අසභ්‍ය දර්ශන දුරකථනයේ තබාගත්තැයි සීඅයිඩී පැවරූ නඩුවේ සැකකරු නිදොස් කොට නිදහස් කෙරේ

89

ලිංගික දර්ශන සිය පෞද්ගලික ජංගම දුරකතනයේ තබාගත්තේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩුවක සැකකරුවකු වූ 35 හැවිරිදි විවාහකයකු එකී චෝදනාවලින් නිදොස්කොට නිදහස් කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (15 දා) නියෝග කළේය.

සිය සේවාදායකයාව අත්අඩංගුවටගෙන ඇත්තේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත්තේ යැයි කියන සෝදිසි වරෙන්තුවක් මත සිදුකළ පරීක්‍ෂා කිරීමකදී බවත් එකී ලිංගික දර්ශන ඔහු කිසිවකුට හෝ බෙදාහැරීමක් සිදුකර නොමැති බවත්, අසභ්‍ය ලිංගික දර්ශන සන්තකයේ තබාගැනීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගැනෙන වැරැදි බවට කෙලෙස අර්ථකථනය කළේ දැයි විමසමින් එම සැකකරුවෙනුවෙන් පෙනී සිටි නීතිඥ තීශ්‍ය වේරගොඩ මහතා කළ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය. සිය සේවාදායකයාව අත්අඩංගුවට අදාළව සෝදිසි මෙහෙයුම සිදුකර ඇත්තේ එක්තරා අමාත්‍යවරයකු හා තවත් අයකු සම්බන්ධයෙන් ඔහු අන්තර්ජාලයට මුදාහළ සටහනක් මුල්කරගෙන බැවින් මෙය සිය සේවාදායකයාව අමාරුවේ දැමීමට ගොනුකළ නඩුවක් වන්නේ යැයිද අධිකරණයට පැවසූ නීතිඥ තීශ්‍ය වේරගොඩ මහතා අදාළ සෝදිසි වරෙන්තුව, පැමිණිලිකරුගෙන් ලබාගත් ප්‍රකාශය ඇතුළු අනෙකුත් සාක්ෂි සම්පිණ්ඩන අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවද අධිකරණයට පැවසීය.

මේ වනවිට බලපැවැත්වෙන නීතිය අනුව ලිංගික දර්ශන සන්තකයේ තබාගැනීම වරදක් නොවන බවත් ඒවා අන්තර්ජාලය හෝ වෙනත් මාර්ගයකින් සිය සේවාදායකයා කිසිවකුට බෙදාහැර නොමැති බවත් අධිකරණයට පෙන්වා දුන් නීතිඥ තීශ්‍ය වේරගොඩ මහතා විමර්ශන නිලධාරීන් නම් ඔවුන් භාරයට ගත් සිය සේවාදායකයා ජංගම දුරකථනයේ තිබූ එකී ලිංගික දර්ශන එකිනෙකා අතර බෙදාහැර රස විඳ ඇතත් එහි වරද සිය සේවාදායකයා මත පැවරිය නොහැකි බවද අධිකරණයට පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment