දේශපාලන පලිගැනීම් කොමිසමේ නිර්දේශ බලරහිත කරන්න:

187

හිටපු එස්. ඩී. අයි. ජී රවි වෛද්‍යලංකාරගේ පෙත්සම් විභාගය අවසන්

විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා ප්‍රමුඛ දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලූ ජනාධිපති කොමිෂන් සභාව විසින් ලබාදුන් නිර්දේශ හා සොයාබැලීම් බලරහිත කරන ලෙස ඉල්ලා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියොජ්‍ය පොලිස්පති රවි වෛද්‍යලංකාර මහතා ප්‍රමුඛ පාර්ශ්ව කිහිපයක් ගොනුකර තිබූ පෙත්සම් විභාගය ඊයේ (15දා) අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් සිය තීන්දුව නිකුත්කිරීමට තීරණය කළේය.

ලබන අප්‍රේල් 5 දිනට පෙර ලිඛිත විරෝධතා අධිකරණය හමුවේ ගොනුකරන ලෙසට ද විජිත් කේ. මලල්ගොඩ, අචල වෙන්නප්පුලි හා අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල සියලු පාර්ශ්වවලට නියෝග කළහ. මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය, හිටපු නාවික හමුදාපති ට්‍රැවිස් සින්නයියා, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර ඇතුළු පාර්ශ්ව නමයක් මගින් එම පෙත්සම් ගොනුකර තිබිණි. එම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ උපාලි අබේරත්න හා එහි සාමාජිකයන් ඇතුළු පිරිසක් නම්කර තිබිණි.

එකී ජනාධිපති කොමිෂන් සභාව ලබාදී තිබූ සියලුම නිර්දේශ හා සොයා බැලීම් සම්බන්ධයෙන් ඉදිරි පියවර නොගැනීමට අමාත්‍ය මණ්ඩලය දැනටමත් තීරණය කර ඇති බැවින් එකී පෙත්සම් තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බවට නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට කියා තිබූ නමුත් පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම විභාගයට ගැනීමට තීරණය කොට තිබිණි. එකී තීරණය අනුව පැවැති පෙත්සම් විභාගය ඊයේ (15 දා) අවසන් කෙරිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment