පොලිස් නිලධාරීන් ගිය කාරය කන්තලේ රේල් ගේට්ටුවේ වැදී එස්අයි මියයයි…. තවත් තිදෙනෙකුට තුවාල

403

හදිසි රාජකාරියක් සඳහා ගොස් එමින් සිටි පොලිස් නිලධාරින් සහිත කාර් රථයක් පෙරේදා (11) රාත‍්‍රි 10 ට පමණ රේල් ගේට්ටුවක වැදී සිදුවූ අනතුරකින් කන්තලේ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා තවත් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ද සාමාන්‍ය තුවාල ලබා රෝහල් ගත කොට ඇති අතර බරපතළ තත්වයේ සිටි එක් පොලිස් පරීක්ෂකවරයෙක් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගාල්ල නෙළුව ප‍්‍රදේශයේ ඞී.එල්. සිරිසේන (51) නම් දියණියන් තිදෙනෙකු ගේ පියෙකි. බරපතළ තුවාල ලැබූ අනෙක් නිලධාරියා ත‍්‍රිකුණාමලය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර අනෙක් දෙදෙනා ප‍්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇත.

සිද්ධිය වූ දින රාත‍්‍රි සුඛෝපභෝගී කාර් රථයකින් පොලිසියෙන් පිටතට ගොස් ආපසු එමින් සිටියදී රථයේ වේගය පාලනය කර ගත නොහැකිව පොලිසිය ආසන්නයේම ඇති දුම්රිය හරස් මාර්ගයේ ගේට්ටුවට සවි කොට ඇති යකඩ කණුවේ රථයේ ඉදිරි පස ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පරීක්ෂණ පවත්වන පොලිසිය කියයි.

අනතුරින් රථයේ බොනට්ටුවට බරපතළ හානි සිදුවී ඇති අතර දුම්රිය දෙපාර්තමේන්තු දේපල වලටද හානි සිදුවී ඇත.

මෙම හරස් මාර්ගයේ ඇති වළවල් නිසි ප‍්‍රමිතියට සකසා නොමැතිකමද, තාර උණුවී වළවල් හා ගොඩැලි මතුවී ඇති ස්වභාවයද මීට හේතු වන්නට ඇති බවට ප‍්‍රදේශවාසීහු සැක පල කර සිටී.

කන්තලේ පොලිසියේ කොට්ඨාස අපරාධ අංශ විමර්ශන අංශයට ලැබුණු තොරතුරක් මත අපරාධ සිද්ධියක සැකකරුවන් පිරිසක් හඹා ගොස් ඇති අතර පසුව ඔවුහු කන්තලේ නගරය හරහා ගොස් ඇති බවට ලැබුණු තොරතුරක් මත මෙසේ ලූ‍හුබැඳ යාමේදී මෙම අනතුර සිදුවන්නට ඇති බවට කන්තලේ සහකාර පොලිස් අධිකාරි රෝහණ වනිගසේකර මහතා ප‍්‍රකාශ කර සිටී.

කෙසේ වුවත් වාහනය එම අවස්ථාවේ පදවාගෙන ගිය උප පොලිස් පරීක්ෂක දයාපේ‍්‍රම දිසානායක යන අයට රථය පාලනය කර ගැනීමට නොහැකිවීම අනතුරට හේතුව බව පරීක්ෂණවලින් පෙනී ගොස් ඇති අතර ඊයේ (12) අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබුණි.

කන්තලේ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරන්ජන් අබේවර්ධන මහතාගේ නියෝග මත සහකාර පොලිස් අධිකාරි 1 රෝහණ වනිගසේකර මහතාගේ පූර්ණ අධීක්ෂණයෙන් මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එම්.පී.බී. විජේසිරි මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක කේ.එන්.ඩබ් කේ.නවගමුව, පොලිස් සැරයන් වික‍්‍රමරත්න (32813) පොලිස් කොස්තාපල් ජයවර්ධන (68194) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

කන්තලේ ඩබ්.එම්.වික‍්‍රමසිංහ
 

advertistmentadvertistment
advertistmentadvertistment