කතන්දරවලින් මාව වට්ටන්න බැහැ – ත්‍රිකලා ධරණී

102

Trans Gender ෂෝ එක ගැන පොඩි බයක් තිබුණා

නිරූපණ ක්‍ෂේත්‍රයේ පෙරළිකාර වෙනසක් ඇති කළ ත්‍රිකලා ධරණී අද වන විට ජාත්‍යන්තරයත් ජයගෙන හමාරයි. පසුගිය දිනෙක ඇයගේ නිරූපණ පාසලේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත් වුණා. මේ ගැනත් සමාජයේ කතාබහක් ඇති වුණේ එහි ඇති විශේෂත්වය නිසයි. මේ නිසාම මීවිත ත්‍රිකලා සමග කතාබහකට මුලපිරුවා.

● ඔබේ නිරූපණ පාසලේ උපාධි ප්‍රදානෝත්සවය පැවැත් වුණා?

අපේ පාසලේ නිරූපණ සහ පෞරුෂත්ව වර්ධන සහතිකපත් පාඨමාලාව අවසානයේ ඔවුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ දැවැන්තම ෆැෂන් ෂෝ එකෙන් මීට ටික දිනකට කලින් ඔවුන් කරළියට ආවා. එහි සමහර අවස්ථා ගැන මේ වන විට රටම කතා වෙනවා. විශේෂයෙන්ම කියන්න ඕන, මේ අවස්ථාව මගින් දරුවන්ගේ ජීවිත බොහෝ සෙයින් වෙනස් වුණා. එතනින් එළියට යන්නත් කලින් රංගනයට පවා ආරාධනා ලැබුණා.

කතන්දරවලින් මාව වට්ටන්න බැහැ - ත්‍රිකලා ධරණී

● මෙහිදී ලිංගික සංක්‍රාන්ති අයටත් අවස්ථාවක් ලබා දුන්නා?

ඔව්, මෙවර ට්‍රාන්ස් ජෙන්ඩර් කැටගරි එක යටතේ දරුවෝ තුන්දෙනෙක් තරඟ වැදුනා. ඔවුන්ගෙන් එක්කෙනෙක් ටොප් 50 දෙනා අතරට තේරී පත්වී තිබෙනවා. තවත් එක්කෙනෙක් බෙස්ට් ෆොටෝග්‍රැපි මොඩ්ල් කියන ටයිට්ල් එක හිමිකර ගත්තා. ඇයට මේ හරහා ෆොටෝ ෂූට් කිහිපයකටම ආරාධනා ලැබිල තියෙනව. ඔවුන්ටත් කිසිම වෙනසක් නැතිව අපේ පාසලේ ඉගෙනගන්න පුළුවන්. අපි හැමෝටම හීන තියෙනව. ඒ හීනවලට ස්ත්‍රීද, පුරුෂද, සමරිසිද, ලිංගික සංක්‍රාන්ති අයද කියන දේ වැදගත් වෙනව කියල මම හිතන්නෙ නැහැ. ඒ නිසා ඔවුන් සියලු දෙනාට එක හා සමානවම සියලු දේ ලබා දෙනවා.

කතන්දරවලින් මාව වට්ටන්න බැහැ - ත්‍රිකලා ධරණී

● මෙවැනි වැඩක් කරද්දි සමාජයෙන් විවේචන එන්න පුළුවන්?

ඔව්, ඒ ගැන පොඩි බයක් දැනුණා. මොකද අපි දන්නව ඕනෑම ක්‍ෂේත්‍රයක වෙනසක් කරනකොට හොඳ කියනවාට වඩා ඒ වෙනස දරාගන්න ගොඩක් අයට අමාරුයි. මේ පැජන්ට් එක සංවිධානය කරද්දි මම දැනගත්තා, ගොඩක් අය බනීවි, මඩ ගහයි කියල.

ලිංගික සංක්‍රාන්තිකයන්ට ඉස්සර ලංකාවේ ලොකු පිළිගැනීමක් තිබුණෙ නැහැ. නමුත් නිරූපණ ක්‍ෂේත්‍රය හරහා මේ වන විට ඔවුන්ට ලොකු පිළිගැනීමක් ලැබිල තියෙනව. ඇත්තටම දරුවන් ඔවුන්ගේ හීන ජයගන්නවා දකිනකොට කලින් ඇති වුණ බය මගහැරිල ගියා.

● බලාපොරොත්තු වුණ සාර්ථකත්වය ලැබුවද?

ඇත්තටම මෙවර මම හිතුවාටත් වඩා අතිසාර්ථකව අපේ ෆැෂන් ෂෝ එකේ කටයුතු අවසන් වුණා. එහි එක වීඩියෝ එකක් දවස් දෙකක් යනකොට නැරඹුම් වාර මිලියනය පසුකරල තියෙනව. තවත් එකක් ලක්‍ෂ 8ක් බලල තියෙනව.

● නව පාඨමාලාවේ වෙනස්කම් මොනවාද?

නව පාඨමාලාව වෙනස්ම විදිහකට සැළසුම් කරල තියෙන්නෙ. පෞරුෂත්ව වර්ධනය සම්බන්ධයෙන් මෙවර අලුත් දෙයක් එකතු කරන්න හිතුවා. අපි දන්නව ඉංග්‍රීසි භාෂාවෙන් ගනුදෙනු කරද්දි ගොඩක් ළමයි හිරවෙනව. ඒ නිසා මෙවර Spoken English Session එකකුත් අපේ පාඨමාලාවට ඇතුළත් කරලා වෙනස්ම දෙයක් කරන්නයි බලාපොරොත්තු වෙන්නෙ.

2024 ජනවාරි මාසයේ 26 වැනිදා කුරුණෑගල YMBA ශාලාවේදි සවස 3.00 ට මේ පාඨමාලාව ආරම්භ වෙනවා. ඒ වගේම 27 වැනිදා සවස 3.00 ට මාතරදීත්, 28 වැනිදා උදෑසන 10.00ට නුගේගොඩදීත් නව පාඨමාලා සඳහා බඳවාගැනීම් සිදුකරනවා.

● කවුද ඔබට ශක්තියක් වෙන්නෙ?

මේ සියලු දේ සඳහා මට තිබෙන එකම ශක්තිය තමයි මගේ මහත්තයා ඉනෝක පෙරේරා. හැම මොහොතෙම මට වැටෙන්න නොදී අල්ලගෙන ඉන්නෙ ඔහු. මේ සාර්ථකත්වයේ රහස ඒ ශක්තියයි.

● ඔබ අනුග්‍රාහකයන් බලාපොරොත්තු වෙන්නේ නැහැ?

ඔව් ඒක හරිම අමාරු දෙයක්. ලොකු වියදමක් දරන්න ඕනෑ. අනුග්‍රාහකයන් සම්බන්ධකරගත්තාම ඒ ණය ගෙවන්න වෙන්නෙ දරුවන්ට. මම කැමති නැහැ මගේ දරුවන් නාස්ති කරන්න. ඒ නිසා කිසිම අනුග්‍රාහකයෙක් නැතිව පවත්වන එකම ෆැෂන් ෂෝ එක මේක.

● ත්‍රිකලාටත් සමාජමාධ්‍යයේ මඩ ගහනව?

සමාජමාධ්‍යවල මඩගැසීම් කාටද නැත්තෙ. රටේ ජනාධිපතිටත් මඩගහනකොට මම කවුද. අපි බලන්න ඕන එක්කෙනෙක් නිසා ජීවිත කීයක් වෙනස් වුණාද කියන එක. හැමෝම වගේ දන්නව ලංකාවේ වැඩිම කොමර්ෂල්, ෆැෂන් ෂෝස්, බ්‍රෑන්ඩ් ෂෝස් කරන නිරූපණ ශිල්පීන්, ශිල්පිණියන් තැනුවෙ මම කියල. අද වන විට ලංකාවේ කිසිම පැජන්ට් එකක්, කිසිම ඉවෙන්ට් එකක් කරන්න බැහැ මම උගන්වපු ළමයෙක් ගන්නෙ නැතිව. කතන්දරවලින්නම් මාව වට්ටන්න බැහැ. මොකද මම වැඩ කරල පෙන්නල තියෙන්නෙ. අදටත් වැඩ කරමින් ඉන්නව.

● මෙවර නත්තල සමරන්නෙ කොහොමද?

නත්තල් කාලෙට, අවුරුදු කාලෙට මම පුංචි විවේකයක් ගන්නව. මුළු අවුරුද්දෙම දුවනව දුවනව, මහන්සි වෙනව, විවේකයක් ඇත්තෙම නැහැනෙ. මෙවර නත්තලට එංගලන්තය බලා යන්න තමයි සූදානම. නැවත ජනවාරි මාසයේ මුල එන්න තමයි හිතාගෙන ඉන්නෙ.

● ත්‍රිකලාට රඟපාන්න ආරාධනයක් නැද්ද? කැමැත්තක් නැද්ද?

මට රඟපාන්න ආසාවක් තිබුණෙ නැහැ කවදාවත්. නමුත් මීට වසර හයකට කලින් මම චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. එහි චරිතයකට දායක වුණා. ටෙලි නාට්‍යවලටත් ආරාධනා කිහිපයක් ලැබිල තියෙනව. නමුත් මම කැමැති මම දන්න දේ කරගෙන ඉදිරියට යන්න.

● ඔබේ දියණියත් නිරූපණයට කැමති වුණොත්?

අනිවාර්යයෙන්ම මම කැමතියි. අදටත් කුරූණෑගල සහ මාතර පන්තියට මමත් එක්ක ඇය එනවා. ඇයට ඒ කැමැත්ත ඇති වුණොත් මම දෙපාරක් හිතන්නෙ නැහැ. ඇයව පරිස්සම් කරන්න මම ඇය පසුපස ඉන්නව. මොකද අම්මා කෙනෙක් තමන්ගෙ දියණිය පරිස්සම් කරනව නම් ඇය මොන ක්‍ෂේත්‍රයක කටයුතු කළත් බය වෙන්න දෙයක් නැහැ.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment