ගාසා තීරයේ හමාස් ඉලක්කයන් 320කට ඊශ්‍රායල ප්‍රහාර

275

ගාසා තීරයේ තිබෙන හමාස් අන්තවාදීන්ගේ ඉලක්කයන් 320කට පමණ ඊශ්‍රායල ගුවන් හමුදාව විසින් ඊයේ (23දා) උදෑසන ප්‍රහාරයන් එල්ල කර ඇති බව වාර්තා වී ඇති අතර එම තීරයේ වෙසෙන පලස්තීන ජාතිකයන් පවසා ඇත්තේ කිසිදු පූර්ව දැනුම්දීමකින් තොරව ඔවුන්ගේ නිවෙස්වලට ප්‍රහාරයන් එල්ල කළ බවකි.

විදෙස් මාධ්‍යවලට අනුව ඊශ්‍රායල ආරක්ෂක ඇමැති යෝයැව් ගැලන්ට් පවසා ඇත්තේ හමාස් අන්තවාදීන්ට එරෙහිව පැවැත්වෙන සටන මාසයක් දෙකක් හෝ තුනක් පැවතිය හැකි බවත් එම සටන අවසානයේ හමාස් සංවිධානය කියා දෙයක් නොපවතිනු ඇති බවයි.ිගාසා තීරයේ පවතින හමාස් ඉලක්කයන් වෙත එල්ල කරන බවට කලින් නිවේදනය කර තිබූ දැවැන්ත ගොඩබිම් ප්‍රහාරය දියත් කරන බව පවසා ඇති ඊශ්‍රායල ආරක්ෂක ඇමැතිවරයා හමාස් අන්තවාදීන් ඊශ්‍රායල හමුදා ටැංකි හා පාබල හමුදාව මුණ ගැසීමට පෙර අපගේ ගුවන් හමුදාවේ ෂෙල් වෙඩි ප්‍රහාරයන් හඳුනාගත යුතු බව අවධාරණය කර තිබේ. දැනට පවතින තත්ත්වය යටතේ ඊශ්‍රායල හමුදාවන් වැළැක්වීමට කිසිවකට හැකියාවක් නොමැති බව ඔහු සඳහන් කර තිබේ. මේ අතර ඊශ්‍රායලය විසින් අවසරය ලබා දීමෙන් පසු විවෘත කෙරුණු ඊජිප්තු දේශසීමාවේ පිහිටි රෆා මංතීරුව හරහා ගාසා තීරයට අවශ්‍ය මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 14ක් ඉරිදා දිනයේ පැමිණ ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව තවත් ආධාර විශාල වශයෙන් ගාසා තීරයට ලැබිය යුතුව ඇත. අදාළ මංතීරුව විවෘත කිරීමෙන් පසු ගත වූ දින දෙක තුළදී මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 35ක් පමණ ගාසා තීරයට ඇතුළු වී ඇති අතර එය එම තීරයේ දෛනික අවශ්‍යතාවයෙන් සියයට 8ක් පමණ සංඛ්‍යාවක් බවත් දිනකට එවැනි ට්‍රක් රථ 400ත් 500ත් අතර සංඛ්‍යාවක් ගාසා වැසියන්ට අවශ්‍ය ආධාර රැගෙන පැමිණිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. මේ අතර ගාසා තීරයේ හමාස් ඉලක්කයන් වෙත ඊශ්‍රායල හමුදා විසින් එල්ල කරන ප්‍රහාරයන් සඳහා බටහිර රටවල නායකයන් ගණනාවකගේ සහාය ඊශ්‍රායලයට හිමිව ඇති අතර හමාස් අන්තවාදීන්ට එරෙහිව ප්‍රහාරයන් සිදු කිරීමේදී ගාසා තීරයේ වෙසෙන සිවිල් වැසියන්ගේ ජීවිත ආරක්ෂා විය යුතු බව ඔවුන් අවධාරණය කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment