට හැරෙමු. ශ්‍රී ලංකාවට ආධාර දීමට කිසිම රටක් සූදානම් නැති බව ඇත්ත වීමට පුළුවන. අපට ආධාර කිරීමට සිටින රටවල් කීපය දැනටමත් අප සමග අර්බුද ගොඩනගාගෙන තිබේ. එබැවින් ආධාර බලාපොරොත්තු වීමට නොහැක. එහෙත් අර්ථ ශාස්ත්‍රය ගැන පෘථුල දැනීමක් ඇති (අපි එසේ විශ්වාස කරමු.) හර්ෂ ද සිල්වා වැනි දේශපාලනඥයකු කිසිදු රටක් අපට ආධාර දීමට සූදානම් නැති බව ප්‍රසිද්ධියේ පැවසීමෙන් රටේ ජනතාවගේ ජන මනස කඩාවැටේ. මෙය විශාල පාපයකි. කෑම බීම නැතිව අනාගතය ගැන හැඟීමක් නැතිව, අතේ සතේ නැතිව සිටින ජනතාවක් තවදුරටත් පෑගීමට කිසියම් දේශපාලනඥයෙක් කල්පනා කරන්නේ නම් ඔහු කාලකණ්ණියකු බව කිව යුතුය. (හර්ෂ ද සිල්වා එසේ කල්පනා කරන දේශපාලනඥයකු නොවන බව අපගේ විශ්වාසයයි. එබැවින් ඔහු කාලකණ්ණියකු නොවේ.) අපේ රටේ දේශපාලනඥයෝ ඉතාම ලාභ දේශපාලන වාසි ලබාගැනීමටත් ඉදිරියේදී අගමැති, ජනාධිපති හෝ මුදල් ඇමැතිවීමට වේදිකාව සකස් කර ගැනීමටත් අතට අසුවන ඕනෑම පල් බොරුවක් පණ පිහිටුවා ප්‍රචාරය කරති. මේ තත්ත්වය දිගටම තිබුණොත් ලංකාවක් ඉතිරිවන්නේ නැත.

advertistmentadvertistment
advertistmentadvertistment