අපට සමාවෙන්න ටීම් එකේ අඩුපාඩු තිබුණා – කුසල්

130

ඉන්දියානු භීතිකාවක් නෑ

ලෝක කුසලාන තරගාවලියේදී කණ්ඩායමේ අඩුපාඩු පැවති බවත් තරග පරාජයවීම සම්බන්ධයෙන් ප්‍රේක්‍ෂකයන් ඇතුළු සියලු පාර්ශ්වවලින් සමාව ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් මහතා ඊයේ (12 දා) ප්‍රකාශ කළේය.

තමන් සෑම තරගයකටම සහභාගි වූයේ ජයග්‍රහණය කිරීමේ සූදානමින් බවත් එය රට වෙනුවෙන් සිදුකිරීමට බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඊයේ (12 දා) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් කුසල් මෙන්ඩිස් පැවසීය.

ඉන්දියාව ඇතුළු අනෙකුත් රටවල් අතර පැවති තරගවලදී ක්‍රිකට් ආයතනයෙන් හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකින් තමාට හෝ කණ්ඩායමට කිසිදු බලපෑමක් එල්ල වූයේ නැතැයිද ඔහු කීය. තරග කළ රටවල් අතර බැලීමේදී මේ වන විට ඉන්දියානු කණ්ඩායම පන්දුවට පහරදීම සහ පන්දු යැවීම ඇතුළු සියලු අංශවලින් අංක එක මට්ටමට පැමිණ තිබෙන බවද ශ්‍රී ලංකාව පමණක් නොව දකුණු අප්‍රිකාවද ඉන්දියාව හමුවේ ලකුණු 80 කට දැවී ගිය බවද ඔහු පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් ඉන්දියානු භීතිකාවක් තම කණ්ඩායමට නැතැයිද ඔහු කීය.

ලෝක කුසලානය ආසන්නයේ එල්පීඑල් ක්‍රීඩා තරග පැවැත්වීම නිසා ඉන් ලෝක කුසලානයට බලපෑමක් නොතිබූ බවත් එම තරගය පැවැත්වීම මගින් පාකිස්තානය, බංග්ලිදේශ වැනි කණ්ඩායම්වල ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා විලාසයන් දැක බලාගත් බවත් පැවසූ හෙතෙම එල්පීඑල් පැවැත්වීමෙන් ලෝක කුසලාන තරගවලට බලපෑමක් සිදුවුණා යැයි කීම තමා අනුමත නොකරන බවත් පැවසීය.

ඉන්දියානු සුපිරි ක්‍රීඩක විරාට් කෝලි ලබාගත් ශතකය සම්බන්ධයෙන් ඉන්දීය මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට තමා එම අවස්ථාවේ පිළිතුරක් ලබාදුන්නේ කෝලි ලබාගෙන තිබූ ශතකය ගැන දැනුවත්ව නොසිටි නිසා මෙන්ම එම මාධ්‍ය හමුව ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තරගය සම්බන්ධයෙන් සංවිධානය කර තිබූ නිසා එවැනි ප්‍රශ්නයක් තමාගෙන් අසාවි යැයි බලාපොරොත්තුවෙන් නොසිටි නිසා බවද ඔහු කීය. එහෙත් තමා එම අවස්ථාවේ ලබාදුන් පිළිතුර ගැන දැන් කනගාටු වන බවත් ඔහු කීය.

එම සිද්ධිය පාදක කරගෙන සමාජ මාධ්‍ය ඇතුළු විවිධ පිරිස් තමාට විවේචන එල්ලකරන බවත් එවැනි විවේචන වෙනුවට ක්‍රීඩකයන්ගේ මානසිකත්වය ඉහළ නංවා ගැනීමට උපකාරීවන දේවල් සිදුකරන ලෙස තමා ඉල්ලා සිටින බවත් කුසල් මෙන්ඩිස් වැඩිදුරටත් කියා සිටියේය.
චමින්ද සිල්වා
ඡායාරූපය – නිශාන් එස් ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment