ජනතා ප්‍රතිචාරයට ලක්විජයෙන් පිළිතුරු

525

අඳුර දුරු කර, දේශයට කුළුණුබර වූ වයඹ අහසේ කුලුනු ත්‍රිත්වය

ලක්විජය බලාගාරය ලිපි අංක – 5 අවසන් ලිපිය

ලක්විජය බලාගාරය සජීවී ආකාරයෙන් නිරීක්ෂණය කරමින් සහ අදාළ බලධාරීන්ගෙන් ඍජු ලෙස ප්‍රශ්න කරමින් ‘දිවයින මාධ්‍ය’ කණ්ඩායමක් සිදු කරන ලද නිරීක්ෂණ චාරිකාවක ප්‍රතිඵලයක් ලෙස ලක්විජය බලාගාරය පිළිබඳව විවිධ පැතිකඩ ඔස්සේ ලිපි මාලාවක් පළ කළෙමු. එය ජනතා සංවාද පිටියක් බවට පත් කිරීම සඳහා එම ලිපි පෙළේ මුල පටන්ම ඔබගේ අදහස් සහ ප්‍රශ්න සඳහා ව්ට්ස්ඇප් මගින් අවස්ථාව ලබා දුන්නෙමු. එම අවස්ථාව අනුව ඔබ විසින් ‘බලශක්තියෙන් බලගැන්වූ’ ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අප වෙත ප්‍රශ්න සහ අදහස් උදහස් දන්වා තිබුණි. සහභාගිත්වයට සහ උනන්දුව වෙනුවෙන් ඒ සියලු දෙනා වෙත ස්තුති වෙමින්, ඔබගේ ප්‍රතිචාර සඳහා ශ්‍රී ලංකාවේ බලශක්ති විෂය පිළිබඳව ප්‍රවීණයන් වන ලක්විජය බලාගාරයේ ඉංජිනේරුවන් ප්‍රධාන කළමනාකරණ මණ්ඩලයේ දායකත්වයෙන් ඔබ වෙත පිළිතුරු ලබාදීමට, අප උත්සාහ දරන ලදී. මේ එම උත්සාහයේ ප්‍රතිඵලයය.

ලක්විජය බලාගාරය සහ විදුලි ජනනය පිළිබඳව විමසූ ප්‍රශ්න සහ පිළිතුරු

ප්‍රශ්නය – දිගින් දිගටම නොරොච්චෝලේ සිදුවන බ්රේක්ඩවුන් පිළිබඳව සඳහන් කර ලිපියක් දාන්න. මේ කඩාකප්පල්කාරීන් පිළිබඳව ජනතාව දැනගත යුතුයි. එවැනි මාධ්‍ය විමර්ශනයක් රටට වැදගත්.

චින්තන ප්‍රසාද් විතාන

පිළිතුරු – ඕනෑම තාක්ෂණික උපකරණයක ක්‍රියාකාරී සීමා ඇත. උපකරණය ක්‍රියාත්මකවීමේදී සිදුවන ක්ෂයවීම් (Wear & Tear) නොවැළැක්විය හැකි කරුණක් බව ඕනෑම අයෙකු දන්නා සත්‍යයකි.

බලාගාරය සංකීර්ණ යන්ත්‍රෝපකරණ විශාල ප්‍රමාණයකින් සමන්විත වේ. මෙහි ඇති එක් යන්ත්‍රයක හෝ බිඳ වැටීමක් හෝ කාලය අනුව ක්ෂයවීම මත අලුත්වැඩියාවක් සිදුවීම නොවැළැක්විය හැකි කරුණකි. නොරෝච්චෝලේ විදුලි බලාගාරයේ ඇතිවූ බිඳවැටීම් ද, කඩාකප්පල්කාරී ක්‍රියා නිසා ඇතිවූ ඒවා නොව එවැනි නොවැළැක්විය හැකි බිඳවැටුම් වේ. මෙම බිඳවැටුම් ගණන ප්‍රමාද වූ සැලසුම්ගත නඩත්තු කටයුතු නිසා වර්ධනය වූ බව පැවසිය යුතුමය. (පෙර පළවූ ලිපි මාලාවල ලිපි අංක 2 න් සහ 3න් ඒ බව විස්තර කරන ලදී). අනෙක් අතට සැලසුම්ගත නඩත්තු කටයුතුවලට බලාගාරය නැවැත්වීම ද අතැමුන් බිඳවැටුම් ලෙස අර්ථ දක්වයි.

ප්‍රශ්නය – නොරොච්චෝලේ බලාගාරය ඉදිකර ඇති අක්කර ප්‍රමාණයේ සූර්ය කෝෂ සහ සුළං බලාගාර ඉදි කළේ නම් යන වියදම කොයි තරම් ද ? එයින් වාර්ෂිකව නිපදවිය හැකි විදුලිය ප්‍රමාණය කෙතරම් ද? ඒ සඳහා ඒකකයකට වන වියදම කොපමණද? විෂය පිළිබඳව විද්වතෙකුගෙන් අසා හෝ දන්වන්න.

● නිශාරා කේ. ගුණවර්ධන

පිළිතුරු – ලක්විජය විදුලි බලාගාර පරිශ්‍රය අක්කර 275 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇත. සංසන්දනාත්මක විස්තර සැපයීම සඳහා ඉන්දියාවේ මෑතකදී ඉදි කළ විශාල සූර්ය බලාගාරවලට අදාළ දත්ත සලකා බැලීමේදී මෙගා වොට් 1ක් සඳහා දළ වශයෙන් අක්කර 6ක භූමි ප්‍රමාණයක් අවශ්‍ය වේ. එබැවින් ලක්විජය බලාගාර භූමි ප්‍රමාණයේ සූර්ය බලාගාරයක් ඉදිකළහොත් එහි ධාරිතාව මෙගා වොට් 46ක් පමණි. සූර්ය බලයෙන් විදුලිය නිපදවීමේදී මෙගා වොට් 46ක බලශක්තියක් නිපදවන්නේ දහවල් 12ට ආසන්න ඉතා සුළු මොහොතකට පමණි. තවද සූර්ය බලාගාරයක සාමාන්‍ය availability factor 16% ක් පමණි. එනම්, වාර්ෂිකව මෙගා වොට් 46 ක සූර්ය බලාගාරයකින් නිපදවිය හැකි විදුලි ප්‍රමාණය ගිගා වොට් පැය 65 කි. ගල් අඟුරු බලාගාරයෙන් ගිගා වොට් පැය 5400 ක් පමණ (සූර්ය බලාගාරය මෙන් 83 ගුණයක) නිපදවීමක් ලබා ගත හැක.

සුළං බලාගාර පිහිටුවීමේදී බලාගාර දෙකක් අතර දුර අවම වශයෙන් මීටර් 500 ක් පමණ වේ. එය සැලකීමේදී බලාගාර පරිශ්‍රයෙහි සුළං බලාගාර 8ක් පමණ සවිකළ හැක. වර්තමානයේ ඇති විශාලතම සුළං බලාගාරයක් මෙගා වොට් 5 ක් පමණ වේ. ඒ අනුව ලක්විජය බලාගාර භූමියේ සුළං බලාගාර ඉදි කළහොත් එහි ධාරිතාව මෙගා වොට් 40ක් පමණ වේ. සුළං බලාගාරයක විදුලිය නිපදවීම සුළගේ ප්‍රමාණය මත රඳා පවතී. නොරොච්චෝල භූමිය වයඹ මුහුදු තීරයට මුහුණලා ඇති බැවින් වසරේ අප්‍රේල් සිට සැප්තැම්බර් දක්වා කාලයේදී පමණක් සැලකිය යුතු ධාරිතාවක් ලබාගත හැක. සුළං බලාගාරයක සාමාන්‍ය Availability Factor 40% ක් පමණ වේ. (මන්නාරම තම්බපවනි සුළං බලාගාර දත්ත අනුව) එනම් වාර්ෂිකව නිපදවිය හැකි ගිගා වොට් පැය 140 කි. මෙම ප්‍රමාණය මෙන් 38 ගුණයක් ලක්විජය බලාගාරය වාර්ෂිකව නිපදවයි.

ප්‍රශ්නය – ගල් අඟුරු බලාගාරය වන ලක්විජය සහ යෝජිත එල්එන්ජී බලාගාරය පිළිබඳව විද්‍යාත්මක සංසන්දනයක් සිදු කරන්න. එය රටේ ජනතාවට වැදගත් වේවි. ස්තුතියි.

පිළිතුරු – විශාල බලාගාර සඳහා ගල් අඟුරු හෝ LNG භාවිතා කළ හැක. තාක්ෂණිකව මෙම දෙවර්ගයම තාප බලාගාර ගණයට ගැනෙන අතර අප රටට ඉතා අවශ්‍ය ස්ථිර බලශක්ති සැපයුමක් (Firm Energy) ලබා ගැනීම සඳහා මෙම දෙවර්ගයම සුදුසු වේ. අන්තර්ජාල දත්ත අනුව පහත සංසන්දනය සිදු කර ඇත.

ජනතා ප්‍රතිචාරයට ලක්විජයෙන් පිළිතුරු

ප්‍රශ්නය – ලක්විජය බලාගාරයේ ගල් අඟුරු ගබඩාවේ ධාරිතාවය, මෙට්‍රික් ටොන් මිලියන 1.2 ක් බවත්, මාස 6ක කාලයක් සඳහා අතිරික්ත ගබඩාවක් ඇති බවත් සඳහන් වුණා. දැනටත් එම අතිරික්තය තිබෙනවා ද සහ ඒ ගැන විස්තරයක් ප්‍රවෘත්තියක් ලෙස හෝ පළ කරන්න.

පිළිතුරු – බලාගාරයේ ගල් අඟුරු ගබඩාව ඇත්තේ මුහුද රළු කාලසීමාවේදී ගල් අඟුරු ගොඩ නොබාන බැවින් එම කාලයේදී භාවිතයට ගැනීම සඳහා ගබඩා කිරීමටයි. මුහුද රළු කාලය වසරේ අප්‍රේල් මස අගදී ආරම්භ වී සැප්තැම්බර් මස අගදී අවසාන වන බැවින් ගල් අඟුරු මෙට්‍රික් ටොන් මිලියන 1.2 ක් ගබඩා කරගත යුත්තේ අප්‍රේල් මස වන විටය. මේ අවස්ථාවේදී ඉදිරියට ගල් අඟුරු ගොඩ බෑම සිදුවන බැවින් ගබඩාවේ ඇත්තේ ගල් අඟුරු මෙට්‍රික් ටොන් 160,000 ක් පමණි.

ප්‍රශ්නය – මම මෙවැනි ගල් අඟුරු බලාගාර පිළිබඳව කියවා ඇති පරිදි ලෝකයේ වෙනත් රටවල් ගල් අඟුරු බලාගාර කලින් කලට නව තාක්ෂණය අනුව පරිසර දූෂණය අවම වන ලෙස සකස් කරනවා, නොරොච්චෝලේ බලාගාරය එවැනි අප්ඩේට් සිදු කර තිබෙනවාද?

● රත්මල්දෙණිය, පන්නිපිටිය.

පිළිතුරු – බලාගාරයේ නිර්මාණ අවස්ථාවේදී පරිසර දූෂණය අවම කිරීම සඳහා අවශ්‍ය වන තාක්ෂණික උපක්‍රමයන් යොදා ගන්නා ලදී. බලාගාරයේ ඉංජිනේරුවන්ද නව තාක්ෂණ දියුණුවීම් සොයා බලා ඒවා සුදුසු ලෙස යොදාගෙන ඇත. උදාහරණයක් ලෙස ගල් අඟුරු දූවිලි සහ ගල් අඟුරු අළු පැතිරීම අවම කිරීම සඳහා විවිධ තාක්ෂණික උපක්‍රම භාවිතා කිරීම දැක්විය හැක.

ප්‍රශ්නය – චීන ණය උගුලේ මේ වගේ සැලසුම් පිළිබඳව world wide අත්දැකීම් තියෙනවා. Coal power plant කියන්නේ පරණ concept එකක්. මූලික ප්‍රාග්ධන අයෝජනය, ඉන්ධන පිරිවැය සහ අවම අවදානම යන කරුණු සැලකීමේදී ගල් අඟුරු භාවිතය මගින් විදුලි ජනනය කිරීම සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා කිසිසේත්ම ප්‍රායෝගික නොවේ. මේ වගේ තත්ත්වයක් මත අපි ගල් අඟුරුවලට යායුතු නම් විමලසුරේන්ද්‍ර වැනි අයෙකු එදා ජල විදුලියට නොගිහින් ගල් අඟුරුවලට යනවා. පරිසරය first කියන ඒක ලෝකයම පිළිගත් න්‍යායයක්. ඒ නිසා අපිට ගැළපෙන්නේ, Renewable Energy කියන එක.

● ගාල්ලේ අපි

පිළිතුරු – ගල් අඟුරු බලාගාර භාවිතය ඉතා පැරණි අතීතයට දිව ගියත් ලෝකයේ දියුණු වන රටවල් අදටත් ගල් අඟුරු මගින් විදුලිය නිපදවීම සිදු කරයි. අපගේ පසුගිය ලිපි මගින් දත්ත සහිතව මෙම කරුණු ඉදිරිපත් කර ඇත. සංවර්ධනය වන රටකට ඉතාමත් අවශ්‍ය වන ලාභදායි ස්ථිර බල ශක්ති ප්‍රභවයක් ලෙස ගල් අඟුරුවල භාවිතය අදටත් සත්‍යයකි. බලාගාරය ඉදිකිරීමේදී අවශ්‍ය ප්‍රාග්ධනය ලබා ගැනීමට විවිධ යෝජනා ඉදිරිපත් වී ඇතත් විවිධ තත්ත්ව මත එවකට පැවතී රජය චීන රජයෙන් අවශ්‍ය ප්‍රාග්ධනය සොයා ගෙන ඇත. අප රට තුළ චීන ණය යෝජනා මගින් සිදු කළ ව්‍යාපෘති අතරින් වඩාත්ම ඵලදායි ව්‍යාපෘතිය ලක්විජය බලාගාරය ඉදිකිරීම බව අවිවාදයෙන් පිලිගත හැක. අප ලිපිවලින් පෙන්වා දුන් පරිදි පුනර්ජනනීය බලශක්ති තවමත් ලෝකයේ බහුලව භාවිතා නොවේ. අනාගතයේදී නව තාක්ෂණ දියුණුවත් සමග පුනර්ජනනීය බලශක්ති මගින් විදුලිය නිපදවීම සිදු වන බවද අවිවාදාත්මකය.

ප්‍රශ්නය – ශ්‍රී ලංකාවේ විදුලි ජනන සැලසුම ලබාගත හැක්කේ කෙසේද…?

● මිනඟ රාජපක්ෂ

පිළිතුරු – දිගුකාලීන ජනන සැලසුම පිළිබඳව සියලු තොරතුරු www.ceb.lk වෙබ් අඩවියෙන් ලබාගත හැක. 2022 වසරේ සිට 2041 වසර දක්වා වන ජනන සැලසුම ඔබට පහත දිගුව මගින් ලබාගත හැක.

https://ceb.lk/publication-media/planingdocuments/en

ප්‍රශ්නය – රටවල් 25ක් ඇති ගල් අඟුරු බලාගාර 30ක් සොබාදහම සඳහා වන ලෝක අරමුදල (WWF) විසින් නම් කර ඇත්තේ යුරෝපය් කිළුටු තිහ (Europzs Dirty Thirty) ලෙසයි. ගල් අඟරු තාක්ෂණය යල් පැන ගොස් තිබෙන බව සැලකෙන්නේ දැනට වසර 30කට පමණ පෙර සිටය. ඒනිසා පරණ වාහන මෙන් දැන් ඒවා කාගේ හෝ කරේ ගැසීමට ලොවපුරා බලවත් රටවල් උත්සහ ගනිමින් ඇත. ඒවා විකිණිය හැකි වන්නේ දේශපාලුවන්ගෙන් පිරි තුන්වන ලෝකයට අයත් රටවලට පමණි. අපට ගල් අඟුරු නොමැති නිසා එවැනි බලාගාර ආනයනය කළ පසු සදාකාලිකවම ඒ රටවල් සතු ගල් අඟුරු මත යැපීමට අපට සිදුවනු ඇත. ලංකාවේ දෙදහස් හතළිහ වන විට මෙගා වොට් 1200 ගල් අඟුරු විදුලි නිෂ්පාදනය සඳහා අවශ්‍ය පියවර ගනිමින් සිටී. මේ උගුලට අසුවෙන්න එපා. ගල් අඟුරු බලාගාරයක් ලෙස ලක් විජය තිබුණාට කමක් නැහැ මීට වඩා ගල් අඟුරු බලාගාර ලංකාවට එපා.

පිළිතුරු – යුරෝපය හා ඒ ආශ්‍රිත රටවල්වල ඇති බොහෝ ගල් අඟුරු බලාගාර දැනට වසර 25කට 30 කට පෙර ඉදි කළ ඒවාය. ඒවා ඉදි කිරීමෙන් පසු ගත යුතු කාර්යයන් ගෙන අවසන් බැවින් ඒවා දැන් අවසන් කාල සීමාවේ පවතී. තවද බලාගාරයක් රටක ස්ථාපිත කිරීමට පෙර නිසි ශක්‍යතා අධ්‍යනයක්, පාරිසරික බලපෑම් තක්සේරුවක් කිරීම අනිවාර්ය වේ. මෙම කාර්යය විවිධ විෂයන්හි විශේෂ දැනුම සහිත පිරිසක් සම්බන්ධවී කරනු ලබයි. (පරිසර අධිකාරිය විසින් පනවා ඇති පාරිසරික රෙගුලාසි උල්ලංඝනය වන ලෙස බලාගාරයක් ස්ථාපිත කිරීමට කිසිසේත් හැකියාවක් නොමැත.‍ ඔබගේ ප්‍රශ්නයෙන් මතු කර ඇති පරිදි වසර 30ක් පැරණි බලාගාරයක ආයු කාලය අවසන් වී ඇති බැවින් පැරණි වාහනයක් මිලදී ගැනීම මෙන් පැරණි බලාගාරයක් මිලදී ගැනීමක් සිදු විය නොහැක. දියුණු රටවල් දැන් වඩ වඩාත් පරිසර හිතකාමී ප්‍රභවයන් වෙත යොමු වෙමින් පවතී. විදුලිබල මණ්ඩලයේ ජනන සැලසුමේ ඇති අලුත් ගල් අඟුරු බලාගාර ඉදි කිරීම පිළිබඳව තීන්දුව ගැනෙන්නේ රජයේ ප්‍රතිපත්ති මතය.

පරිසර සංරක්ෂණ ක්‍රමවේදය පිළිබඳව විමසූ ප්‍රශ්න සහ පිළිතුරු

ජනතා ප්‍රතිචාරයට ලක්විජයෙන් පිළිතුරු

ප්‍රශ්නය – මම අසා ඇති පරිදි නොරොච්චෝලේ බලාගාරය අවට නිවෙස්වල සහ අවට ප්‍රදේශය පුරා ගල් අඟුරු පිච්චීමෙන් ඇතිවන අළු විසිරී තිබේ.ඒවගේම අවට දරුවන් සඳහා මෙම අළු මගින් ශ්වසන ආබාධ ඇතිවී තිබේ. එය සත්‍යයක් ද…?

● කුමාර අත්තනායක

ප්‍රශ්නය – පරිසර ආරක්ෂණ ක්‍රමවේදය අනුව ලක්විජය බලාගාරය ක්‍රියාත්මක වන බව පසුගිය ලිපියේදී සඳහන් කර තිබුණි. ඒ අවට පදිංචි දරුවන් සහ සමහර පුද්ගලයන්ට මෙහි චිමිනියෙන් නිකුත් කරන දැලි නිසා (ලිපියේ සඳහන් වෙන්නේ fly ashes) අසනීප වෙන බව මීට පෙර මාධ්‍යයෙන් ප්‍රසිද්ධ විය. ඒ නිසා රෝගී වූ අය ද සිටින බව මාධ්‍ය වාර්තා කළා. මේ පිළිබඳව ඇත්ත තත්ත්වය පහදා දෙන්න. පියාසර අළු සම්පූර්ණයෙන්ම නිකුත්වීම වැළැක්වීමේ හැකියාවක් නැති බවත්, විදේශ රටවල, මේ නිසා අවට නිවාස රහිත කලාප සහ වන වගාව සිදු කරන බවත් අසා තිබේ.

ඔබගේ ලිපියේ සඳහන් දේවල් අපිට හොඳින් අසා පුරුදුයි. ඔය අසත්‍ය තොරතුරු හැමදාම කියන දේවල්. තුෂාර ඉඳුනිල් මන්ත්‍රීතුමා මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා. අද කරන්නම්, හෙට කරන්නම් කිය කියා කල් ගන්නවා. ඉඩම් පවර ගන්නවා කියනවා. මේ පැතිවල ගෙවල් ඇතුලෙත් අළු තියෙනවා. අපිට කාලයක් වෙන තැන්වලින් ගෙවල් දෙන්නත් හැදුවා. බලාගාරය තියෙන එක රටට හොඳ ඇති. ඒත් ගමේ මිනිස්සුන්ට මේක කරදරයක්. අපහසුතා විඳින අයට වෙනත් ස්ථාන සඳහා වන්දි දීලා හරි මේ ප්‍රශ්නය ඉවර කරන්න.

● කල්පිටිය සුබසාධක සංගමය

ප්‍රශ්නය – නොරොච්චෝලේ ගැන යෝජනාවක් ගල්අඟුරු පිළිස්සූ පසු නිකුත් වන අළු පිළිකා කාරකයක් සහ පෙනහළු රෝග කාරකයක්.මෙම අළු නිසා සෞඛ්‍යයට සිදුවන හානිය වෛද්‍ය නිලන්ති ප්‍රනාන්දු වරක් පර්යේෂණයකින් පෙන්වා දුන්නා.

මිනිස් සිරුරට ඉතා අහිතකර රසායනික ද්‍රව්‍ය අළුවල තියෙන නිසා, පෙනහළු ආශ්‍රිත රෝග, චර්ම රෝග, පිළිකා, වකුගඩු රෝග හා හදවත් රෝගත් ඇති විය හැකි බව කිව්වා. මෙවැනි තත්ත්ව නොරොච්චෝලේ අවටින් දැනටමත් වාර්තා වී තිබෙන බවත් කිව්වා. මේ නිසා පරිසරය ගැන වගේම ඒ පැතිවල ජනතාවගේ සෞඛ්‍ය පිළිබඳවත් අවට වෛද්‍යවරු සමග කතා කරන්න.

● කමල් දහනායක

ඉහත ප්‍රශ්න ත්‍රිත්වය සඳහා පිළිතුරු

බලාගාරයේ වගකිව යුතු නිලධාරීන් ලෙස අපද මෙම ක්ෂුද්‍ර අංශු මඟින් අවට ප්‍රදේශයේ ජනතාවට රෝගී තත්ත්ව ඇතිවී දැයි දැනගැනීම පිණිස කල්පිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සමඟ සාකච්ඡා පැවැත්වූ අතර එමඟින් ද එවැනි රෝගී තත්ත්ව වාර්තා වී නොමැති බව තහවුරු වී ඇත. බලාගාරයට විරුද්ධව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීමේ සිදුවීම් නිරීක්ෂණය වී ඇත. මෙයද එවැනි ප්‍රකාශයක් ලෙස දැක්විය හැකිය.

ගල් අඟුරු අංගනයෙන් දූවිලි පාලනයට අංගනය වටා සුළං බාධකයක් ඉදිකිරීම, එම බාධකය උඩ ජල විසිරුම් පද්ධතියක් ක්‍රියාත්මක කිරීම, ජලය විදින යන්ත්‍ර භාවිතා කිරීම මගින් තෙත් තත්ත්වයෙන් පවත්වා ගැනීම සිදුකරයි. අළු අංගනය වටා සුළං බාධකයක් ඉදිකිරීම, මතුපිට පස් යොදා තෘණ වර්ධනය කිරීම, සැහැල්ලු අළු ජලය සමග මිශ්‍ර කර අතුරා ඝන ආවරණයකින් වැසීම හා භාවිතයට ගන්නා ප්‍රදේශය තෙත තත්ත්වයේ පවත්වා ගැනීම සිදුකරයි. ඉහත ක්‍රියාවන් නිරන්තර අධීක්ෂණයක් යටතේ ක්‍රියාත්මක කිරීම මගින් දූවිලි පැතිරීම පාලනය කර ඇත.

ක්ෂුද්‍ර අංශු (PM2.5 සහ PM10) සමග ආශ්වාසය සිදු කිරීම ජීවීන්ට හානිදායක වන බව ප්‍රකට සත්‍යයකි. මෙම අංශුවල සාන්ද්‍රණය නගර ආශ්‍රිතව (නුවර, කොළඹ වැනි) ඉහළ අගයන්වල පවතින්නේ රථවාහනවලින් සහ අනෙකුත් කාර්මික කලාප හේතුවෙනි. එමෙන්ම 2018 වසරේ සිට බලාගාරය අවට වායුගෝලීය තත්ත්ව අධීක්ෂණය ITI ආයතනය මඟින් සිදුකරන අතර කිසිදු අවස්ථාවක එහි ධාරන සීමා ඉක්මවා ගොස් නැත. තවද මෙම අගයන් ඉහත සඳහන් කළ නගර ආශ්‍රිත අගයන්ටත් වඩා අඩු අගයන්වල පවතී.

ප්‍රශ්නය – නොරොච්චෝලේ පුත්තලම අවට මුහුදු මාළු අනුභව කරන කාන්තාවන්ගේ කෙස් හා රුධිරය පිළිබඳව කළ පරීක්ෂණයක් අනුව එම කාන්තාවන්ගේ කෙස්වල අන්තර්ගත රසදිය මට්ටම පසුගිය වසර 4 – 5 ඇතුළත ඉහළ ගොස් ඇති බව පැහැදිලි වී තිබේ. ඒ කාන්තාවන්ගේ ශරීරගත රසදිය මට්ටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියම කර ඇති උපරිම රසදිය මට්ටම මෙන් 7 – 15 අතර ගුණයකින් වැඩි පුර තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව සාමාන්‍ය ලෙස මනුෂ්‍ය ශරීරයේ කොටස් දස ලක්ෂයකට තිබිය හැකි උපරිම රසදිය ප්‍රමාණය මයික්‍රෝ ග්‍රෑම් 1කි. නමුත් ඉහත පරීක්ෂණයට ලක් කළ කාන්තාවන්ගේ ශරීරවල කොටස් දස ලක්ෂයක රසදිය මයික්‍රෝ ග්‍රෑම් 15 ක් තිබූ අවස්ථා හමුවූ බව ද පැවසේ. පසුගිය වසර 4 – 5 ඇතුළත මේ කාන්තාවන්ගේ ශරීරයේ රසදිය සංයුතිය වැඩිවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉවතට දමන අපද්‍රව්‍ය බව මේ පර්යේෂණය කළ විද්‍යාඥයන්ගේ මතය වී ඇත.

පිළිතුරු – බලාගාරයෙන් කිසිදු අපද්‍රව්‍යයක් කලපුවට මුදා හැරීමක් සිදු නොවේ. ඒ අනුව ඉහත වාර්තාවේ සඳහන් කළ කිසිදු කරුණක් අදාළ නොවේ.

ඉහත වාර්තාව ප්‍රසිද්ධ කර ඇත්තේ ලෝකයේ පවතින විද්‍යාත්මකව පිලිගත හැකි වාර්තා පළවන වෙබ් අඩවියක හෝ ආයතනයක් හරහා නොවේ. මෙහිදී කාන්තාවන් 36 ක් යොදාගෙන ඇති අතර (වයස අවු. 18 – 44 අතර) නියැඳි ලබාගත් කාන්තාවන් කවර ස්ථානයක පදිංචිද යන්න සඳහන් කර නැත. නිවැරදි පරීක්ෂණ දත්ත ලබාගැනීම සඳහා පුත්තලම කලපුවේ මසුන් ආහාරයට ගන්නා කල්පිටිය අර්ධද්වීපයේ විවිධ ගම්මානවලින් තෝරාගත් පුද්ගලයන් සමූහයක් යොදාගෙන මෙවැනි පරීක්ෂණයක් සිදුකළ යුතුය.

මීට අමතරව ලංකාවේ අනෙකුත් කලපු ප්‍රදේශ ආශ්‍රිත පදිංචිකරුවන්ගේ ද නියැඳි ලබාගෙන පරීක්ෂණ සිදුකිරීම මගින් පුත්තලම කලපුව ආශ්‍රිත පදිංචිකරුවන්ගේ විශේෂ වෙනස්වීමක් තිබේද යන්න හඳුනාගත හැකිය.

මෙහිදී පරීක්ෂාකර ඇත්තේ කාන්තාවන්ගේ කෙස් පිළිබඳවයි. හිසට යොදන ෂැම්පූ, ඩයි වර්ග ආදී රසායන ද්‍රව්‍යයන් සමඟද බැර ලෝහ වර්ග හිසකෙස් සමඟ මුසුවී හිස කෙස් ආශ්‍රිතව තැන්පත්වී තිබිය හැකිවන අතර සාමාන්‍යයෙන් දේහයේ බැර ලෝහ පරීක්ෂාවන් සඳහා ලබාගනුයේ මූත්‍රා හෝ රුධිර සාම්පල වේ. එක් වරක් පමණක් නිදර්ශක ලබාගෙන එම පරීක්ෂණය සිදු කර ඇත. එවැනි කෙටිකාලීන අධ්‍යයනයක ප්‍රතිඵලවල විශ්වාසනීයත්වය සීමාසහිත වේ.

ප්‍රශ්නය – මෙය මම උපුටා ගත්තේ අන්තර්ජාලයෙන්. මේ ප්‍රවෘතිය ඇත්තද…? එසේ නම් අපේ ජනතාවගේ සෞඛ්‍ය ගැන සිතා ගල් අඟුරුවලින් ඈත් වෙමු. මී මෝ ගල් අඟුරු පතල 1960 දී සුළු පරිමාණයෙන් අරඹන ලද අතර 1980 දශකය වන විට එය තායිලන්තයේ විශාලතම ගල් අඟුරු පතල බවට පත්ව තිබුණි. බලාගාරයේ දහන ක්‍රියාවලිය මඟින් වාර්ෂිකව සල්ෆර්ඩයොක්සයිඩ් වායුව (මෙය වෙඩි බෙහෙත් ගඳ වායුවකි) ටොන් මිලියන 1.6 ක් වායුගෝලයට මුදාහරිනු ලබන අතර එමඟින් මීමෝ ප්‍රාන්තයේ ජනතාව තුළ දරුණු සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය කොට තිබිණ. කැස්ස, ඇදුම, හතිය, නිරතුරු ප්‍රතිශ්‍යාවල කඳුළු ගැලීම සුලබ අත්දැකීමක් විය. එය කලාපය තුළ දේශගුණය වෙනස් කිරීමට ප්‍රධාන දායකත්වය දක්වමින් වාර්ෂිකව කාබන් ඩයොක්සයිඩ් වායු ටොන් 40,33,932 ක් වායුගෝලයට එක්කරයි. අධික ලාභ ලැබෙන මෙම බලශක්ති නිෂ්පාදනයේ මූල්‍ය ආයෝජකයන් වන්නේ ආසියානු සංවර්ධන බැංකුව ප්‍රමුඛ කලාපයේ ධන කුවේර සාමාගම් වේ.

පිළිතුරු – ඉහත සඳහන් කළ කරුණු සත්‍යයකි. මෙහිදී සිදුවී ඇත්තේ තායිලන්ත රට අභ්‍යන්තරයේ කඳුකර ප්‍රදේශයක ඇති ගල් අඟුරු නිධියක් ආශ්‍රිතව ගල් අඟුරු බලාගාරයක් ඉදිකර එයින් සිදුවී ඇති පරිසර හානියෙන් ජන ජීවිතයට බාධා ඇතිවීමයි. මෙම බලාගාරය ආරම්භයේදී (1978) සල්ෆර් ඩයොක්සයිඩ් වායුව (SO2) පිරිපහදු කිරීමට Flue Gas Desulphurization (FGD) ඒකක ස්ථාපිත කර නොතිබුණි. තවද බලාගාරය ආශ්‍රිතව ඇති නිධියේ ගල් අඟුරු තොගවල අධික සල්ෆර් ප්‍රමාණයක් (3-7%) හා අඩු කාබන් ප්‍රතිශතයක් පවතී. මේ හේතුවෙන් විශාල වශයෙන් SO2 වායුව පිටවීමක් සිදුවී ඇත. නමුත් ඉහත සඳහන් පරිසර හානියෙන් පසු FGD ඒකක හා නව පරිසර දූෂක පාලක උපකරණ ඉදිකර බලාගාරය මේ වන විටත් ක්‍රියාත්මක වේ.

ලක්විජය බලාගාරය භාවිතා කරන ගල් අඟුරුවල සල්ෆර් ප්‍රතිශතය 0.5-0.7% අතර අගයක පවතින අතර කාබන් ප්‍රතිශතය 50% ක් පමණ වේ. මේ හේතුවෙන් SO2 වායුව පිටවීම අවම වේ. තවද මී මෝ බලාගාරයේ ආරම්භයේ නොතිබූ වායු දූෂක ඉවත් කිරීමේ උපකරණ ලක්විජය බලාගාරය ආරම්භයේ සිටම පවතී. සල්ෆර් ඩයොක්සයිඩ් (SO2) වායුව පිරිපහදු කිරීමේ FGD ඒකක ඇත. එයින් 98% ක් පමණ SO2 වායුව පිරිපහදු වේ. රටේ පවතින නීතින්ට අනුව සල්ෆර් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය 850 mg/Nm3 අගයට අඩුවෙන් බලාගාරය ක්‍රියාත්මක කළ යුතු අතර බලාගාරය එම අගය 150mg/Nm3 වැනි අවම මට්ටමක පවතී. එමෙන්ම වායුගෝලයේ SO2 අගයද අවට ප්‍රදේශවල නිරීක්ෂණය කරන අතර එයද සම්මත අගයන්ට වඩා ඉතා අඩු මට්ටමක පවතී. රටේ විදුලිය අවශ්‍යතාවයෙන් 40% ක් පමණ සපයන්නේ තාප විදුලි බලාගාර වන හෙයින් ද වාර්ෂිකව CO2 වායුව වැඩි ප්‍රමාණයක් තාප බලාගාරවලින් පිටවන බව නොරහසකි. එසේ නොමැතිව රටේ විදුලි අවශ්‍යතාවය සපුරාලීමට ශ්‍රී ලංකාව සතුව ඇති වෙනත් විකල්ප බලශක්ති ප්‍රභවයන් ප්‍රමාණවත් නොවේ. අපගේ දිනෙන් දින ඉහළ යන විදුලි අවශ්‍යතාව සපුරාලීමට ලෝකයේ ඇති ලාභදායකම තාප විදුලි ප්‍රභවය ගල් අඟුරු වේ.

ප්‍රශ්නය – ඉතා හොඳ පැහැදිලි කිරීමක්. ගල් අඟුරු සම්බන්ධයෙන් අපට මාධ්‍ය මගින් මවන චිත්‍රයට වඩා වෙනස් පැතිකඩක් මෙම ලිපිය ඉදිරිපත් කරනවා. තවත් දැනුවත් කරන්න. හැකි නම් මෙම ලිපිය පිළිබඳව සංවාදයක් ඇති කරන්න.

පිළිතුරු – රටට අවශ්‍ය වන්නේ බුද්ධිමත් මධ්‍යස්ථ මතධාරී රටට ආදරය ඇති මිනිසුන් වේ. වෙනත් රටවල් දියුණු වූ ආකාරය හා විශේෂයන් බලශක්තිය අවශ්‍යතාවය සපුරාගත් ආකාරය සොයා බලා අප වැනි දියුණු වෙමින් පවතින රටවල් කළයුතු දේ ගැන හොඳ අවබෝධයක් ලබා ගැනීමට එවැනි පුද්ගලයන්ට හැකියාව ඇත. අප විසින් ගල් අඟුරු යුගය පසුකර න්‍යෂටික බලශක්ති, පුනර්ජනනීය බලශක්ති වැනි විකල්ප බලශක්ති ප්‍රභව පිළිවෙළින් ළඟාකර ගත යුතුය.

ප්‍රශ්නය – “බලාගාරයේ ප්‍රධාන සිසිලන මාධ්‍යය ලෙස මුහුදු ජලය භාවිතා වේ. එක් ජනක යන්ත්‍ර යක සිසිලනය සඳහා තත්පරයට ඝන මීටර් 15ක් පමණ මුහුදු ජලය බලාගාරය තුළට ගනු ලබයි. ඒවා සිසිලනයෙන් පසු නැවත මුහුදට යොමු කිරීම සිදුවේ.” යනුවෙන් පසුගිය සතියේ ඔබගේ ලිපියේ පළවුණා. මෙයින් සමුද්‍ර දූෂණයක් සිදුවෙනවා ද…? මෙසේ සමුද්‍රය වෙත පිටකරන ජලයේ වෙනත් රසායනික සංඝඨක අඩංගු ද…?

පිළිතුරු – මුහුදු ජලය සිසිලනයෙන් පසු බැහැර කිරීමේ දී ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක පහකින් පමණ වැඩිවීමක් සිදු වේ. මෙතරම් ඉහළ මුහුදු ජලය පරිමාවක් සිසිලනයට භාවිතා කරනුයේ මෙම උෂ්ණත්ව වෙනස අඩු අගයක පවත්වා ගැනීම සඳහා වේ. තවද සල්ෆර් ඩයොක්සයිඩ් වායුව මුහුදු ජලයේ දියකර සල්ෆෙට් බවට පරිවර්තනය කර මුහුදට බැහැර කිරීම සිදු කරයි. සල්ෆෙට් සංඝටකය මුහුදු ජලයේ සාමාන්‍යයෙන් ස්වභාවිකව පවතින සංඝටකයකි. මෙම සියල්ලම ලංකාවේ අනුමත පාරිසරික පරාමිතීන් අනුකූලව බැහැර කරනවා ද යන්න නිරීක්ෂණය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදු වන අතර සියලුම ප්‍රමිතීන් සම්මත අගයන්ට වඩා අඩු අගයක පවතී. ඕනෑම ව්‍යාපෘතියක් මගින් පරිසරයට බලපෑමක් සිදුවන අතර එය අවම කිරීමට ලෝකයේ භාවිතාවන තාක්ෂණය මෙම බලාගාරය සඳහා ආදේශ කර ඇත. එම උපකරණ ක්‍රියාත්මක කිරීමට විශාල මුදලක් වැය කරමින් පරිසරය ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය කටයුතු නිරන්තරයෙන් සිදු කරමින් සිටියි.

ප්‍රශ්නය – මහත්මයාණනි, තිරසර බලශක්තියේ ලක්විජය මාවත ලිපිය සම්බන්ධවයි.

මුහුදු ජීවීන් වෙත අධික උෂ්ණත්වයක් සහිත ජලය නිකුත් කරන්නේ නැති බව ලිපියේ තිබුණා. සිසිලන පද්ධතියක් එයට උපයෝගි කර ගන්නා බවත් කියා තිබුණා. එම සිසිලන පද්ධතිය හේතුවෙන් මුහුදට යවන්නේ සාමාන්‍ය වතුර බවත් පවසා තිබුණා. එහෙම නම් නොරොච්චෝලේ බලාගාරය අවට සාගරයේ ජලජ ජීවීන් දකින්න නැත්තේ ඇයි.? ඒ වගේම බලාගාරයෙන් ජලය නිකුත් වන කලාපයේ කොරල්පර මැරී ගොස් තිබෙන්නේ නැත්තේ ඇයි? ඔය ප්‍රදේශය අසල පදිංචිකරුවකු මට වරක් මුණගැසුණා. ඔහු කිව්වේ, ධීවරයන්ටවත්, බලාගාරය අවට මුහුදේ සැරිසැරීම සඳහා අවසර නොදෙන බවයි. එහි රහසක් ඇතැයි ඔහු කිව්වා. ඒකට හේතුව මේකද.? ඔබගේ ලිපිය සඳහා මුහුදේ සංචාරයක් ඇතුල් නොකළේ, බලාගාරයේ ඉංජිනේරුවන් ඒ සඳහා අවසර නොදීමද? තලවිල කොරල්පරයක් ඇති කරන්නේ සමුද්‍ර නීතිය අනුව විනාශ වූ කොරල්පරය සඳහා හිලව් කිරීමට නේද?

● කේ. ඩී. අනුර රවිප්‍රිය

පිළිතුරු – නොරොච්චෝල බලාගාරය අවට සාගරයේ ජලජ ජීවීන් දක්නට නැත යන්න වැරදි මතයකි. මුහුද ආශ්‍රිතව සිදුවන ගල් අඟුරු ප්‍රවාහන කටයුතු සහ බලාගාරයේ පවතින ජාතික අවශ්‍යතාවය සලකා එහි ආරක්ෂාව වෙනුවෙන් ඒ ආසන්න මුහුදු කලාපය අධි ආරක්ෂිත කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර නාවික හමුදාවේ ආරක්ෂාව යටතේ පවතී. මේ හේතුවෙන් බලාගාරය ආසන්න මුහුදු කලාපයේ ධීවර කටයුතුවල යෙදීමට ඉඩ නොදේ. නාරා ආයතනය විසින් සිදුකළ පර්යේෂණයට අනුව මෙම කලාපය මුහුදු ජීවීන් සඳහා ගැසට් මඟින් ප්‍රකාශයට පත් නොකළ ආරක්ෂිත කලාපයක් ලෙස ක්‍රියාකරන බව දක්වා ඇත. මේ හේතුවෙන් කල්පිටිය අර්ධද්වීපයේ අනෙකුත් නියැඳි ස්ථාන හා සැසඳීමේදී මෙම කලාපයේ මත්ස්‍ය විවිධත්වය වැඩි බව නාරා ආයතනයේ නිගමනයයි. අවශ්‍ය ඕනෑම අයකුට නාවික හමුදාවේ අනුමැතිය සහ ආරක්ෂාව සහිතව බලාගාරය ආශ්‍රිත මුහුදු කලාපයේ නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබාදිය හැකිය.

බලාගාරයෙන් ජලය නිකුත්වන කලාපය තුළ කොරල්පර පිහිටා නැත. ආසන්නතම කොරල්පරය, තලවිල කොරල්පරය වන අතර එය පිහිටා ඇත්තේ බලාගාරයේ සිට කි.මී. 8 ක් පමණ දුරිනි. බලාගාරයෙන් සාගරයට බැහැරවන ජලයේ උෂ්ණත්වය මුහුදු ජලයේ සිදුවන කැලතීම හේතුවෙන් කි.මී. 1ක පමණ සීමාවක් තුළදී සාමාන්‍ය සාගර ජලයේ උෂ්ණත්වය හා සමවන හෙයින් තලවිල කොරල්පරයට කිසිදු බලපෑමක් ඇති නොවේ.

තලවිල කොරල්පරය යනු විනාශවී ගිය කොරල්පරයක් නොව සජීවී කොරල් ගහනයක් පවතින කොරල්පරයකි. තලවිල ධීවර වරාය ආශ්‍රිත ධීවරයන්ගේ ධීවර අස්වැන්න වර්ධනයට මෙම කොරල් පරය දායකත්වය සපයයි. එම දායකත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා තලවිල කොරල් පරය ආශ්‍රිතව නව සජීවී කොරල් ගහනයක් නිර්මාණය කිරීමට හා ඒ ආශ්‍රිත මත්ස්‍ය ගහනයක්ද වර්ධනයට අවශ්‍ය කෘතීම පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම වෙනුවෙන් සිදුකරන සමාජ සුබසාධන ව්‍යාපෘතියක් සඳහා බලාගාරය අනුග්‍රහය සපයයි. එය විනාශවූ පරිසර පද්ධතියක් නැවත ගොඩනැඟීමේ ව්‍යාපෘතියක් නොව පවතින පරිසර පද්ධතියක වර්ධනය උදෙසා සිදුකරන දායකත්ව ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය කන්දකුලිය හා Bar-Reef කොරල්පර දක්වා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වේ.

ප්‍රශ්නය – මෙම ලිපි සියල්ලම මා එකතු කර තබා ගත්තෙමි. ඒවා ඉතාම අනර්ඝයි. මේ වගේ බලාගාරය හදන කොට ප්‍රශ්න මතුවෙනවා. ඒ වුණත්, තත්ත්වය උපරිම මටට්මෙන් පාලනය කර ගත යුතුයි. මගේ ප්‍රශ්නය වන්නේ, මුහුදු සුළං හේතුවෙන් මෙහි දුම් යම් ප්‍රමාණයකට රට ඇතුලට යෑම වැළැක්වීමට, එම ධූමය, ජලය තුළින් යවා, වායු තත්ත්වයෙන් ඉවත් කළ හැකි නම් ප්‍රශ්න රාශියක් විසඳෙන බැවින් ඒ සඳහා පියවර නොගන්නේ ඇයිද යන්නයි. (වායු සිසිලන ක්‍රියාවලිය ලෙස මේ ගැන කියවා ඇත්තෙමි.)

පිළිතුර – එක් ඒකකයක් 300 MW වලින් මෙහෙයුම් සිදු කරන විට පිටාර වායුව තත්පරයට ඝන මීටර් 400 කට ආසන්න වායු පරිමාවක් පිටවීම සිදු වේ. මෙය ඉතා දැවැන්ත වායු පරිමාවක් වන අතර ජලය තුළින් බුබුලනය කරවීම සඳහා ඉතා විශාල ජල පරිමාවක් සහ විශාල ජල තටාක අවශ්‍ය වේ. මෙමගින් සෘජුව හා වක්‍රව ජලජ ජීවීන්ට සිදු වන හානිය ඉහළ මට්ටමක් වේ. මෙවැනි කටයුත්තක් ඒකක තුන සඳහාම යොදා ගැනීමේදී දැවැන්ත පිරිවැයක් මෙන්ම විශාල පාරිසරික හානියක් ද සිදු වේ.

නමුත් මෙම වාතය අප ආශ්වාස කරන වාතයට මීටර් 150 ක ඉහළින් පිටවීම නිසා එය යම් දුරක් ගමන් කිරීමේ දී බොහෝ සෙයින් සාන්ද්‍රණය අඩු තත්ත්වයට පත් වේ.

මෙවැනි බලපෑමක් තිබේ ද යන්න ITI ආයතනය මඟින් වසරේ මෝසම් කාල හතර නියෝජනය කරමින් අවට වායුගෝලීය තත්ත්ව පරීක්ෂා සිදු කරයි. ඉන් කිසිදු අවස්ථාවක ශ්‍රී ලංකාවේ ධාරන සීමා ඉක්මවා නොමැත.

උදාහරණයක් ලෙස ඊසානදිග මෝසම් කාලයේ දී ලක්විජය විදුලි බලාගාරයේ විමෝචක වායු ගමන් කරනුයේ මුහුදු ප්‍රදේශයට වේ (රටෙන් ඉවතට) නිරිතදිග මෝසම් කාලසීමාවේදී විමෝචක වායු ගමන් කරනුයේ රට අභ්‍යන්තරයටය. නමුත් රට අභ්‍යන්තරයේ SO2 වායු සාන්ද්‍රණය වැඩිවනුයේ ඊසාන දිග මෝසම් කාලසීමාව තුළදී වේ. එමගින් ගම්‍ය වන්නේ ලංකාව වැනි දිවයිනක් වෙත ලෝකයේ වෙනත් ප්‍රදේශවල වායු දූෂකවල බලපෑම සෘජුව පවතින බවයි. (Trans boundary effect) තවද ලෝකයේ (Real time) තත්කාලීන වායු දූෂක සාන්ද්‍රණ අධ්‍යයනයේ දී ශ්‍රී ලංකාවේ ජනනය වන වායු සාන්ද්‍රණය නොගෙනිය හැකි තරම් වේ.

තවද මේ දිනවල වායුගෝලයේ පවතින මිදුම් ස්වභාවය රට පුරා පවතී. මෙයට හේතුව වනුයේ ඊසාන දිග මෝසම සමග රටේ උතුරු ප්‍රදේශයෙන් රට තුලට ඇතුළුවන විෂ වායු දුෂක වේ. මෙය සෑම වසරකම නොවැම්බර් මාසයේදී සිදුවන සිද්ධාන්තයකි. චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබා ගන්නා වායු ගෝලයේ තත්ත්ව නිරීක්ෂණය සිදු කරන වෙබ් අඩවියක් මගින් එය මනාව නිරීක්ෂණය කල හැක. මෙය ලක්විජය බලාගාරය හේතුවෙන් සිදු වන සිද්ධාන්තයක් නොවන බව පැහැදිලිව නිරීක්ෂණය වේ.

ප්‍රශ්නය – පරිසරය සඳහා ලක්විජය බලාගාරයේ හානියක් නැති බවට කියා තිබුණා. ඒ සඳහා ISO වගේ ජාත්‍යන්තර සහතික ලැබිලා තියෙනවාද? ඒවගේ පියවරවල් තමයි ලෝකය පිළිගන්නේ, මධ්‍යම පරිසර අධිකාරියේ සහතිකය නීතිය වුණාට ඒවා ලැබෙන හැටි සහ ගන්න හැටි පිළිබඳව විශ්වාසයක් ඇත්තේ නැහැ. ජාත්‍යන්තර ප්‍රමිතිය අවශ්‍ය වන්නේ ඒ නිසයි.

● ගැටහැත්ත – පද්මා ශ්‍රෙත්

පිළිතුරු – පරිසර කළමනාකරණ පද්ධතිය (Environment Management System – EMS) සඳහා වූ ISO 14001 ජාත්‍යන්තර සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදුකරමින් පවතී.

ඔබට ලක්විජය බලාගාරය පිලිබදව එදිනෙදා තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් පහත දිගුව මගින් https://www.facebook.com/LakvijayaPP අපගේ “Norochcholai Coal Power Plant” ෆෙස්බුක් පිටුව වෙත සම්බන්ධ විය හැක. තවදුරටත් ඔබට බලාගාරය නැරඹීම තුලින් වඩාත් යාවත්කාලින තොරතුරු ලබා ගැනීමට අවශ්‍ය නම් කලින් දන්වා විස්තර සපයා බලාගාරය නැරඹීමේ පහසුකම දැනටමත් ඔබ වෙත සලසා ඇත. ඒ සදහා ඔබට https://lvpp.ceb.lk/ මගින් හෝ ෆැක්ස් අංක 032-2268978 මගින් ඉල්ලීමක් ඉදිරිපත් කල හැක.

එක් එක් ලිපිය සම්බන්ධයෙන් ඔබ විසින් ප්‍රතිචාර විශාල ප්‍රමාණයක් දක්වා තිබුණ ද එයින් තෝරාගත් ප්‍රධාන මාතෘකා කිහිපයක් යටතේ ප්‍රශ්න කිහිපයකට පමණක් දැනට පිළිතුරු ලබාදී තිබේ.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment