50 වැනි රාජ්‍ය නාට්‍ය උළෙලේදී හොඳම අධ්‍යක්ෂණය, හොඳම නිෂ්පාදනය ඇතුළු සම්මාන අටක් හිමිකර ගැනීමට හැකිවූයේ චාලක රණසූරිය අධ්‍යක්ෂණය කළ දිලූපා නිරෝෂණී නිෂ්පාදනය කළ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදා’ වේදිකා නාට්‍යයට. එළැඹෙන පෙබරවාරි මස 11 වැනිදා සවස 3.30 ට සහ 6.30 ට තංගල්ල නගර ශාලාවේදී මෙම වේදිකා නාට්‍ය යළි රංග ගත කිරීමට නියමිතය. ඉතිං අපි මෙහි අධ්‍යක්ෂ චාලක රණසූරිය සමග කොළඹින් බැහැර රංග ශාලා ගැන වගේම සමස්ත නාට්‍ය කලාව ගැනත් සිනමා කලා සංවාදයක නිරත වුණා.

කොළඹත් එකයි ගමෙත් එකයි - රාජ්‍ය නාට්‍ය උළෙලේ වැඩිම සම්මාන පිරිසක් දිනූ අධ්‍යක්ෂ චාලක රණසූරිය

‘සඳුදා වැටෙන්නේ සිකුරාදා’ වේදිකා නාට්‍යයට පසුගියදා පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේදී ඇගයීමට ලක්වුණා. එතැනින්ම අපේ කථාව පටන් ගමු?

ඔව්. පහුගිය දෙසැම්බර් 19 වැනිදා අවසන් වුණේ පනස් වැනි රාජ්‍ය නාට්‍ය උළෙල. ඒ සඳහා 2022 සහ 2023 වර්ෂවල දිවයිනේ නන්දෙසින් නිෂ්පාදනය වුණ නාට්‍ය ඇතුළත් වුණා. අවසන් වටය පැවැත්වුණේ මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ. මේ නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය වුණේ මම අධ්‍යක්ෂණය කරපු ‘සඳුදා වැටෙන්නේ සිකුරාදා’ නාට්‍යයට.

හැබැයි ඔබලාගේ නාට්‍ය ඇගයීමට ලක්වීම පිළිබඳව සමාජයේ වැඩි කතාබහක් ඇතිවුණේ නැහැ නේද?

ඔව්. සම්මාන උළෙල අවසන්වීමත් එක්ක ඒ සම්බන්ධ කතාබහ අවසන් වුණා. වෙනද වගේ විද්‍යුත් මාධ්‍යවල කතාබහක් ඇති වුණේ නෑ. මොකද ජනාධිපති මාධ්‍ය අංශයෙන් තමයි උළෙල ආවරණය කළේ. ඉතින් ඒ ගොල්ලන්ට ජනාධිපතිගේ පැමිණීම සහ පිටවයෑම වැදගත් වුණාට නාට්‍ය උළෙල ගැන අදාළ නෑනේ.

‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ නිර්මාණයට අඩිතාලම වැටුණේ කෙසේද?

නාට්‍ය පිටපත ලියන්න පටන් ගත්තේ පහුගිය කොවිඩ් වකවානුවේ. පළමුවැනි, දෙවැනි ලියවිලි ඇතුලේ නිෂ්පාදනයක් කරන්න හිතුවේ නෑ. නැවත පිටපත ලියලා නිෂ්පාදනය කරපු දිලූපා නිරෝෂනි මහත්මියට දුන්නා කියවන්න. පසුව ඇය යෝජනා කළා නාට්‍ය කරමු කියලා. ඒ අනුව නාට්‍ය පුහුණුවීම් ආරම්භ කළා. මාස හයක විතර පුහුණුවීම් කාලයකින් පස්සේ පහුගිය පෙබරවාරි එකොළොස් වැනිදා මංගල දර්ශනය පැවැත්තුවා. එදා ඉඳන් ලොකු ප්‍රචාරණයක් නොදී වුණත් දර්ශන වාර තිස්පහක් පමණ කරන්න අවස්ථාව ලැබුණා. මේ පෙබරවාරි එකොලොස් වැනිදත් තංගල්ල නගර ශාලාවේ දර්ශන වාර දෙකක් පැවැත්වෙනවා.

වේදිකා නාට්‍ය කලාවට රජයෙන් ලැබෙන අනුග්‍රහය ගැන සෑහීමකට පත්විය හැකිද?

ඒ ගැන සෑහීමකට පත්වෙන්න බෑ. මේ වෙනකොට රාජ්‍ය ළමා නාට්‍ය උළෙල නවත්වලා තියෙනවා. ළමයින්ට නාට්‍යයක් බලන්න යම් පමණක හරි අවස්ථාවක් ලැබුණ තැනක් ළමා නාට්‍ය උළෙල. ළමයින්ගේ රසවින්දනය සංස්කෘතික අවකාශයක් අත්පත් කරදීම නොසලකා හරින්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒත් ඒවා කිසිම වග විභාගයකින් තොරව ඉවත් කරලා තියනවා. දියුණු චින්තනයක් සහිත පරපුරක් බිහිවෙන්නේ දියුණු වින්දනයක් තිබුණොත්. වින්දනීය අවස්ථා කපා හැරියට පස්සේ ඒවා බලාපොරොත්තු වෙන්න බෑ.

කොළඹත් එකයි ගමෙත් එකයි - රාජ්‍ය නාට්‍ය උළෙලේ වැඩිම සම්මාන පිරිසක් දිනූ අධ්‍යක්ෂ චාලක රණසූරිය

‘සඳුදා වැටෙන්නේ සිකුරාදාට’ වේදිකා නාට්‍ය රටවටා යෑමේදී ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මේක ඛේදාන්ත ප්‍රහසන ගණයට අයත් නාට්‍යයක්. මේ ගණයේ නාට්‍යවල තියෙන සුවිශේෂත්වය තමයි රංගය නරඹද්දී තමන් සිනාසෙන්නේ අතිශය සරල කාරණාවකට කියලා හිතුණත්මොහොතකින් හිතෙන්න ගන්නවා ඒ සරලත්වය යට තියෙන තමාද හසුවී සිටින සංකීර්ණ ඛේදවාචක. තවත් විදිහකින් කිව්වොත් ප්‍රේක්ෂකයා නාට්‍ය නරඹද්දී අන්‍ය චරිත කීපයකට එහෙම නැත්නම් අනුන්ගේ ක්‍රියාවකට හිනා වෙනවා. ඒත් පසු කියැවීමේදී දැනෙන්න ගන්නවා ඒ අනෙකා තමන්ම කියලා.

ඇත්තටම රටවටා පිහිටි රඟහල් පිළිබඳ ඔබ ඉන්නේ මොනවගේ මතයකද?

ඒක නම් ඉතාම කනගාටුදායකයි. කොළඹ ප්‍රධාන පෙළේ රංග ශාලාවලත් නාට්‍යයක් කරන්න තරම් ප්‍රමාණවත් රංගාලෝක උපකරණ නෑ. ඒවා පිටින් ගෙන්න ඕනෑ. වායු සමන යන්ත්‍ර ක්‍රියාත්මක කරන්නේ නාට්‍ය පටන්ගන්න පැයකට විතර කලින්. නේපථ්‍යාගාරවල විදුලි බල්බ පවා ගලවලා. මම හිතන්නේ ඒවා කරලා ඇත්තේ විදුලි බිල වැඩි නිසා. කොළඹින් පිට තත්ත්වය ඊට වඩා ඛේදනීයයි. ඒවා කොළඹ රංග ශාලාවලටත් වඩා ගණන්. හැබැයි කිසිම පහසුකමක් නෑ.

දිනේෂ් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment