ඉලක්කන් ලස්සන වුණාට බඩුමිල තාමත් එකතැන

154

මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් දසනායක

මහ බැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකා රුපියල 2023 වසරේ ජුනි මාසය ආරම්භ වන විට ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව 22.9%කින් ඉහළ ගොස් තිබේ. යුරෝවලට සාපේක්ෂව 22.3%කින්, ස්ටර්ලින් පවුමට සාපේක්ෂව 19.4%කින්, ජපන් යෙන්වලට සාපේක්ෂව 29.6%කින් සහ ඉන්දීය රුපියලට සාපේක්ෂව 22.8%කින් රුපියල ඉහළ ගොස් ඇත.

විදෙස්ගතව සිටින ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ ද 2022 වසරේ අප්‍රේල් මාසයට සාපේක්ෂව මේ 2023 වසරේ අප්‍රේල් මාසය තුළදී ඉහළ ගොස් තිබේ. එය ඩොලර් මිලියන 249 සිට ඩොලර් මිලියන 454 දක්වා 45% ක ඉහළ මට්ටමේ වැඩිවීමකි. ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්තවලට අනුව ජුනි මාසය ආරම්භ වන විට මෙරට සතු නිල විදෙස් සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 2.8කි. එයද මේ වන විට තවදුරටත් ඉහළ යමින් පවතී.

2021 වසර සහ 2022 වසරේ මුල් කාල පරිච්ඡේදය තුළ මෙරට බැංකු පොලී අනුපාත පහළ අගයක පැවතුණි. නමුත් 2022 වසරේ ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ එම වසරේ අප්‍රේල් මාසයෙන් පසු පොලී අනුපාත ඉහළ දැමුනද වර්තමානය වනවිට පොලී අනුපාතය යළි පහළ අගයකට සීග්‍රයෙන් ගමන් කරමින් පවතී.

මේ අතරතුර ශ්‍රී ලංකාව මේ වනවිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට අනුව සාර්ථකව ක්‍රියාත්මක වෙමින් සිටියි. ඒ අනුව ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය, උද්ධමනය පාලනය වීම, විනිමය අනුපාතිකය ස්ථාවර මට්ටමකට පත් වීම සහ මහ බැංකුවේ සංචිත නැවත ගොඩනැගීම යන ධනාත්මක වර්ධනයන් මේ වනවිට පෙන්නුම් කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී ඇත. මතුපිටින් පෙනෙන්නට තිබෙන තත්ත්වය යහපත් වුවත්, සමස්ත ආර්ථිකය තවමත් පවතින්නේ අභියෝගාත්මක මට්ටමක බවත්, ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මහ බැංකුවේ ස්වාධීනත්වය සහතික කිරීම, රාජ්‍ය ක්‍රියාකාරකම් කාර්යක්‍ෂම කිරීම, අවදානමට ලක්වූවන් ආරක්ෂා කිරීම සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වාදී තිබේ.

2022 අග භාගයට සාපේක්ෂව මේ වන විට ඉන්ධන හා ගෑස් පෝලිම් නතර වී ඇත. විදුලි කප්පාදුවද අවසන් වී ඇත. භාණ්ඩ රැසකට පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට ද මුදල් අමාත්‍යාංශය පසුගියදා පියවර ගන්නා ලදී. මෙයට සාපේක්ෂව ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම, පොලී අනුපාත අඩුවීම, ඉන්ධන හා ගෑස් මිල අඩුවීම දක්නට ලැබුනත් ඊට සාපේක්ෂව වෙළෙඳපොලේ භාණ්ඩ හා සේවා මිල ගණන් කැපීපෙනෙන අඩුවීමක් තවමත් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ තුළ පෙනෙන්නට නැත.

සහල්, තිරිඟු සහ සීනි වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල ගෝලීය මිල ගණන් සැලකිය යුතු මට්ටමකින් අඩු වි තිබියදීත්, ශ්‍රී ලංකාවේ පාරිභෝගිකයන්ගේ බර සැහැල්ලු කරන මට්ටමේ ප්‍රමාණාත්මක අඩුවීමක් මේ වනතෙක් දක්නට නොමැත. විශේෂයෙන් ජාත්‍යන්තර තෙල් මිල ගණන් පහත වැටී තිබියදී පවා ලංකාවේ තෙල් මිලෙහි සැලකිය යුතු අඩුවීමක් දක්නට නොමැත. ඉලෙක්ට්‍රොනික ද්‍රව්‍ය, සනීපාරක්ෂක උපකරණ, ආහාර ද්‍රව්‍ය, ගොඩනැගිලි ඉදි කිරීම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 300 කට ආසන්න භාණ්ඩ සංඛ්‍යාවක ආනයන සීමා ඉවත් කෙරුණද ජනතාව වෙත තවමත් මෙම සහන නොලැබී ඇති බවට ජනතාව හඬ නගමින් ඇත. ජනතාවගේ එක් ඉල්ලීමක් වන්නේ ඉන්ධන, දුම්වැටි, මත්පැන්, බිත්තර සහ සහල් මෙන් තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් එක් මිලක් යටතේ මහජනතාවට ලබාදීමට රජය කාර්යක්ෂම වියයුතු බව වේ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සරත් දසනායක මහතා මේ සම්බන්ධයෙන් දරන්නේ මෙවැනි මතයක්. “ලංකාවේ වෙළෙඳපොළ යාන්ත්‍රණය අක්‍රමවත්. පැරණි කියමනක් තියෙන්නෙ “පය බරවායට පිටිකර බෙහෙත් බඳිනවා වගේ” කියල ඒ වගේ අවශ්‍ය දේ කරන්නැතුව වෙන මොන ජාති කළත් අන්තිමට ප්‍රතිඵල නැහැ, වෙළෙඳපොල යාන්ත්‍රණය ක්‍රමවත් ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් වෙළෙන්දන්ට පුළුවන් කෙටිකාලීනව ලාභ ගන්න. ඩොලර් එක අද වැඩිවුණොත් හෙට ඉඳලා භාණ්ඩ මිල වැඩි වෙනවා. ඩොලර් එක අඩු වෙනකොට භාණ්ඩ මිල අඩුවෙන්නේ තව මාස තුනකින්. වෙළෙඳපොල යාන්ත්‍රණය ක්‍රමවත් කරේ නැත්නම් වෙළෙඳපොළ හැසිරීම හේතුවෙන් එන වාසිය කවදාවත් පාරිභෝගිකයාට ලැබෙන්නේ නැහැ. බිත්තර නිෂ්පාදකයන්ගේ සංගමය, බේකරි නිෂ්පාදකයන්ගේ සංගමය, ආපනශාලා හිමියන්ගේ සංගමය වැනි යම් යම් වෙළෙඳපළ බලවේග ලංකාවේ නිදහස් වෙළෙඳපළ ක්‍රියාකාරිත්වයට බොහෝ බාධා මතු කරනවා, මේවා රජය විසින් හඳුනාගෙන ඒ අනුව ක්‍රියාත්මක නොවෙනවානම් පාරිභෝගිකයා තැලෙන එක නවත්තන්න බැරි වෙනවා.

අපි රටේ අනාගත ආර්ථිකය ගැන ගැඹුරින් බැලුවොත්, අපනයන ආදායම මත 30%ක ඉහළ බද්දක් පැනවීම, වෘත්තිකයන්ගේ ආදායම මත ඉහළ බද්දක් පැනවීම සහ තරුණ සහ පළපුරුදු වෘත්තිකයන් තොග වශයෙන් රට හැර යෑම වැනි කාරණා විතරක් ගත්තත්, අනාගත ආර්ථික වර්ධනය කෙරෙහි, අපි ගණනය කරනවට වඩා හානිදායක බලපෑම් ඇති කරන්න ඉඩ තියෙනවා. මේවා නිවැරදි කරන්න රජයට තවමත් කාලය තියෙනවා.

ඒ වගේම, ආර්ථිකයට ඍජුව බලපාන තව සාධකයක් තමයි IMF ණය හා බැඳුණු කාරනා. IMF එකේ පළමු වාරික කොන්දේසිය ලොකු ප්‍රශ්නයක් නැතිව යන්න පුළුවන් එකක් වෙන්න පුළුවන්, නමුත්, මීට පෙර සිදුවූ IMF එක සම්බන්ධ සිද්ධි අධ්‍යයනය කරනකොට අපිට පේන දෙයක් තමයි, අපිට ලබාදෙන ඊළඟ වාරික කොන්දේසි වඩාත් දරුණු වෙන්න පුළුවන් කියන එක, රජය මේ පිළිබඳ මනා අවබෝධයකින් ඉන්න ඕන, එහෙම වුණොත් විතරයි නිවැරදි වෙලාවට – නිවැරදි විසඳුම් ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ.”

ඉලක්කන් ලස්සන වුණාට බඩුමිල තාමත් එකතැන

ආචාර්ය ඩබ්ලිව්. කේ. කොළඹගේ

advertistmentadvertistment
advertistmentadvertistment