FIFA 2022 – මේක් අප් ඩිරෙක්ටර් – කික් බොක්සර් කෙනෙක්

131

මිසිස් ශ්‍රී ලංකා කිරුළ දිනූ ලක්ෂානි
පොළොවේ පය ගහලා ජීවත් වෙන ගැහැණියක්

ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින තේරීම් තරගාවලිය පසුගියදා කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙම තරගාවලියේ ජාතික සංවිධායක ලෙස කටයුතු කරනු ලැබුවේ චන්දිමාල් ජයසිංහය. මෙම තරගාවලියට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූයේ 2020 වසරේ ලෝක විවාහක රූ රැජින වූ ඉන්දියාවේ සාරිගම් කෞෂාල් සහ සුජීවා නෙල්සන්ය. මිසිස් ශ්‍රී ලංකා තරගයේ ජාතික පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබුවේ රුක්මාල් සේනානායකය. අවසන් මහා තරගයේදී 2023 වසරේ ශ්‍රී ලංකා විවාහක රූ රැජින ලෙස කිරුළ පැළඳියේ ලක්ෂානි අබේසිංහය. ඇත්තටම කවුද මේ ලක්ෂානි අබේසිංහ. මෙයා මොනවද කරන්නේ. ඇයි මෙහෙට මේ කිරුල ලබාදුන්නේ. මේ දවස්වල මේ ගැන විවිධ කතා මුහුණු පොතේ වගේම විවිධ වෙබ් අඩවිවල යූටියුබ් නාලිකාවල පළ වෙනවා. ඒවාට උත්තර දෙන්න වගේම ඒ කතාවල ඇත්ත නැත්ත දැනගන්න හිතාගෙනම ලක්ෂානි අබේසිංහට “මීවිත” ආරාධනාවක් කළා. අපේ ආරාධනාව පිළිගැනීමෙන් පස්සේ ලක්ෂානිගේ කතාව මේ විදිහට පෙළගැස්සෙව්වා.

FIFA 2022 - මේක් අප් ඩිරෙක්ටර් - කික් බොක්සර් කෙනෙක්

කවුද මේ ලක්ෂානි අබේසිංහ?

මම දැනට වත්තල, මාබෝලේ තමයි පදිංචිය. මුලින්ම ශ්‍රී ලංකන් එයාර් ලයින් සමාගමේ ගුවන් සේවාවක් විදිහයට සේවය කළා. ඊට පස්සේ උසස් අධ්‍යාපනය හදාරලා ගුවන් සේවිකාවගේ රැකියාවෙන් ඉවත් වෙලා ඉංග්‍රීසි භාෂා ගුරුවරියක් විදිහට කටයුතු කළා. අන්තිමේ ගුරු උපදේශිකාවක් විදිහට රැකියාවක් කළා. තව මම ඉංග්‍රීසි භාෂා කථන පුහුණු පාසලක් පවා පවත්වාගෙන ගියා. ඇත්තටම කිව්වොත් රැකියාවන් ගණනාවක් සිදු කළා.

FIFA 2022 - මේක් අප් ඩිරෙක්ටර් - කික් බොක්සර් කෙනෙක්

● එතකොට ඔබ කටාර් රාජ්‍යයට ගියේ?

මම විවාහ වෙලා තමයි කටාර් රාජ්‍යයට ගියේ. එහෙදී කටාර් සමාගමේ ගුවන් සේවිකා පුහුණුකාරියක් විදිහටත් රැකියාවක් සිදු කළා. 2015 වසරේ තමයි මට දුවව හම්බ වුණේ. අන්තිමේ මම ගෙදර ඉන්නකොට රූපලාවන්‍ය විශේෂ පාඨමාලාව හැදෑරුවා. මම කටාර් රාජ්‍යයේ ඉතා කෙටි කාලයක් තුළ වේශ නිරූපණ ශිල්පිනි අධ්‍යක්ෂවරියක් බවට පත් වෙනවා. එතකොට FIFA එකේ සම්පූර්ණයෙන්ම වේශ නිරූපණ අධ්‍යක්ෂවරිය විදිහට කටයුතු කළේ මම. ඒ 2022 වසරේ සමාරම්භක සහ අවසාන මහා උළෙලදී FIFA එකේ සින්දු හයක වේශ නිරූපණ අධ්‍යක්ෂවරිය විදිහට කටයුතු කළොත් මම.

● එතකොට ඔබට ජාත්‍යන්තර තරු පවා හමුවෙන්න ඇතිනේ?

සෝගම් කපුර්, නෝරා පටේ, මතාලි බෙන්චිකා, ඔටීඩෝ, මෝගන් ෆ්‍රීමන්, ඊඩි්‍රස් එල්වේ, බිල් ගේට්ස් වැනි දැවැන්ත චරිතවල වේශ නිරූපණ අධ්‍යක්ෂවරිය විදිහට මේ FIFA 2022 තරගාවලියේ කටයුතු කළා. මේක වෙනමම ටයිටල් එකක්. ලංකාවේ එහෙම ටයිටල් එකක් නැහැ. ඔය අතරේ මම චිත්‍රපටවලත් වැඩ කරලා තිබෙනවා.

FIFA 2022 - මේක් අප් ඩිරෙක්ටර් - කික් බොක්සර් කෙනෙක්

● එතකොට ඔබේ වෘත්තීය වේශ නිරූපණයද?

ඔව්. මම වේශ නිරූපණ අධ්‍යක්ෂවරියක් වගේම පුහුණුකාරිණියක්. ඔය අතරේ රූපවාහිනි නිවේදිකාවක් විදිහටත් කටයුතු කරනවා.

● ලංකාවේ පදිංචියට ඇවිත් කොච්චර කාලයක් වෙනවාද?

දැන් මම ලංකාවට ඇවිත් මාස හතරක් වෙනවා.

● විවාහක රූ රැජින තරගාවලියට ඉදිරිපත් වුණේ කොහොමද?

ධරණි පුවත්පතේ on line Edition එකේ මගේ FIFA 2022 කාර්යභාරය ගැන සාකච්ඡාවක් පැවැත්වුණා. එතැනදී හමුවුණ මහර්යා හරහා තමයි මට මේ තරගයට සහභාගි වෙන්න අවස්ථාව උදා වුණේ. පළමු බන්ච් එකේදීම මාව කැපිලා පෙනෙන චරිතයක් වුණා.

● ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින වීම ගැන මොකද හිතෙන්නේ?

මේක මම කවදාවත් හිතපු නැති දෙයක්. මම නිහතමානීව ඒ ගැන ආඩම්බර වෙනවා. ලොකු ටයිටල් ප්‍රසිද්ධිය කියන දේවල් මම ලොකුවට ඔළුවට ගන්නේ නැති කෙනෙක්. කටාර්වල ඉන්න කොටත් මාව කවුරුවත් ලොකුවට දන්නෙත් නැත්තේ ඒකයි. ලංකාවෙත් මාව කවුරුවත් ලොකුවට දන්නෙත් නැත්තේ ඒකයි. ලංකාවෙන් මාව කවුරුවත් එහෙම දන්නේ නැත්තේ මම මෙහෙම කෙනෙක් කියලා කාටවත් කියන්න යන්නේ නැහැනේ. අනික මම පොළොවේ පයගහලා ජීවත් වන ගැහැණියක්.

● විවාහක රූ රැජින වුණාට ලක්ෂානි ළඟ ලොකු සීන් නැහැ?

අපොයි නැහැ. තව ඉස්සරහට ඔය ගොල්ලොන්ට මාව කවුද කියලා තේරෙයි. මේ තරගය පුරාවටත් කට්ටියට තේරිච්ච එක තමයි ඒක මම කවුද කියලවත් කවුරුවත් හරියට දකින්නේ නැහැ. මොකද මම එහෙම ලොකුවට කියාපාන්නේ නැහැ.

● ඔටුන්න හිසට පළඳවන විට මොනවද හැඟුනේ?

මට ඒක වචනයෙන් කියන්න තේරෙන්නේ නැහැ. ඒ තරම් ලොකු සතුටක් දැනුනා. මාස එකහමාරක් වගේ පොඩි කාලයක් තුළ අපිට ගොඩාක් මහන්සි වෙන්න සිද්ධ වුණා. ඒ මහන්සියේ ප්‍රතිඵලය කියලා මට ඒ වෙලාවේ තේරුණා. අනෙක් තරගකාරියන් වගේම මමත් ගොඩක් මහන්සි වුණා. මමත් අනෙක් තරගකාරියන් වගේ ගොඩක් පුහුණු වෙලා ලොකු සටනක් දීලයි කිරුළ දිනා ගත්තේ. චන්දිමාල් ජයසිංහ, රුක්මාල් සේනානායක, දිනේෂ් බස්නායකගේ සහයෝගය මට උපරිමයෙන් ලැබුණා.

● තරගයට ඉදිරිපත් වෙන කොට බර කොච්චර තිබුණාද?

මට මතක නම් නැහැ. හැබැයි මම බර පොඩ්ඩක් අඩු කර ගත්තා. අනික චන්දිමාල් සර් අපිව හොඳට බලා ගත්තා. මම කික්බොක්සර් කෙනෙක්. 2021 වසරේ මේ හිටියට වඩා කිලෝ 15 ක්, 12 ක් අඩුවෙන් ෆුල් ෆිට් එකේ හිටියේ. ගිය වසරේ මගේ කාර්යබහුලත්වයත් එක්ක මට මා ගැන හිතන්නවත් බැරි වුණා.

● ජයග්‍රහණය ගැන දුව මොනවද කිව්වේ?

දුවගේ වයස අවුරුදු අටයි දුව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබනවා. මගේ දුව හැමදාම කිව්වේ මගේ මිසිස් ශ්‍රී ලංකා මගේ අම්මා කියලයි. එයා ඒ වෙලාවේ වේදිකාවට දුවගෙන ඇවිත් කෑගහලා ඇඬුවා.

● එතකොට සැමියා මොනවද කිව්වේ?

එයා හරි ආසයි ලබන ජනවාරි මාසයේ තමයි එයා ලංකාවට එන්නේ.

● කිරුළ පළඳවන කොට සැමියා ලංකාවේ හිටියේ නැහැ?

ඔව් මහත්තයා ලංකාවේ හිටියේ නැහැ. පැජන්ට් එක ඉවර වුණ ගමන් එයාට කතා කළා. ඒ වෙලාවේ එයා මට සුබපැතුවා. ඉතින් එයාට ළඟ ඉන්න බැරි වුණ එක ගැන දුකයි. ලබන ජනවාරි ලංකාවට එනවා.

● මහත්තයාගේ රැකියාව මොකක්ද?

එයත් කටාර් රාජ්‍යයේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ රැකියාවක් කරන්නේ.

● මහත්තයා මේ තරගාවලියට සහභාගි වෙනවාට විරුද්ධ වුණේ නැතිද?

එයා විරුද්ධ වුණේ නැහැ. හරි විවෘත චරිතයක්. මගේ ජීවිතයේ මම කැමැති තීරණ ගන්න එයා ඉඩ දීලයි තියෙන්නේ. මම කවුද කියලා එයත් දන්නවා, මමත් දන්නවා. මගේ ජීවිතයට කිසිම බලපෑමක් තහංචියක් දමලා නැහැ. මම කරන්නේ හරි දේවල් කියලා එයා වගේම පවුලේ අයත් දන්නවා.

● ලෝක විවාහක රූ රැජින තරගයට සහභාගි වෙන්න මොන වගේ සූදානමක් ද තියෙන්නේ?

පළමුවැනිම දේ මම මගේ ඇඟ අඩු කර ගන්න මාස තුනක කාලයක් දීලා තියෙනවා. ඊට පසුව මම තරගයට පුළුල් සූදානමක් ඇති කර ගන්නවා.

● අවසන් මහා තරගයේදී කකුලේ ආබාධයකට පවා ලක් වුණා නේද?

ඔව්. ඔව්… ලොකු අනතුරකට ලක් වුණා. වේදිකාවේ තිබුණ වයර් වගයක් මගේ හීල් එකේ පැටලිලා දෙසැරයක් වැටුණා. ඒ වෙලාවේ මගේ දකුණු කකුලයි දකුණු අතයි හම ගියා. වම් කකුලේ විලුඹ ළඟ ලොකු තුවාලයක් ඇති වුණා. රුක්මාල් සර් මාව මෝටිවේට් කළා. ඒ වේදනාවන් දරාගෙනයි මම වේදිකාවට ඇවිත් හිනා වෙලා හිටියේ.

● රූ රැජින තරගාවලියෙන් පස්සේ ගියේ රෝහලටද?

ඔව්. රෝහලකට ගිහිල්ලා ප්‍රතිකාර ගත්තා. ඒ වෙනකොටත් මට ඇවිදින්න පවා අමාරුයි. තවම මම බැන්ඩේජ් කරලයි තියෙන්නේ. ඊට පසුවදා උදේ පාන්දර තමයි ගෙදර ගියේ. මම පොඩ්ඩක්වත් අමාරුවෙන් ඉන්නවා කියලා තේරුණේ නැහැ කියලා. මගේ කකුල ඒ තරමට ඉදිමිලා තිබුණා.

● මේ තරගාවලියේ බිකිණි ෂූට් එක ලොකු ආකර්ශනයකට ලක්වුණා නේද?

මෙහෙමනේ. අපිට තියෙන්නේ පොඩි ජීවිත කාලයක්. ඒ ජීවිත කාලයේදී අපි බුම්මගෙන මිනිසුන් එක්ක තරහා මරහා තියාගෙන සීමාවක් දාගෙන ඉඳලා වැඩක් නැහැ.

මම හැමදාම කොහේ ගියත් හැමෝත් එක්කම හිනා වෙලා කතාබහ කරලා සැහැල්ලුවෙන් ජීවත් වෙන චරිතයක්. ඉතින් වේදිකාවට ආවයි කියලා වෙනසක් නැහැ. කැමරාව පිටුපස වගේම කැමරාව ඉදිරියේදීත් මම එක චරිතයක්. මගේ ස්වභාවික පෞර්ෂය පෙනුන හින්දා සමහර විට ආකර්ශනයක් තියෙනවා කියලා යමෙකුට හිතෙන්න ඇති. දෙයක් මවාපාන්න ගියොත් ඒක බොරුවක් කියලා තේරිලා ලස්සනක් කියලා දෙයක් පෙනෙන්නේ නැහැ. ඇත්තම ස්වභාවය ලෝකයට පෙන්වද්දි ඒක ආකර්ශනය වෙන්න ඇති කියලයි මට හිතෙන්නේ.

● ජයග්‍රහණයෙන් පසුව ලැබුණ ප්‍රතිචාර?

මගේ මුහුණු පොතේ ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් වගේම කමෙන්ට්වලින් පිරිලා. ගොඩක් තැන්වලින් දුරකථන ඇමතුම් ආවා.

● සමහරු කියනවා නේද වයසක, කැත කෙනකුට මේ කිරුළ දීලා කියලත්?

ඔව්.. ඔව්.. අනේ කමක් නැහැ. ඒක සාපේක්ෂයි විනිශ්චය මණ්ඩලය තීරණය කරන්නේ පොදුවේ තීරණයනේ. මට වඩා ලස්සන කට්ටිය ඕනෑ තරම් හිටියා. මම කිසිම චකිතයක් දක්වන්නේ නැති චරිතයක්.

● මේ මඩ ගැසීම්වලට දුකක් නැතිද?

නැහැ. නැහැ. මට ඒවා දැක්කහම හිනා යනවා. මගේ පළමුවෙනි බෝධි පූජාව තිබුණ අවස්ථාවේ මිනිස්සු හිනා වෙලා තිබුණා මගේ කොණ්ඩයට. අනේ ඉතියෝපියාවෙන් පැනලා ආපු එකෙක් වගේ කියලත් තිබුණා. මම ඒ වගේ දේවල්වලින් වැටෙන්නේ නැහැ.

ලෝක විවාහක රූ රැජිනත් ඇවිල්ලයි මාව තේරුවේ. ඉතින් ඒ ගොල්ලන්ට මා ගැන මොකක් හරි විශේෂත්වයක් පෙනෙන්න ඇති. මනසින් මාව කට්ටිය වට්ටන්න හදනවා. නමුත් මම වැටෙන්නේ නැහැ. ඕක ඉතින් ලංකාවේ මිනිස්සු සුළු පිරිසක් කරන දෙයක්. මට මාව විශ්වාසයි මේ තියෙන තත්ත්වයේ ගිහිල්ලා හරි මට අවසන් 06 දෙනා අතරට වුණත් එන්න පුළුවන් වේවි. මම වෙනුවෙන් චන්දිමාල් සර් වගේම රුක්මාල් සර් කැපවෙන්න සූදානම්. මට ලොකු වුවමනාවක් තියෙනවා මේක දිනාගන්න.

දිනේෂ් විතාන
ඡායාරූප – ඉරේෂ් ජයංග ඩයස්
පසුතලය – Hola 350 Restaurant

advertistmentadvertistment
advertistmentadvertistment