දේශබන්දු පොලිස්පති කරනවාට වැඩියෙන්ම විරුද්ධ වුණේ කුඩුකාරයන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතිඥවරුන් – ඇමැති ටිරාන් මාතරදී කියයි

313

පාතාලයේ 1091ක්… ඉන්නවා
යුක්තියේ මෙහෙයුම ඉදිරියටම

“දේශබන්දු පොලිස්පති කරනවාට වැඩියෙන්ම විරුද්ධ වුණේ කුඩුකාරයන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතිඥවරුයි. මෙරට පාතාලය හා මත්ද්‍රව්‍ය උවදුර මර්දනයේදී මොන ලොක්කාගේ බලපෑම් ආවත් කිසිදු ඉඩක් දෙන්නේ නෑ. 17 වැනිදායින් ඇරැඹෙන ඉදිරි සතිය තීරණාත්මකයි දේශබන්දු පොලිස්පති කළේ ඒ වෙනුවෙන් ” යැයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

දකුණු පළාතේ පොලිස් කොට්ඨාස හතරෙහි සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ මාතර කොට්ඨාස වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පැවසීය.

පෙරේදා (16දා) සවස රුහුණ විශ්වවිද්‍යාලයීය රබීන්ද්‍රනාත් තාගෝර් ශ්‍රවණාගාරයේ පැවති මෙම වැඩසටහනේදී වැඩිදුරටත් කතා කළ ඇමැතිවරයා මෙසේද කියා සිටියේය.

“දේශබන්දු පොලිස්පති කරනවාට වැඩියෙන්ම විරුද්ධ වුණේ කුඩුකාරයන් වෙනුවෙන් පෙනී සිටින ඇතැම් නීතිඥවරුන්. ඒ අය උත්සාහ කරන්නෙත් වැඩ කරන්නෙත් අපි දෙදෙනා ඉවත් කරන්නයි. කවුරු කොහොම බලපෑම් කළත් අපි පටන් ගත්ත වැඩේ කරලම තමයි අවසන් කරන්නේ.

මටයි පොලිස්පතිතුමාටයි සමාජ මාධ්‍ය ජාල මගින් දිගටම පහර ගහනවා. රටේ කතාවක් ගියා මම දේශබන්දු පොලිස්පති කරන්න යනවා කියා. ඔව්.. කොළඔ කොට්ඨාසයේ වැඩ ටික හොඳට කරගෙන ගිය නිසා රටේම වැඩේ කරන්න තමයි මම දේශබන්දු පොලිස්පති කළේ.

මේ රටේ කුඩුකාරයන් කොටස් තුනක් සිටිනවා. ඉන් පළමු කණ්ඩායම මහා පරිමාණ ලෙස විදේශ සම්බන්ධතා ඇතිව කුඩු ව්‍යාපාරයේ යෙදෙන අය. දෙවැනි කොටස තමයි ගමේ කුඩු විකුණන අය. තුන්වැනි කොටස කුඩු බොන අය. මම පොලිස්පතිට කියා තිබෙන්නේ මේ තුන්වැනි කණ්ඩායම ගැන නොසිතා මහ එවුන් ගැන සිතා වැඩ කරන ලෙසයි.

කුඩුකාරයෙක් අල්ලා ගත්තාම නිදහස් කරන්න කියා පොලිසියට ලොකු ලොකු අයගෙන් කෝල් එනවා. ඒක පැවති ක්‍රමය. ඒත් මම මේ ඇමැතිකමේ සිටිනතුරු මොන ලොක්කා පොලිසියට කතා කළත් කුඩුකාරයන් නිදහස් කරන්න දෙන්නේ නෑ.

එදා පාතාලය හා මත්ද්‍රව්‍ය ගැන පොලිසියට තොරතුරු දුන් අය හිටියේ බයෙන්. දැන් එහෙම බයවෙන්න එපා. යුද්ධයේදී ජනතාව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය සමග හිටගත්තා වගේ මේ යුද්ධය ඉවර කරන්නත් අප සමග හිටගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මෙම අවස්ථාව ඇමතූ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මෙසේ පැවසීය.

“පාතාලය අතුගා දමන්න හෙට සිට එස්.ටී.එෆ්. මෙහෙයුම් ආරම්භ කරනවා. 17 වැනිදා සිට 23 දක්වා විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදා හරින්නන්ගේ ජාලය මර්දනය කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහාත්, ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනයට යොමු කිරීමේත් විශේෂ මෙහෙයුම් ආරම්භ කරනවා. පොලිස් නිලධාරීන්ට තවදුරටත් අන්ධකාරයේ අතගාන්න ඉඩදෙන්නේ නෑ. මාතර HQI ට සතියක් දෙනවා. ඒ සතිය තුළ මේ දේ සිදුකර පෙන්වන්න ඕනෑ. මම එය රට පුරා ක්‍රියාත්මක කරනවා.

දකුණේ අපරාධ මඩින්න පොලිසියට සහාය දෙන්න අංක 05 ක් ලබා දෙනවා. මාතර කොට්ඨාසය- 0718598812, තංගල්ල කොට්ඨාසය- 0718598813, ගාල්ල කොට්ඨාසය- 0718598814 සහ ඇල්පිටිය කොට්ඨාසය – 0718598815. මෙයට අමතරව පොලිපතිවරයාට කෙළින්ම තොරතුරු දෙන්න 0718591017 අංකයත් ක්‍රියාත්මක කරනවා. මේවාට දුරකථන පණිවුඩ දෙන අංක පෙන්වන්නේ නෑ. ඒ නිසා ඕනෑම දුරකථන අංකයකින් මේ සඳහා තොරතුරු දෙන්න පුළුවන්. තොරතුරු දුන් කෙනා ගැන තොරතුරු හඳුනාගන්න බෑ. දැන් බය නැතිව අපිට තොරතුරු දෙන්න. පොලිස්පති අංකයට නිතර කථාකරන්න යන්න එපා. තම කොට්ඨාසයේ අංකයට කතාකරන්න. එය ප්‍රමාණවත්. ඒවා ක්‍රියාත්මක නැත්නම් මට කතා කරන්න.

මාතර කොට්ඨාසයේ පොලිස් ස්ථාන සඳහා මිලියන 70 ක තෑගි භාණ්ඩ ප්‍රදානයත් ශිෂ්‍යත්වය සමත් දූ දරුවන් සඳහා තිළිණ ප්‍රදානයත් මෙහිදී සිදු කරන ලදි. මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සංවිධාන කර තිබූ මෙම අවස්ථාවට මහා සංඝරත්නය, අන්‍යාගමික පූජා ප්‍රසාදීන් වහන්සේලා, මාතර කොට්ඨාසයේ සිවිල් ආරක්ෂක කමිටු 650 ට අයත් නියෝජිතයන් හා පොලිස් නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.

අකුරැස්ස – සමන් උපුල් පිනිදිය, අතුරලිය – ඉඳුනිල් තාරුකා
ඡායාරූප – කරුණාරත්න ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment