ඇමෙරිකාවට බැරිවුණාට චීනෙට ඕනෑ සෙල්ලමක් ලංකාවේදී පුළුවන්?

776

වර්ධනය වෙමින් පවතින ඇමෙරිකානු – චීන ගැටුම හේතුවෙන් ඇමෙරිකාව ජාත්‍යන්තර අවධානය එවකට කෝට්ටේ රජතුමා වූ අලගක්කෝනාර හෝ අලකේශ්වර 1410—1411 දී චීන අද්මිරාල් ෂේන් හී (Zheng He) අත්අඩංගුවට ගැනීම අවධාරණය කර ඇත.

චීන අද්මිරාල්වරයා 1405-1433 අතර හය වතාවක් ශ්‍රී ලංකාවට පැමිණි බව ලෝක ඉතිහාසයේ සඳහන් වේ. ප්‍රබල නාවික හමුදා යාත්‍රා සමූහයක් සමග එතුමා ශ්‍රී ලංකාවට පළමුවරට පැමිණෙන්නේ පෘතුගීසින් මෙහි පැමිණීමට වසර 100 කට පෙරය.

ඉන්දු – පැසිෆික් (Indo -Pacific Command) ඇමෙරිකානු හමුදා නායකත්වය පළකරන Indo Pacific Defense Forum නවතම සඟරාවේ චීනය ශ්‍රී ලංකාවේ ආණ්ඩු පෙරළා දැමීම සම්බන්ධයෙන් චෝදනා කර ඇත. ඒ අද්මිරාල් ෂේන් හී අලකේශ්වර රජතුමාට එරෙහිව ගත් ක්‍රියාමාර්ගය පාදක කරගෙනය.

එම ආන්දෝලණාත්මක ලිපිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමෙරිකාව සහ චීනය අතර ඇතිවී ඇති ගැටුම වර්ධනය වෙමින් පවතින ආකාරය අපූරුවට පෙන්නුම් කරයි. වර්තමාන චීන නායකත්වය ඉන්දු – පැසිෆික් කලාපයේ ක්‍රියාත්මක කර ඇති ආක්‍රමණශීලී ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් ඇමෙරිකාව කරන චෝදනා ඔප්පු කිරීමට අලකේශ්වර පාලනය වෙනස් කිරීම, ඉන්දියාවේ දේශපාලනයට කළ මැදිහත්වීම සහ අප්‍රිකාවේ කළ මෙහෙයුම් සඳහන් කර ඇත. කෙටියෙන් කිවහොත් චීනය ආක්‍රමණිකයකු ලෙස ලෝක අවධානයට ලක් කිරීමට එම ලිපියේ අරමුණයි.

පෘතුගාලය, ඕලන්දය සහ මහා බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීම මෙන්ම ඉන්දියාව 80 දශකයේ කළ ඉතාමත් අසාධාරණ මැදිහත්වීම ඇමෙරිකාවට ප්‍රශ්නයක් නැත.

කලාපීය සහ ගෝලීය ඇමෙරිකානු – චීන බල ගැටුමේ එක භූමියක් බවට ශ්‍රී ලංකාව පත්වී ඇත. ශ්‍රී ලංකාව බංකොළොත් වී ඇති පසුබිම තුළ දේශපාලනික සහ සමාජීය ව්‍යකූලතාවය තුළ ඇමෙරිකානු – චීන ගැටුම නවතම මුහුණුවරක් ගෙන ඇත. චීන හමුදා කෝට්ටේ රාජධානියේ 1410-1411 දී කළ මැදිහත්වීම උලුප්පුවා දැක්වීම ඊට කදිම උදාහරණයකි. අත්අඩංගුවට පත්වූ අලකේශ්වර රජතුමා චීනයට රැගෙන ගිය බව සත්‍යකි. ඔහුව චීන අධිරාජ්‍යයාට ඉදිරිපත් කළ බවත් කෙටි කාලයක් තුළ නැවතත් ශ්‍රී ලංකාවට එවූ බවත් ඉතිහාසයේ සඳහන් වේ. එම සිද්ධිය වර්තමාන චීන ව්‍යාප්තිය සමඟ පටලවා ඇත.

එම ගැටුමේ එක පෙරමුණක් බවට ශ්‍රී ලංකා භූමිය පත්වී ඇත. අතිශය අර්බුදකාරී දේශපාලන – ආර්ථික -සමාජීය තත්ත්වයක් තුළ ඇමෙරිකානු – චීන ගැටුම සම්බන්ධයෙන් විමසා බැලිය යුතු වන්නේ (1) ඉතාමත් ඉහළ මට්ටමේ ඇමෙරිකානු – ඉන්දීය සම්බන්ධතාව සහ (2) චීනයට එරෙහිව පිහිටුවා ඇති ඇමෙරිකාව නායකත්වය දරන රටවල් හතරක සංවිධානයේ සාමාජිකත්වය ඉන්දියාව ගැනීමයි. එම සංවිධානයේ අනෙකුත් රටවල් වන්නේ ඇමෙරිකානු හමුදා දැනටමත් ස්ථානගතවී ඇති ජපානය සහ ඔස්ට්‍රේලියාවයි.

● ගැටුම උත්සන්න කළ හම්බන්තොට ගිවිසුම

චීන අභියෝගයට මුහුණු දීමේ මූලික පියවරක් ලෙස 2018 මැයි මාසයේදී පැසිෆික් මූලස්ථානය ඉන්දු – පැසිෆික් මූලස්ථානය ලෙස නම් කෙරිණි. ඒ ඇමෙරිකානු – චීන ගැටුමේ එක සංධිස්ථානය. චීනය හම්බන්තොට වරාය වසර 99 කට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.2 ගෙවා ලබාගත් පසුබිම තුළය. ඒ 2017 යහපාලන සමයේදීය. එම ගිවිසුම කිසිසේත් ශ්‍රී ලංකාවට හිතකර වූයේ නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් සහ චීන මූල්‍ය පහසුකම් යටතේ 2007 දී ආරම්භවූ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාගේ කාලයේ චීනයට හිමිවීම ඇත්ත වශයෙන්ම දෛවයේ සරදමකි. ඇමෙරිකානු අවධානය ශ්‍රී ලංකාවට බරපතළ ලෙස යොමු වීමට ප්‍රධානතම හේතුව වූයේ හම්බන්තොට වරාය චීන පාලනයට නතු වීමයි.

චීනය ශ්‍රී ලංකාවේ කළ ප්‍රධානතම මුදල් ආයෝජනය කොළඹ වරාය ව්‍යාපෘතියට කළේය. ඒ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවැනි ධුරයේ අවසන් කාලයේදීය. ඒ වනවිට හම්බන්තොට වරාය ව්‍යාපෘතිය අර්බුදකාරී තත්ත්වයක පැවති අතර 2015 ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකාව තුළ චීන ව්‍යාපෘති බරපතළ ලෙස ඇමෙරිකානු සහ ඉන්දියානු අවධානයට යොමු විය. එම ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ පරාජය කිරීමට ඇමෙරිකාව සහ ඉන්දියාව යම් මැදිහත්වීමක් කළ බවට චෝදනා එල්ල විය. රාජපක්ෂ ජනාධිපතිවරයා චීනයට හිතවත් ප්‍රතිපත්තියක් අනුගමණය කළ බව රහසක් නොවේ. හිටපු ඉන්දීය විදේශ ලේකම්වරයකු වන ශිවශංකර් මෙනන් 2016 දී ලිවූ ‘Choices( Inside the Making of Indian Foreign Policy’ එම සම්බන්ධතාවය ගොඩනැඟු ආකාරය සම්බන්ධයෙන් ආන්දෝලණාත්මක ප්‍රකාශයක් කර ඇත. ඉන්දියාව මෙන්ම ඇමෙරිකාවද ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය සමස්තයක් ලෙස ශිවශංකර් මෙනන් අවධානයට යොමු කර ඇති කරුණු මත ක්‍රියාත්මක බව අමුතුවෙන් කිව යුතු නැත.

● ඇමෙරිකානු මැදිහත්වීම

ඉතාමත් වේගයෙන් වර්ධනය වෙමින් පවතින දේශපාලනික – ආර්ථික – සමාජීය ව්‍යකූලත්වය සමස්ත චිත්‍රය අවධානයට ලක් කර නොගෙන තේරුම්ගත නොහැක. ජෙනරාල් සරත් ෆොන්සේකා සහ මෛත්‍රිපාල සිරිසේන පිළිවෙළින් 2010 සහ 2015 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේදී ඇමෙරිකානු සහය එම කණ්ඩායමට ලැබුණු බව රහසක් නොවේ. විකී ලීක්ස් හෙළිදරව් කළ කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් වොෂින්ටනයට යැවූ රහස්‍ය ලිපිවලට අනුව ඇමෙරිකාව සහ මිත්‍ර රටවල් විශේෂයෙන්ම 2010 දී කළ මැදිහත්වීම සම්බන්ධයෙන් සඳහන් වේ. ද්‍රවිඩ ජාතිකයන් දස දහස් ගණනාවක් මරා දැමූ බවට චෝදනා කළ යුද හමුදාවට නායකත්වය දුන් එවකට ජෙනරාල් සරත් ෆොන්සේකාට 2010 ජනාධිපතිවරණයේදී උතුරු නැගෙනහිර ද්‍රවිඩ කතා කරන ජනතාවගේ ඡන්දය ලබා දීමට මැදිහත් වූයේ ඇමෙරිකාවයි. ඒ ද්‍රවිඩ ජාතික සන්ධානයට බලපෑම් කිරීමෙනි. ඡන්ද ලක්ෂ 18 කින් ජනාධිපතිවරණය පරාජය වුවත් ද්‍රවිඩ ජනතාව ජීවත්වෙන සියලුම දිස්ත්‍රික්ක එතුමා ඉහළින්ම ජයග්‍රහණය කළේය.

ශ්‍රී ලංකාව තුළ සිදුවෙමින් පවතින විදේශීය මැදිහත් වීම් සම්බන්ධයෙන් නවතම තත්ත්වය චීනය නාවික යාත්‍රා සමූහයක් ශ්‍රී ලංකාවට වසර සිය ගණනකට පෙර පැමිණීම සම්බන්ධ කිරීම අවධාරණය කර ඇත්තේ ඇමෙරිකාව ලෝක සහ දේශීය මතයට කරන බලපෑමයි. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් චීනය අනුගමනය කළ ප්‍රතිපත්තිය මත ඇමෙරිකාව චීනයට එරෙහිව ජන මතයක් ගොඩනැඟීමට උත්සහා කරන බව පෙනේ.

ඒමේ මෙහෙයුමේ කොටසක් ලෙස අද්මිරාල් ෂේන් හී දශක ගණනාවකට පෙර මෙම කලාපයේ කළ සංචාර ආක්‍රමණික ක්‍රියා ලෙස අවධාරණය කිරීම සහ දකුණ දිග චීන මුහුදේ වර්තමාන තත්ත්වය ලෝක අවධානයට ලක් කරයි.

හම්බන්තොට වරාය චීනයට බදු දීම සම්බන්ධයෙන් එජාප – ශ්‍රීලනිප යහපාලන රජය (2015-2019) තුළ අර්බුදකාරී තත්ත්වයක් ඇතිවිය. එවකට ගුවන් සහ නාවික අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග (ශ්‍රීලනිප) හම්බන්තොට වරාය පැවරීමට විරුද්ධ විය. අදාළ ගිවිසුම ශ්‍රී ලංකාවට ඉතාමත් අවාසිදායක බව එතුමා අවධාරණය කළේය. ගිවිසුමට තමන්ට කිසිසේත් අත්සන් කළ නොහැකි බව පැවසු අර්ජුන රණතුංග එම අමාත්‍යධුරයට සමු දුන්නේය. වහාම එම අමාත්‍යධුරයට මහින්ද සමරසිංහ (ශ්‍රීලනිප/වර්තමානයේ වොෂින්ටනයේ සිටින ශ්‍රී ලංකා තානාපති පත් කළ අතර අදාළ ගිවිසුම අත්සන් කළේය. වසර 99 ගිවිසුම සදාකාලිකවම හම්බන්තොට වරාය චීනයට භාර කිරීමක් ද?

අපේ රටේ අවාසනාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ මෙන්ම ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතරද හම්බන්තොට වරාය සම්බන්ධයෙන් සම්මුතියක් ඇති කළ ගැනීමට නොහැකි විය. යහපාලන රජය තුළ ද එම ගිවිසුම සම්බන්ධයෙන් එක ස්ථාවරයක් නොවීය. අර්ජුන රණතුංග අමාත්‍යවරයාට අමතරව එවකට අධිකරණ අමාත්‍ය වූ විජයදාස රාජපක්ෂද එම ගිවිසුමට ප්‍රබල ලෙස එරෙහි විය. එහි ප්‍රතිපලයක් ලෙස එතුමාව එම අමාත්‍ය ධුරයෙන් ඉවත් කෙරිණි.

● ආන්දෝලණාත්මක ප්‍රකාශයක්

ගෝඨාභය රාජපක්ෂ 2019 නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණය ඡන්ද මිලියන 7 කට ආසන්න ගණනක් ලබා ජයග්‍රහණය කළේය. පාස්කු ප්‍රහාරය පසුබිමේ පැවැත්වූ එම ඡන්දය තීරණාත්මක විය. ජනාධිපතිවරණයෙන් සතියකට පමණ පසුව ජාත්‍යන්තර මාධ්‍යයට ගෝඨාභය රාජපක්ෂ හම්බන්තොට වරාය චීනයට බදු දීම සම්බන්ධයෙන් කළ ආන්දෝලණාත්මක ප්‍රකාශයට චීනය දැක්වූ ප්‍රතිචාරය ප්‍රශ්නයේ දිග සහ පළල අවධාරණය කළේය.

ආරක්ෂාව සහ දේශපාලන විශ්ලේෂකයකු වූ ඉන්දියානු මාධ්‍යවේදියකු වූ නිටින් ඒ ගොකාල් සමඟ කළ ප්‍රකාශය චීනයේ බලවත් නොසතුටට හේතුවිය. චීනය කෝපයට පත් වූ බවද අමුතුවෙන් කීමට අවශ්‍ය නැත. ජනාධිපතිවරයා අවධාරණය කළේ හම්බන්තොට ගිවිසුම වරදක් බවත්, එම ගිවිසුම නැවත විමසා බැලිය යුතු බවත්ය. ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කළේ ඇයි? චීනය එම යෝජනාව එකහෙළා ප්‍රතික්ෂේප කළේය. එවැනි අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා වැඩේ වරද්දා ගත්තාදැයි බොහෝ දෙනකුට සිතුන බව සක්සුදක්සේ පැහැදිලිය. චීනය හම්බන්තොට ස්ථානගතවීම ඉන්දියාවට මෙන්ම ඇමෙරිකාවට ද මහත් හිසරදයකි. ඉතාමත් වැදගත් නාවික මාර්ගයක ඇති වරායක් වසර 99 කට බදු දීම ඇමෙරිකානු – චීන ගැටුම අතරේ රතු බලවතාට දීම මෙන්ම එම ගිවිසුම අවලංගු කිරීමට කරන උත්සහය ඉතාමත් අනතුරුදායක විය හැක.

නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරයකු වූ ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවට තමන් ඉදිරිපත් කරන පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් හරහා හම්බන්තොට වරාය නැවත ශ්‍රී ලංකාවට පවරා ගැනීමට යෝජනා කළේ යහපාලන සමයේදීය. ඒ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමට පෙරය. එදා විජයදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා (ඒ වනවිට යහපාලන කැබිනට් මණ්ඩලයෙන් ඔහුව නෙරපා දමා තිබිණි) පාර්ලිමේන්තුවට කළ යෝජනාව නීතිපති දෙපාර්තමේන්තුව අභියෝගයට ලක් කළේය. මන්ත්‍රීවරයකුට එවැනි යෝජනාවක් කිරීමට අවසර නැති බව අවධාරණය කළේය. රජයේ මූල්‍ය තත්ත්වයට බලපාන එවැනි යෝජනාවක් කිරීමට අවසර ඇත්තේ අමාත්‍ය මණ්ඩලය නියෝජනය කරන පුද්ගලයකුට බව නීතිපති දෙපාර්තමේන්තුව පාර්ලිමේන්තුවට දැන්වූයේය.

● විදේශීය අත පෙවීම්

කවුරු කවුරුත් එකතු වී බංකොළොත් කළ ශ්‍රී ලංකාව විදේශීය අත පෙවීම්වලට තෝතැන්නකි. මෙහි ක්‍රියාත්මක අතිශය දූෂිත දේශපාලන ක්‍රමවේදය තුළ විදේශීය බලවේගවලට කළ නොහැක්කක් නැත. යහපාලන රජය හම්බන්තොට වරාය ශ්‍රී ලංකාවට අවාසිදායක ලෙස චීනයට වසර 99 කට පැවරූ බවට ප්‍රකාශ කළ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය දුන් කැබිනට් මණ්ඩලය යුගදනවී බලාගාරයේ කොටස් ඇමෙරිකානු සමාගමකට පැවරුවේ 2021 සැප්තැම්බර් 17 මධ්‍යම රාත්‍රියේය. එවකට සිටි ඇමෙරිකානු තානාපතිවරිය වූ එලේනා බී. ටෙප්ලිට්ස් (2018-2021) නිව් ෆෝට්‍රස් එන්ර්ජි සමාගමට යුගදනවී බලාගාරය ලබා ගැනීමට කළ බලපෑම පාර්ලිමේන්තුව තුළ එයින් පිටත කතාබහට ලක්වී ඇත. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කැබිනට් මණ්ඩලය දෙදරා යෑමට ලක්විය.

අමාත්‍යවරුන් වූ වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇමෙරිකානු සමාගම සමඟ ඇතිකරගත් බලශක්ති ගිවිසුමට එරෙහිව රටේ ඉහළම අධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම හේතු නොදක්වාම විසිවිය.

ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුවත් සමඟ වාසු – විමල් -උදය කණ්ඩායම ආණ්ඩු පක්ෂ කණ්ඩායමෙන් ඉවත් වූ අතර ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ පරිහානිය වේගවත් විය. ආර්ථිකය කඩා වැටීම තුළ එජාප නායක රනිල් වික්‍රමසිංහ රටේ එකම ගැලවුම්කරුවා ලෙස කරළියට පැමිණීම සමස්ත අර්බුදයේ නිශ්චිත ප්‍රතිපලයකි. එතුමාට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හැර වෙන පිහිටක් ශ්‍රී ලංකාවට නැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මැදිහත්වීමෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කර ඇති ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වර්තමාන ගෙවුම් ශේෂ අර්බුදයට විසඳුමක් ලෙස දැකීම වරදක් නැත.

නමුත් යෝජිත ක්‍රියාවලිය තුළ විදේශීය ආයෝජන ලබා ගන්න ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කල්පනාකාරීව කටයුතු කළ යුතුය. හම්බන්තොට වරාය සම්බන්ධයෙන් 2017 දී ඇතිකරගත් ගිවිසුම නැවත නැවතත් අවධාරණය කරන්නේ විදේශීය ආයෝජන සහ ආරක්ෂක ගිවිසුම් ප්‍රවේසමෙන් ක්‍රියාත්මක කිරීමේ ඇති අවශ්‍යතාවයයි.

බටහිර හෝ චීන කෝණයකින් ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳව බැලිය යුතු නොවේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ, රාජ්‍ය නොවන ආයතන, සිවිල් සංවිධාන සහ මාධ්‍ය ඇමෙරිකා – චීන ගැටුමේ පංගුකාරයන් වීම ඛේදවාචකයකි. පෞද්ගලික වාසි ප්‍රයෝජන තකා කුමන රටක් වෙනුවෙන්වත් පෙනී සිටීම අන්තරාකාරීය. කිසිදු විදේශීය බලවේගයක් විශේෂයෙන්ම අර්බුදකාරී තත්ත්වයක් තුළ කරන ආයෝජන, මැදිහත්වීම ගැඹුරින් අධ්‍යයනය කළ යුතුය.

ජපානය සමඟ පැවති ඉතාමත් මිත්‍රශීලී සම්බන්ධතාවය 2020 දී බරපතළ ලෙස පළුදු විය. ඒ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජපානයටත් නොදන්නවා අවලංගු කර දැමීම නිසාය. එයත් පොහොට්ටු ආණ්ඩුවේ හපන් කමකි. අදටත් ජපානය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සැකයෙන් කටයුතු කරයි. මීට වගකිවයුත්තන් අදටත් නිල වශයෙන් හෙළිදරව් කර නැත. මෙය ශ්‍රී ලංකාව අසරණ කළ එක අවස්ථාවක් පමණි. පාර්ලිමේන්තුව සමස්ත තත්ත්වය සම්බන්ධයෙන් පසු විපරමක් කළ යුතුය. මෙහිදී විශේෂයෙන්ම අවධානය යොමු කළ යුතු වන්නේ වර්තමාන අර්බුදය සම්බන්ධයෙන් විධායකයේ, ව්‍යවස්ථාදායකයේ සහ අධිකරණයේ වගකීමයි.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment