සරදියල්ගේ මෝඩ පුතා

2005

එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල අගදී නීල් රූපසිංහ නමැති චිත්‍රපට අධ්‍යක්ෂවරයා සරදියල්ගේ පුතා නමැති චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කළේය. මේ චිත්‍රපටයේ කතාවට අනුව සරදියල්ගේ පුතා සිය පියා මෙන් මදාවියෙක් නොව ගුණගරුක මිනිහෙකි. මෙහිදී උතුවන්කන්දේ සරදියල් අප්පු ගැන කුඩා පැහැදිලි කිරීමක් කළ යුතුය. 1832 උතුවන්කන්දේදී උපන් ඔහු පුද්ගලික පාසලක ඉගෙනගත් කියවීම සහ ලිවීම ඉතා හොඳින් දත් කෙනෙකි. ඔහුට සුදු වතු පාලකයන් සමග ආරවුලක් තිබිණ. උතුවන්කන්දේ සිට මුදල් රැගෙන කොළඹ යන අශ්ව කරත්තවල සිටි සුද්දන්ට පහරදී ඔවුන් කොල්ලකෑ සරදියල් එසේ ලබාගත් මුදල් වලින් සෑහෙන ප්‍රමාණයක් දුප්පතුන් අතර බෙදා හැරියේය. සරදියල් යනු ජාතික වීරයෙක් නොවේ. සුද්දන්ට විරුද්ධ වූ සියලුම දෙනා ජාතික වීරයෝ නොවෙති. සරදියෙල් හොරෙකි. හොරකම් කිරීම සහ මං පැහැරීම හැර වෙනත් කිසිදු ප්‍රතිපත්තියක් නොතිබූ හෙතෙම පසු කාලයේදී එල්ලා මරාදමන ලද අතර ඊට ස්වල්ප වේලාවකට පෙර ඔහු එතෙක් අදහමින් සිටි බුදු දහම අත්හැර වෙනත් ආගමකට මාරුවිය. සරදියල් මුළු තරුණ කාලයම ගතකළේ කොළඹය. ඔහු කොම්පඤ්ඤවීදියේ හමුදා බැරක්කයේ සේවය කළ අතර එහිදී ආයුධ පුහුණුව ලැබීය. 13 සියවසේදී එංගලන්තයේ ෂර්වුඩ් නමැති කැලෑවේ විසූ රොබින්හුඩ් ද මෙබඳුම පල් හොරෙකි. ඔහුද ධනපතියන් සතු ස්වර්ණාභරණ සහ මුදල් කොල්ලකා ජාතික වීරයකු බවට පත්විය. නීල් රූපසිංහගේ සරදියල්ගේ පුතා චිත්‍රපටයෙහි එන තරුණයා ඉතා ගුණගරුකය. තම පියා හොරකු වුවද ඔහු ඒ මාර්ගයේ ගමන් කළේ නැත. ඔහු ඉතා පරෙස්සමෙන් ජීවත් වෙමින් නැති බැරි කාලයට පාන් සහ පරිප්පු පමණක් අනුභව කර ජීවිතය ගැටගසා ගත්තේය. මෙහිදී වැදගත් දෙයක් සඳහන් කළ යුතුය. උතුවන්කන්දේ සරදියල්ගේ පුතාට හොඳ මිනිහෙක් වීමට පුළුවන් වූ නමුදු හැම සරදියල් කෙනෙක්ගේම පුතාට යහපත් මිනිසකු වීමට නොහැක.

බගවන්තලාවේ පොලිසියේ නිලධාරීන් විසින් සැකකරුවකු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර බන්ධනාගාරගත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෝපයට පත්වූ ජල සම්පාදන ඇමැති ජීවන් තොන්ඩමන් සිය ආධාරකරුවන්ද සමග බගවන්තලාව නගරයට පැමිණ පොලිස් ස්ථානාධිපතිවරයා සහ මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරීන් එහි ගෙන්වා ප්‍රසිද්ධියේ බැණ තර්ජනය කර පරිභව කර තිබේ. තොන්ඩමන් පවුලේ ශ්‍රී ලාංකික පළමුවැනියා වූ සෞම්‍යමූර්ති තොන්ඩමන් ධනපති දෙමළ පවුලකට අයත් වූ අතර වතුකර ජනතාව වෙනුවෙන් විශාල දේශපාලන මෙහෙවරක් කළේය. සෞම්‍යමූර්ති තොන්ඩමන්ගේ පරපුර සුවිශාල තේ වතුවල අයිතිකරුවෝ වෙති. අවම වශයෙන් ඔවුන්ට අක්කර 5000 ක වත් තේ වතු තිබෙන්නට ඇත. මෙහිදී සිදුවුණේ සුදු වතු පාලකයෝත් තොන්ඩමන් පවුලේ අයත් තරගයට දෙමළ වතු කම්කරුවන් සූරාකෑමය. හැබැයි සෞම්‍යමූර්ති තොන්ඩමන් ඒ අතරවාරයේදී සිය ජාතියටද මෙහෙවරක් කළේය. ඔහු උඩහ පළාතේ වතුකර ජනයා විසින් අදහන ලද දිව්‍ය පුත්‍රයකුගේ තත්ත්වයට මරණින් පසු පත්විය. අන්තිමේදී ඔහු වෙනුවෙන් තැනූ කෝවිල් පවා තිබූ අතර මිනිස්සු ඒවාට පැමිණ වන්දනා මාන කිරීම සඳහා පොරකෑහ. මේ කියන මහ තොන්ඩමන්ගේ පුත්‍රයාගේ නම රාමසාමි තොන්ඩමන්ය. රාමසාමි තොන්ඩමන් කවදාවත් ප්‍රසිද්ධියට පැමිණියේ නැත. එයට හේතුව ඔහු දේශපාලනයෙන් ඉවත්ව සිටීමය. රාමසාමිගේ පුතා වූයේ ආරුමුගම් තොන්ඩමන්ය. ඔහු තනිකරම දේශපාලන සත්වයෙකි. දිනක් කරටිය සාක්කුවට වැටෙන ලෙස මත්පැන් බී බොරැල්ල පොලිසියට ගොස් එහි ඕ.අයි.සී. ගේ පුටුවේ වාඩිවූ බව දැනගන්නට තිබේ. ජීවන් තොන්ඩමන් යනු ආරුමුගම් තොන්ඩමන්ගේ පුත්‍රයාය. ඔහු සිය පිය උරුමයට අනුව හැසිරී තිබේ. අපට ඇති දුක නම් ඕනෑම දේශපාලන කබ්බකුට සර් කීමට පොලිසියට සිදුවීමය. මේ රටේ දේශපාලනඥයන්ගෙන් වැඩිදෙනා තුට්ටු දෙකේ කබ්බෝ වෙති. උන්ට කිසිදු අධ්‍යාපනයක් නැත. එහෙත් රජයේ සම්පත් දූෂණය කිරීම සහ ස්ත්‍රී දූෂණය කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ඩිප්ලෝමා සහතික පවා ලැබී ඇත. හදිසියකට අධ්‍යාපන සුදුසුකමක් අවශ්‍ය වූ විට ඔවුන්ට සිදුවන්නේ දූෂණය ඩිප්ලෝමා සහතික රටට පෙන්වීමටය.

ජීවන් තොන්ඩමන් සිය පියාගේ අභාවයෙන් දේශපාලනයට පිවිසියෙකි. ඒ ඉතාම මෑතකදීය. බගවන්තලාවේ පොලිසිය සම්බන්ධයෙන් ඔහු කටයුතු කළ ආකාරයෙන් පෙනී යන්නේ ඔහු වටේ මැර හමුදාවක්ද සිටින බවය. අර කුමක්දෝ එකකට නිල මැස්සන් වැඩි වැඩියෙන් එන්නාක් මෙන් බලය තිබෙන තැන සොයා ඒමට පාදඩ ත්‍රාඩකාරයෝ දනිති. මෙය රටේ දකුණු දිසාවෙහිද තිබෙන ප්‍රශ්නයකි. හැම බල්ලෙක්ම (බල්ලාට සිදුවන අපහාසය පිළිබඳ සමාව ඉල්ලමු) මව්පිය උරුමයෙන් හෝ නගර සභාවේ කුණු ලොරියේ උරුමයෙන් දේශපාලනය කරන්නට යෑමෙන් හැම වැඩක්ම අල ගොඩක් වී තිබේ. මේ රටේ දේශපාලනඥයන්ගෙන් වැඩිහරියක් දූෂිතයෝය. ගං කබරයන්ට වැනි ඝනකම් සමක් තිබීම නිසා තමන්ට සිදුවන අපහාස සහ අපවාද ඔවුන්ට නොතේරේ. හැබැයි ඔවුන්ගේ දෙමාපියන් බුද්ධිමත් නම් සහ ඔවුන්ගේ සමාජ පසුබිම හොඳ නම් මේ ගං කබරයින්ට තලගොයින් බවට පත්වීමට පුළුවන. දැනටමත් අපේ රටේ දේශපාලන කබරගොයි පිරී සිටිති. මේ කබරගොයි අල්ලා කිසියම් අභයභූමියකට පැටවීම ආණ්ඩුවේ ප්‍රමුඛ රාජකාරියක් විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment