පොලිතින් – ප්ලාස්ටික් අවම කිරීමේ ඉලක්කයට – ලෝකයම එක්වෙයි….!

544

ගාල්ලේ නියමු ව්‍යාපෘතිය බලන්න බාසල් – රොටර්ඩෑම් එති

ලෝකය අද කතාකරන්නේ ගෝලීය උණුසුම, දේශගුණික විපර්යාස හෝ ජෛව විවිධත්ව හායනයටත් වඩා පොලිතීන්-ප්ලාස්ටික් දූෂණය ගැනය. සැබැවින්ම ලෝකයේ අද මාතෘකාව පොලිතීන්, ප්ලාස්ටික් දූෂණය හා ඉන් මිදෙන්නේ කෙලෙසද යන්න ගැනය. ඕසෝන් වියන හායනය වීම නිසා ඇතිවුණු කතාබහ (මොන්ටි්‍රයල් සන්ධානය හා එම ප්‍රඥාප්තිය), ගෝලීය උණුසුම හා හරිතාගාර වායු අවම කිරීම සඳහා සිදුකළ කතා බහ (කියොතෝ සම්මුතිය), දේශගුණික විපර්යාස පිළිබඳ සිදුකළ “පැරිස් සම්මුතිය” වැනි කතා බහෙන් එපිටට ගොස් අද පොලිතීන්-ප්ලාස්ටික් ගැන ලෝකයම කතා කරන අතර ඉදිරියේදී ප්ලාස්ටික් අවම කිරීම සඳහා වන වැදගත් සමුතියකට ලොව රටවල් සියල්ලම පාහේ අත්සන් තැබීමේ අවශ්‍යතාවකට ලොව අවධානය යොමුකර ඇත. මේ දිනවල ඊට අදාළ සාකච්ඡා, සම්මන්ත්‍රණ, ප්‍රතිපත්ති සැකසීම සිදුවෙමින් පවතී. මෙයින් වඩාත් අවධානය යොමුකර ඇත්තේ සාගරයට ප්ලාස්ටික් මුදාහැරීම සහ සාගර ප්ලාස්ටික් දූෂණය ගැනය. ජුනි මස 5 වැනිදාට යෙදුණු මෙවර ලෝක පරිසර දින තේමාව වූයේද ප්ලාස්ටික් දූෂණයෙන් ලෝකය බේරාගැනීමය. මේ අනුව උපද්‍රවකාරී අපද්‍රවයක් ලෙස ලෝකය පුරා පැතිර යන මෙම ප්ලාස්ටික් දූෂණය අවම කිරීම සඳහා බලපැවැත්වෙන “බාසල්” හා “රෝටර්ඩෑම්” සම්මුති මගින්ද ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාවට නැගෙන අතර, ඉදිරි කටයුතු සඳහා විශේෂයෙන්ම මුහුදු පරිසරයක් හිමි රටවල් සමග මේ දිනවල සාකච්ඡා, සම්මන්ත්‍රණ හා නිරීක්ෂණ, නිගමන සිදුවෙමින් පවතී.

ශ්‍රී ලංකාවද පොලිතීන්-ප්ලාස්ටික් දූෂණයේ නම කියැවෙන රාජ්‍යයකි. නිකම්ම නොව, සාගර ප්ලාස්ටික් දූෂණ අතින් ශ්‍රී ලංකාව අංක 5 ස්ථානය දක්වා ඉහළ දමන්නට ඇතැම් රේටින් සංවිධාන පියවර ගෙන ඇත.

පොලිතින් - ප්ලාස්ටික් අවම කිරීමේ ඉලක්කයට - ලෝකයම එක්වෙයි….!

මෝඩ ඇළේ සවිකරන ලද විශේෂ සී සී ටී වී කැමරා ඒකකය සහ බාසල්-රෝටර්ඩෑම් නියෝජිත පිරිස

කෙසේ හෝ පොලිතීන්-ප්ලාස්ටික් දූෂණයට ලක්ව සිටින රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළින්ම සිටින නිසා මෙම දූෂණය අවම කිරීම සඳහා ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා රජයට දැන් සිදුව ඇත. එනිසාම ඒ පිළිබඳ ප්‍රතිපත්ති, ක්‍රියාකාරී සැලසුම් සෑදීම මෙන්ම, ප්ලාස්ටික් කුණු කඳු සඳහා විසඳුමක් ලබාදීමටද දැන් ක්‍රියාකරගෙන යයි.

මේ සඳහා පෙරකී “බාසල්” හා “රෝටර්ඩෑම්” ලේකම් කාර්යාලයද මැදිහත්වී අරමුදල් සපයාදෙමින් ප්‍රයෝගික විසඳුම් ක්‍රියාවට නැගීම සඳහා කටයුතු කරමින් යයි. පසුගිය ජුනි මස 13-14 හා 15-16 යන දිනයන්හි පරිසර අමාත්‍යාංශයේ පරිසර දූෂණ පාලන හා රසායන කළමනාකරණ අංශයේ මැදිහත්වීමෙන් හා ජිනීවාහි බාසල්-රෝටර්ඩෑම් ලේකම් කාර්යාලයේ සහභාගිත්වයෙන් විශේෂ පුහුණු සැසියක් හා ප්‍රතිපත්ති සැකසීමේ කටයුත්තක් මෙන්ම ප්ලාස්ටික් අවම කිරීම සඳහා දැනට සිදුකරන ප්‍රයෝගික කටයුතු නිරීක්ෂණය කිරීමේ ක්ෂේත්‍ර චාරිකාවක් සංවිධානය කර තිබිණි. පරිසර අමාත්‍යාංශයේ පරිසර දූෂණ පාලන හා රසායන කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ එස්. එම්. වේරහැර මහතාගේ සභාපතිත්වයෙන් පවත්වන ලද මෙම වැඩසටහනට පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වූ අතර, බාසල්-රෝටර්ඩෑම් ලේකම් කාර්යාල නියෝජිත පිරිස හා ප්ලාස්ටික් දූෂණ පාලනය සඳහා දායක විය යුතු රාජ්‍ය අංශ ඇතුළු සියලුම පාර්ශ්වකරුවන් සහභාගි වූ අතර, දැනට ක්‍රියාත්මක හොඳම ප්ලාස්ටික් අවම කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන පරිසරවේදී චතුර වැලිවිටිය මහතා නියෝජනය කරන ගාල්ල Help-O ව්‍යාපෘතිය මගින් ක්‍රියාත්මක කරනු ලබන “ප්ලාස්ටික් අපද්‍රව්‍යවලින් තොර ගාලු නගරය” (Plastic Waste Free City – Galle) ව්‍යාපෘතිය නැරඹීම සඳහා අනතුරුව 19 දින ගාල්ල බලා පිටත්ව ගියේය.

පොලිතින් - ප්ලාස්ටික් අවම කිරීමේ ඉලක්කයට - ලෝකයම එක්වෙයි….!

මෙහිදී Help-O සංවිධානය විසින් සිදුකරන්නට යෙදුණු වැඩසටහන් 4 ක් විමසීම සඳහා නියෝජිතයන් එක්වූ අතර, ඉන් දෙකක්ම පාසල් සම්බන්ධ කරගනිමින් සිදුකරන ලද ව්‍යාපෘති වීම විශේෂත්වයකි. මේ අනුව පොලිතීන් ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා පාසල් සිසුන් දැනුවත් කිරීම හා ඒ මගින් පාසල් සිසුන්ගේ ක්‍රියාකාරිත්වය ලබාගනු වස් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් අතර, ගාල්ල කලාපයේ පාසල් අතර පවත්වන්නට යෙදුණු “ප්ලාස්ටික් අවම කිරීම සඳහා” වන පාසල් කෙටි චිත්‍රපට තරගයේ ජයග්‍රාහකයන් හමුවීම හා ඔවුන්ට ජයසංකේත ප්‍රදානය, ගාල්ල “මෝඩ ඇළ” නමින් හැඳින්වෙන ගාලු නගරය මැදින් ගලායන ඇළට එකතුවී මුහුදට ගලායන ප්ලාස්ටික්-පොලිතීන් කෘතීම බුද්ධිය යටතේ හඳුනාගැනීමට හා ගණනය කිරීමට පිහිටුවන ලද නවීන සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණ ඒකකය ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට භාරදීම හා ගාල්ල ධීවර වරායේ එකතුවන දැල් හා නොදිරන ඝණ අපද්‍රව්‍ය (ප්ලාස්ටික්) සඳහා විසඳුම් යෝජනා කිරීම හා ගාල්ල “ජෙට්වින්ග් ලයිට් හවුස්” හෝටලය මගින් ක්‍රියාත්මක කරන්නට යෙදුණු “මයික්‍රෝ ප්ලාස්ටික්” අවම කිරීම සඳහා ගෙන ඇති පිරිසිදු කිරීමේ වැඩසටහන අධ්‍යනයට ලක්කිරීම සිදුකෙරිණි.

පොලිතින් - ප්ලාස්ටික් අවම කිරීමේ ඉලක්කයට - ලෝකයම එක්වෙයි….!

Help-O පරිසර සංවිධානය මගින් ක්‍රියාවට නගන මෙම වැඩසටහන් සඳහා දැනටමත් US AID හා UNDP , මෙන්ම ජපානය කේන්ද්‍ර කරගත් IGES (Institute for Global Environmental Strategie in Japan) ආයතන සමඟ අත්වැල් බැඳ කටයුතු කරන අතර, Basal- Rotterdam සම්මුතිය, IUCN‍ ආයතනය, පරිසර අමාත්‍යංශය හා ඒ යටතේ පවතින ආයතන ඇතුළු පොලිතින් – ප්ලාස්ටික් අවම කිරීමට අදාළව කටයුතු කරන සියලුම ආයතනවල සහයෝගය ලබාගැනීම තම අරමුණ බව Help-O සභාපති චතුර වැලිවිටිය මහතා මෙහිදී ප්‍රකාශ කළේය. පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා ගාල්ල දන්ගෙදර මහා විද්‍යාලයේ පැවති උත්සව සභාව අමතමින් පැවසුවේ තව ටික කලකින් මුහුදේ මසුන්ගේ ප්‍රමාණයට වඩා මුහුදේ ප්ලාස්ටික් ප්‍රමාණය වැඩි වන බවට ස්ථිර අනාවැකි පහළ වී ඇති බැවින් තිරසර නිෂ්පාදන සහ තිරසර භාවිතය අනිවාර්ය වී ඇති බවයි. පරම්පරාවක් ඒ සඳහා හදා ගන්නට Green School වැඩසටහන ළඟදීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.

මෙහිදී ප්ලාස්ටික් අවම කිරීම සඳහා කෙටි චිත්‍රපට නිර්මාණය කරමින් ජයග්‍රහණය කළ හරිත පාසල් සඳහා ත්‍යාග ප්‍රදානය අමාත්‍යංශ ලේකම්, එම අධ්‍යක්ෂ මණ්ඩලය හා බාසල්-රෝටර්ඩම් නියෝජිත පිරිසගේ ප්‍රධානත්වයෙන් සිදුකරන ලදී. ඒ අනුව කෙටි චිත්‍රපට තරගයෙන් ප්‍රථම ස්ථානය, තෙවන ස්ථානය හා අන්තර්ජාලය තුළ ජනප්‍රියම වූ කෙටි චිත්‍රපටයට හිමි ජය සංකේත දන්ගෙදර ජයවර්ධන විද්‍යාලය විසින් දිනාගන්නා ලදී. දෙවන ස්ථානය ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයීය කණ්ඩායම දිනාගන්නා ලදී.

අනතුරුව විද්වත් කණ්ඩායම විසින් මෝඩ ඇළේ සවිකරන ලද විශේෂ සී සී ටී වී කැමරා ඒකකය ගාල්ල විද්‍යාලෝක විද්‍යාලයට භාරදෙන ලදී.

ජගත් කණහැරආරච්චි
ඡායාරූප – නීලක අබේරත්න-පරිසර අමාත්‍යාංශය

advertistmentadvertistment
advertistmentadvertistment