ජනතා අරගල මර්දනය කරන්න ආණ්ඩුව සෞඛ්‍ය නීති යොදාගන්නවා

350

fShare

ආණ්ඩුව කොරෝනා වසංගතය හිඟන්නගෙ තුවාලය බවට පත්කර ගනිමින් එම තත්ත්වය මහජන අදහස් යටපත් කිරීම සඳහා යොදාගෙන ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා රජයට චෝදනා කළේය.

 
 එසේම වත්මන් ආණ්ඩුව ඔවුන්ගේ පටු අරමුණු වෙනුවෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා පාවිච්චි කරමින් සිටින බවත්, ආණ්ඩුවේ පටු අරමුණුවලට පාවිච්චි නොවන ලෙස එතුමාගෙන් ඉල්ලා සිටින බවත් ටිල්වින් සිල්වා මහතා කීවේය.
 
 ඒ මහතා එම අදහස් පළකළේ ඉකුත් 07 වැනිදා පැලවත්ත, බත්තරමුල්ල පිහිටි එම පක්ෂ ප‍්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදීය.
 
 මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ටිල්වින් සිල්වා මහතා මෙසේද සඳහන් කළේය.
 
 ‘‘වර්තමාන ආණ්ඩුව නිරෝධායන නීතිය කොරෝනා මර්දනය කිරීමට පාවිච්චි කරනව වෙනුවට අපේ රටේ ජනතාවගේ අරගල මර්දනය කරන්න පටන්ගෙන තිබෙනවා. පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍යමය අවදානමක් තිබෙන නිසා උද්ඝෝෂණ, රැුස්වීම් තහනම් කරන බව සඳහන් කළා. හදිසියේ මේ වගේ මතක් වුණේ ඇයි? කොරෝනා මර්දනයට අදාළ නිරෝධායන නීති ගණනාවක් ප‍්‍රකාශයට පත්කර තිබෙනවා. ආණ්ඩුවේ සංඛ්‍යා ලේඛන ගත්තාම කොරෝනා ආසාදිතයන් මේ ආසන්න කාලයේ ලොකු වෙනසක් සිදුවී නැහැ. එහෙනම් මේ නිවේදනයේ යටි අරමුණ සෞඛ්‍ය අවදානමක් ඇති බව කියමින් ජනතා විරෝධතා නතර කිරීම බව පැහැදිලියි. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා උපුටා දක්වමින් පොලිසිය නිකුත් කළ නිවේදනයේ තියෙන්නේ නිරෝධායන නීති කඩන අයට විරුද්ධව පොලිසිය ක‍්‍රියා කරනවා කියලා.
 
 මෙවැනි නිවේදනයක් හදිසියේ ප‍්‍රචාරය කරන්න ආණ්ඩුවට බලපෑ කරුණු කිහිපයක් තියෙනවා. නිදහස් අධ්‍යාපනයේ මළ ගම සනිටුහන් කරන, අධ්‍යාපනය මිලිටරිකරණය කරන කොතලාවල විශ්වවිද්‍යාල පනත පාර්ලිමේන්තුවට ගෙනත් සම්මත කරගන්න සූදානම් කර තිබෙනවා. අධ්‍යාපනය පෞද්ගලීකරණය පටන් ගත්තේ රනිල් වික‍්‍රමසිංහ මහත්තයා තරුණ කටයුතු හා අධ්‍යාපන ඇමතිව සිටි කාලයේ. ඊට විරුද්ධව වරින් වර ශිෂ්‍යයෝ, ගුරුවරු, දෙමාපියන් ගෙනගිය උද්ඝෝෂණ නිසා පරාජයට පත්කළා. මේ ආණ්ඩුවත් විශාල බලයක් පාවිච්චි කරලා හදිසියේ මේ පනත සම්මත කර ගන්න කටයුතු කරනවා. රටක දරුවන්ගේ අනාගතයට බලපාන පනතක් සම්බන්ධයෙන් සාමාන්‍ය පුරවැසියන්ට දැනගන්න අයිතියක් නැද්ද? ඒ ගැන සමාජයේ සංවාදයක් ඇතිවී නැහැ. ඒ කිසිවකට ඉඩ නොදී තක්කඩි විදිහට හදිසියේ සම්මත කරගන්න ආණ්ඩුව ලැහැස්තියි. නමුත් මීට විරුද්ධව නිදහස් අධ්‍යාපනයට ආදරය කරන අය, තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ගැන හිතන අය විරෝධය පළකරන බව දන්නවා. ඒ නිසා මේ පනතට එරෙහිව එන විරෝධය මර්දනය කරන්න පොලිස් මූලස්ථානයෙන් මාධ්‍ය නිවේදන දානවා. තමන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය සම්බන්ධ පනතක් ගැන හඬක් නගන එක අපරාධයක් වෙන්නේ කොහොමද?
 
 අනෙක් පැත්තෙන් පොහොර ප‍්‍රශ්නය නිසා ගොවි උද්ඝෝෂණ මාලාවක් යනවා. බඩුමිල වැඩිවීමට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් යනවා. ඒවා කෘතිම හෝ බලෙන් කරන ඒවා හෝ නොවෙයි. ජනතාවට ඇත්ත ප‍්‍රශ්නයක් තියෙනවා. කොරෝනා හැදිලා මැරෙනවාද, බඩගින්නේ ඉඳලා මැරෙනවාද කියලා ජනතාවට තෝරා ගන්න ප‍්‍රශ්නයක් තියෙනවා. පොහොර නැත්තං අස්වැන්න ලැබෙන්නේ නැහැ. අස්වැන්න නැත්නම් ආහාර ලැබෙන්නේ නැහැ. ඒ නිසා ගොවීන්ට කොරෝනා නතර කරනකං බලාගෙන ඉන්න බැහැ. කොතලාවල පනතත් එහෙමයි. එය පාර්ලිමේන්තුවට ගේනවා. මේවාට විරුද්ධව හඬ නැගීමට ශුද්ධ වූ අයිතියක් ජනතාවට තියෙනවා. ඒ අයිතිය තක්කඩි විදිහට පැහැර ගන්න කොරෝනා මර්දන නීති පාවිච්චි කරනවා. කොරා්නා මර්දනය කිරීමේ අරමුණකුත් ආණ්ඩුවට නැහැ. කොරෝනා ප‍්‍රශ්නය පවත්වාගෙන යන්නේ හිඟන්නාගේ තුවාලය වගේ. තමන්ගේ බැරිකං ඔක්කොම වහගන්නේ කොරෝනා පෙන්නලා. ඒ තුළ ආණ්ඩුව රටට කරන්න පුළුවන් සියලූම හතුරුකං කරනවා. පෝට් සිටි පනත සම්මත කරගත්තේ කොරෝනා අස්සේ. රටකට කළ හැකි ඉතාම හානිදායක දේවල් ජනතාව ගෙවල් තුළ කොටු කරලා ආණ්ඩුව කරගෙන යනවා.
 
 ජනතා විමුක්ති පෙරමුණ ඉතා වගකීම් සම්පන්න දේශපාලන පක්ෂයක් බව ජනතාවට පැහැදිලිව කියන්න ඕනෑ. කොරෝනා මර්දනය කරන්න අපට දෙන්න පුළුවන් උපරිම සහයෝගය අපි දෙමින් ඉන්නවා. ඒ අතර ආණ්ඩුව කොරෝනා නීති රකින්නෙත් නැහැ, තමන්ගේ සියලූම දුෂ්ට ක‍්‍රියාමාර්ග අනුගමනය කරමින් ඉන්නවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමාවත් තමන්ගේ පටු අරමුණුවලට ආණ්ඩුව පාවිච්චි කරමින් ඉන්නවා. අපි එතුමාට කියන්නේ ආණ්ඩුවේ පටු අරමුණුවලට පාවිච්චි වෙන්න එපා කියලා. පහුගිය කාලයේ ආණ්ඩුව ගත්ත විකාර තීන්දු ගොඩක් තියෙනවා. පහුගිය කාලයේ පැනවූ සංචරණ සීමා වරින් වර වෙනස් කර පුද්ගලික අංශයට වැඩ කරගෙන යන්න අවසර දුන්නා. රාජ්‍ය අංශයටත් අවසර දුන්නා. අත්‍යවශ්‍ය සේවා කියලත් අවසර දුන්නා. සංචරණ සීමාවක් තිබුණේ නැහැ.
 
 සෙනග රැුස්කරලා අනෙක් පැත්තෙන් ජනතාවට කියනවා, අයිතිවාසිකම් වෙනුවෙන් පාරට බහින්න එපා කියලා.

  සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment