රුසියානු යානය නැවැත්වීම: – වාරණය වැරදියට යොදාගත්තා කියූ නීතිඥයා නඩුවෙන් නිදහස්

158

කොළඹ වානිජ මහාධිකරණයෙන් ලබාගත් වාරණ නියෝගයක් වැරදි සහගත ලෙස උපයෝගි කරගනිමින් රුසියානු ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන් යානයක් පියාසර කිරීම වැළැක්වීම සහ සිවිල් ගුවන් සේවා සමාගමේ කළමනාකාරිත්වයේ රාජකාරියට බාධා කළේ යැයි චෝදනා එල්ලවී තිබූ නීතිඥ අරුණදීප ද සිල්වා මහතා එම චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (15 දා) නියෝග කළේය.

ප්‍රීති පද්මන් සුරසේන, එස්. තුරෙයිරාජා සහ කේ. ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල එම නියෝගය කළහ.

2022 ජුනි 2වැනිදා කොළඹ වානිජ මහාධිකරණයෙන් ලබාගත් වාරණ නියෝගයක් රැගෙන පිස්කල්වරයකු සමඟ නිසි බලයකින් තොරව කටුනායක ගුවන්තොටුපළ අධිආරක්ෂක කලාපයට ඇතුළු වී වැඩබලන ගුවන් පාලක නිශාන් චන්දිම අබේවර්ධන මහතාගේ රාජකාරියට බාධා කිරීම, කොළඹ සිට මොස්කව් බලා පියාසර කිරීමට නියමිතව තිබූ අංක එස්.යු. 208 දරන එරෝෆ්ලොට් ගුවන් යානය පියාසර කිරීම නැවැත්වීම යන චෝදනා යටතේ එම නඩුව පවරා තිබිණි.

අධිකරණ අමාත්‍යවරයා විසින් අගවිනිසුරුවරයා වෙත කරන ලද පැමිණිල්ලක් අනුව එම නඩුව පවරා තිබූ අතර ගුවන්තොටුපළ පාලකවරයා සිය සේවාදායකයාට එරෙහිව එවැනි පැමිණිල්ලක් කර නොමැති බැවින් සිය සේවාදායකයා නිදහස් කරන ලෙස ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා තිබිණි. පෙරකී නීතිඥවරයාට එරෙහිව ගොනු කර ඇති චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් වී නොමැති බවට නිගමනය කළ විනිසුරු මඬුල්ල එම නියෝගය කළේය. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේය.

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment